Wednesday 25 July 2012

"ආත්මගරුත්වය" - (කෙටිකතාව)


"නම"
"සිරිසේන"
"වයස"
"අවුරුදු 56යි මහත්තයෝ" 
 "මොනවා කරන්න ගිහින්ද කවව්ව ගත්තේ"
"අනේ මුකුත් කරන්න ගියේ නෑ මහත්තයෝ.අපේ ග්‍රාමසේවක මහත්තයගේ බල්ලා.මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දුවගෙන ඇවිල්ලා හැපුවේ.මට හෙල්ලෙන්න වත් වෙලාවක් තිබුනේ නෑ"
"හ්ම්ම්ම්.."

දොස්තර මහතා කුඩා සටහන් පොතේ  මොන මොනවාදෝ කුරුටුගානවා සිරිසේන බලාගෙන සිටියේය.කකුල රිදුම් දෙනවාට වඩා හිතේ ඇතිවෙන වේදනාව උහුලා ගත නොහැකිව සිරිසේන සුසුමක් හෙලුවේය.එක් අතකින් රුවන්ත හරිය.

කුඩා කල සිටම මුරණ්ඩු දරුවෙකු වූ රුවන්තව අසීරුවෙන් උස් මහත් කල හැටි සිරිසේනට සිහිවේ.

"මම කැමති නෑ තාත්තා එක එකා ලග හෑල්ලු වෙනවට.තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනව නේ තාත්තේ.ඇ‍යි මිනිස්සු ඉස්සරහ බාල්දු වෙන්නේ."
"එදා වේල බඩට දාගන්න නැති අපිට කොහෙන්ද පුතේ  ආත්ම ගරුත්වයක්"

 ඉන් පසු තව මොන මොනවාදෝ බර දේශපාලන වේදිකා වල ඇහෙන වචන කිහිපයක් රුවන්තගේ මුවින් පිට වූ බව සිරිසේනට යාන්තමට මෙන් මතකය. 

"තමුසෙලා තැන් තැන් වල ගිහිල්ලා බල්ලන්ට කියලා කව්වගෙන එනවා.ඒක ඉතින් ප්‍රශ්නයක් නෙමේ නේ.හැමදේම රජයෙන් නොමිලේම දෙන නිසා තමුසෙලට හොදයි.දන්නවද මේ ඉන්ජෙක්ශන් එකකට රජයෙන් කීයක් වියදම් කරනවද කියලා"

පියවි සිහියට ආ සිරිසේන,දොස්තර මහතාගේ පැනයට සිනා සීම පමනක් සිදු කලේය.
 
"හිනා වෙනවා ඉතින්..දන්නවනම් බල්ලෙක් ඉන්න පැත්තකින් වත් යන එකක් නෑ."

මෙතක් වේලා කුරුටු ගෑ සටහන් කොලය සිරිසේනගේ අතට දෙමින් දොස්තර මහතා පැවසීය.

"හතරේ කාමරේ මිසීට මේ තුන්ඩුව දෙනවා.එතනින් අද ඉන්ජෙක්ශන් එක විද්දට පස්සේ මේ තුන්ඩුවේ තියෙන දවසට වරද්දව ගන්නේ නැතුව ඇවිත් බෙහෙත් ටික විදගන්නවා."

දොස්තර මහතාගේ පිලිකුල් සහගත බැල්මට යටහත් ලෙස හිස කසමින් සිනහවකින් සංග්‍රහ කල සිරිසේන කාමරයෙන් එලියට ආවේය..

"ආත්මගරුවය"

සිරිසේනගේ දෙසවන් පිරවෙමින් සුලං රැල්ලක් කෑ ගැසුවේය.
 හතරවන කාමරයේ දොර අසලට ගිය සිරිසේන ඇතුලත දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.කුඩා පුටුවක පශ්චාත්භාගය අමාරුවෙන් රදවාගත් හෙදියක් බලමින් සිටි පුවත්පත පැත්තකට කර ඔහු දෙස බලනවා දුටු සිරිසේන සිනාසුනේය.

"මොකද"
"බෙහෙත් එකක් විදින්න මිසී"
අපහසුවෙන් පුටුවෙන් නැගිටගත් හෙදිය සිරිසේන අත තිබු තුන්ඩුකෑල්ල ඉල්ලා ගත්තේය.සමාවන්න..එය උදුරා ගත්තේය..
"කවද්ද කෑවේ?"
"අද,දැන් ටිකකට කලින් මිසී"
"තමුසෙලා ඉන්නකල් ඉතින් අපිට වැඩ නැතුවට වැඩ" 

සිරිසේනගේ මුවේ සුපුරුදු බයාදු සිනහව මතුවී නැතිවී යයි.
 
එන්නත විද ගැනීමෙන් අනතුරුව පාරට ආ සිරිසේන බස් නැවතුමට ඉබි ගමනින් ඇවිද ගීයේය.තමා බයගුල්ලෙක්ද..සිත ඔහුගෙන්ම විමසයි.

"වැඩක් කර ගන්න ඕන නම් ඒ ඕන දෙයක් විදගෙන ඔලුව පහත් කරගෙන ඉන්න වෙනවා සිරිසේනයෝ"
පියදාස මාමා වරෙක කිව් කතාවක් සිරිසේනගේ මතකයට නැගුනේය.
වේගයෙන් පැමිනි බස් රථයකට අත පෑ ඔහු හෙමි හෙමින් පාපුවරුවට ගොඩ වූයේය.

"අංකල්,ඉක්මනට නගින්න බැරිනම් කරුණාකරලා බහිනවද"

"ආත්මගරුත්වය"
කොන්දොස්තර කොලුවාගේ විදානයත් කකුල රිදුම් දෙන වේදනාවත් අතරින් සිරිසේනගේ දෙසවන් වලට කොහේදෝ සිට පැමිනි සුලගක් කෙදුරුවේය.බස් රථයේ රේඩියෝ හඩ අඩුවෙන් ඇසෙනා ඉසව්වක හිස්ව තිබූ ආසනයක් බලා වාඩි වූ සිරිසේන නැවත සිතුවිලි සයුරේ කිමිදෙන්නට විය

"කුඹුක්ගහ හන්දියේ රැස්වීමක් තියෙනවා පක්ෂේ ඉදිරි ගමන වෙනුවෙන්.අද කොඩි වැල් අදිද්දි මැම්බර් මහත්තයත් ආවා.තාත්තටත් එන්න කියලා උන්නැහේ කිව්වා" 
"මට උඹලගේ දේශපාලන හරුප තේරෙන්නේ නෑ පුතේ.මැම්බර් මහත්තයට කියපන් මේ පාර මට ඡන්දේ දාන්න වෙන්නේ නෑ කියලා"
"ඒ මොක්ද ඒ"
"තාම නැති වෙච්ච හැදුනුම්පත ලැබුනේ නෑ නේ පුතේ"
"වල් බල්ලා..ග්‍රාමසේවකයා දන්නවා තාත්තාගේ ඡන්දේ වැටෙන්නේ මැම්බර් මහත්තයට කියලා.තාත්තගේ හැදුනුම්පත හදන එක පරක්කු කරාම උගේ එකාට එක ඡන්දයක් හරි උඩට එන්න පුලුවන් නේ"
"ග්‍රාම සේවක මහත්තයටත් වැඩ වැඩියි පුතේ.ඡන්දෙට කලින් කොහොම හරි දෙන්න පොරොන්දු උනා"
"කටු කන බල්ලා.කොහේද..තාත්තා කොන්ද පහත් කරගෙන ඉන්නකල් ඕකුන් රජකරයි.තාත්තට කිව්වට වැඩක් නෑ නේ.මම දැන්ම ගිහින් උගෙන් අහගෙන එන්නම්කෝ හැදුනුම් පත නැත්තේ මොකද කියලා"
 "නෑ නෑ..පුතා යන්න ඕන නෑ..මමම ගිහින් එකලාසයක් කරගෙන එන්නම්"

"හිනැටිගල හන්දිය බහිනවා"

කොන්දොස්තර කොලුවා පිටුපස සිට කෑගසන හඩ කන වැකුනු සිරිසේන කල්පනාවෙන් මිදුනේය.

"දෙයියනේ..බහින තැනත් පහුවෙලා."

තමාටම දොස් නගා ගනිමින් ඔහු හනි හනිකට බස් රථයේ සීනුව නාද කරන්නට විය.

"ඕයි...තමුසේ ඕක කඩන්නද මිනිහෝ හදන්නේ..ඉන්නවා බස් එක හෝල්ට් එකේ නවත්තනකල්"

කොන්දොස්තර කොලුවාගේ ගෝරනාඩු හඩට සිරිසේන යටපත් විය.බස් රථය නැවැත්වූ පසු රිදුම් දෙන කකුලත් අද්දමින් සිරිසෙන බස් රථයෙන් බසින්නට විය.

"ඉක්මන් කරනවකෝ අංකල්...හරේ යං"

අවසාන අඩිය තියනවාත් සමගම බස් රථය පිටත් වීම නිසා සමබරතාවය බිද වැටුනු සිරිසේන ඇද වැටුනේය..බස් රථයෙන් නැගුනු දුහුවිලි වලින් සිරිර වැසෙද්දී,නැවත කොහේදෝ සිට පැමිනි සුලං රැල්ලක් සිරිසේනගේ දෙසවනට කෙදුරුවේය..
"ආත්මගරුත්වය"

Tuesday 17 July 2012

චීනෙන් ආ යාලුවා - " අඩෝ,.මට අමතක උනා බං xxx "


මේක මේ ඊයේ සිද්ද උන කතාවක්.කාලෙකට පස්සේ ඉස්කෝලේ අපේ Batch එකේ උන්ට සුහදව හම්බෙවන්න ඕන කරලා තිබුනා.ඉතින් එක දවසින් සංවිධානය කරගෙන උණවටුනේ Beach එකේ සුලුවෙන් set වෙන්න කියලා කට්ටිය Plan කරගෙන හිටියේ.

අපිටත් ඉන්නව නේ එක එක ජාතියේ යාලුවෝ.ඔය අතරේ ඉදියා පොරක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් චීනෙට ගියපු.අවුරුදු තුනකට පස්සේ ලංකාවට ගොඩ ගහපු මෑන්ස්ටත් මේ get එකට එන්ඩ සෑහෙන්න ඕන වෙලා තිබුනේ.අපේ කොල්ලො ටිකටත් ගෙන fit.මොකද චීනේ ඉදලා ආව නම් හොද හොද Brand ගෙනල්ලා ඇති කියලා තමා කට්ටිය කතා උනේ.

ඔන්න ඉතින් අදාල දවසේ පොර තව යාලුවෙකුට කෝල් එකක් දෙනවලු මෙන්න මෙහෙම.

"මචන් ඔසා,උඹලා අද get එකට යනව නම් අපේ ගෙවල් පැත්තේ ඇවිත් මාවත් දාගෙනම පලයන්.මගේ ගාව එනකොට ගෙනාපු බඩු වගයක් තියේ."

"අඩෝ..මරු නේ..එල එල..අපි ඔය පැත්තෙන් එන්නම්."

ඔන්න ඉතින් යාලුවෝ හතර දෙනෙක් නග්ග ගත්තු කාර් එක අදාල චීනේ යාලුවගේ ගෙදර ඉස්සරහා නැවැත්තුවලු.එක පාරක් හෝන් එක ගැහුවම පොර දොරත් ඇරගෙන එලියට එනවලු.පොරගේ අතේ බෝතල් දාපු පෙට්ටියක්.අපේ උන්ටත් දැන් හෙන සැටිස්ලු..

පෙට්ටිය අමාරුවෙන් උස්සගෙන ආපු මෑන්ස්  සහ කාර් එකේ යාලුවෝ අතර ඇති උනේ මෙහෙම සංවාදයක්.

"මචං ඔසා,ඩිකිය ඇරපන්.බෝතල් ටික ඩිකියට දාමු."
 
"අඩෝ ඩිකියට දාන්න එපා.කාර් එක වලක වැටුනොත් බෝතල් ටික කුඩු වෙන්න පුලුවන්.ඇතුල්ට ගනින්"

ඊට පස්සේ අපේ චීනෙන් ආපු යාලුවා මෙන්න මෙහෙම සීරියට් උත්තරයක් දුන්නලු.

"පිස්සුද බන්.ප්ලාස්ටික් කොකාකෝලා බෝතල් එහෙම කුඩු වෙනවද..ඔන්න ඔය ඩිකිය ඇරපන්"

එතනින් ඒ කොටස ඉවරයි..දැන් ඊලග කොටස.

ඔන්න කට්ටිය දාගත්තු කාර් එක උණවටුන බීච් එකට එන්න කලින් තියෙන ශෙඩ් එකේ නැවැත්තුව තෙල් ගහන්න.
පොර වගේ කාර් එකෙන් එලියට බැස්සේ අපේ චීනෙ ඉදලා ආපු යාලුවා.තෙල් ටැංකියේ පියන ලගට ගිහින් පොර හෙන ගේමක් දුන්නලු මූඩිය ඇරගන්න.විනාඩියක් විතර ට්‍රයි එක දුන්නත් මූඩිය ඇරගන්න තේරෙන්නේ නෑලු.බලන් ඉදලා බැරිම තැන පොර කාර් එකේ ඉන්න අනිත් යාලුවොන්ගෙන් උදව්වක් ගන්න හිතුවලු.

"අඩෝ..ඔසා..මේ  හු**  මූඩිය ඇරෙන්නේ නෑ නේ.මෙන්න මේ ප** ඇරපන්.."

කාර් එකේ උන්ට විතරක් නෙමේ මහපාරේ යන උන්ටත් ඇහෙන මහා සද්දෙන් අසභ්‍ය වචනෙ උදව් ඉල්ලීම ගැන අපේ සෙට් එක විතරක් නෙමේ ශෙඩ් එකේ උන්ටත් හෙන අවුල්ලු.වෙන වාහන වල ඉදපු අම්මලා පොඩි උන්ගේ කන් වහනවලු මූට බැන බැන.

ටිකක් වෙලා බලන් ඉදපු චීනෙන් ආපු යාලුවා කාර් එක ලගට ඇවිත් දොරත් ඇරලා මෙන්න මෙහෙම කිව්වලු..

"අඩෝ..මට අමතක උනා බං ලංකාවේ උන්ට සිංහල පුලුවන් කියලා." :)


(තවත් යාලුවෙකුගේ කතාවක් බලන්න මෙතන කොටන්න )

ප.ලි - මම කවදාවත් ඇවිල්ලා කමෙන්ට් එකක් වත් දාලා නැති බ්ලොග් තිබේ නම් කමෙන්ට් එකක් දාද්දි බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක දාන්ඩ හොදේ!! ඒ පැත්තේ ඇවිල්ලා යන්න :ඩී )

Tuesday 10 July 2012

බ්ලොග් අවකාශයේ කුජීතම බ්ලොගය - "100ක් ඩවුන්"


මීට අවුරුදු තුනකට විතරක කලින් කවියක් තියා වචන ටිකක් වත් ගැටගහගන්න බැරි සමනලයෙක් ඉදියා.එක දවසක් ඒ සමනලයා නිකමට වගේ වචන ටිකක් එකතු කරලා කවියක් වගේ එකක් ලිව්වා.ඊට පස්සේ ඒ ලියපු එක කෙලින්ම දුන්නේ ලස්සනම ලස්සන රෝසමලකට.අන්න එදා ඉදලා සමනලයා ලියනවා.ගොඩා...රියක් දේවල් ලියනවා.වෙලාවකට හිනා යන දේවලුත් ලියනවා.ඒත් අද රෝසමල සමනලයා ලග නෑ.ඒත් සමනලයා ලියනවා..සමනලයට ලියන්න කියලා දීලා රෝසමල යන්නම ගිහින්...

 මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් එක නම් වලින් බ්ලොග් මහා ගොඩක් ලියලා කාගේවත් සැලකිල්ලක් නැතුව ඉදපු එකෙක් ගමේ නමින් බ්ලොග් එකක් පටන් ගත්තා.බැලූ බැල්ලමට විකාර නමක් උනත් ලියන විකාර දේවල් එක්ක නමේ නොගැලපීමක් පේන්න නැතුවම ගිහින්..රත්ගමයා කියන නමින් පටන් ගත්තු ඒ බ්ලොග් එක අර කලින් කිව්ව රෝස මල නිසාම නවත්තලා දාපු කාලෙකුත් තිබුනා.ඒ නවත්තපු මාස කිහිපයට ගොඩක් අය රත්ගමයා ගැන හෙව්වා.ඉතින් ආයේ රත්ගමයා බ්ලොග් එක පටන් ගත්තා.ඒ රත්ගමයා කියන නමින් නෙමේ..වෙන මොකක්ද කසිකබල් කවුරුවත් දන්නෙවත් නැති ඉරූ කියන නමින්.

"අපිට ඉරුවෙක්ගෙන් වැඩක් නෑ.අපිට රත්ගමයා ඕන.."

බ්ලොග් එක කියපු කට්ටිය කිව්වා..ඉතින් දැන් මොනවා කරන්නද...ඉරූ ගේ ලෝකය බ්ලොග් එක ආයේ රත්ගමයාම උනා..
අන්න ඒකයි දැන් තියෙන රත්ගමයා බ්ලොග් එකේ සබැදි ලිපිනය www.rathgamaya.blogspot.com වෙන්නේ නැතුව http://www.sun-ge-lookaya.blogspot.com/ උනේ.

කොහොම කොහොම හරි කියන්න ආපු කාරනාව කියන්න අමතක උනානේ.අද දාන මේ බ්ලොග් සටහනත් එක්ක ඔක්කොම බ්ලොග් සටහන් 100ක් ලියලා තියෙනවා මේ බ්ලොග් එකේ.අවුරුදු දෙකට ඒ ගාන හොදටම මදි වෙන්න ඇති.ඒත් ඉතින් මොනවා කරන්නද.. :ඩී . 
අපේ මල්ලිලා දෙන්න උනත් අලුගුත්තේරු වැඩක් කරන්නේ ඉදලා හිටලනේ.ඉතින් උන් දෙන්නා ගැන ලියන්න වෙන්නේ කලාතුරකින් තමා.මල්ලිලා දෙන්නා ගැන මොනවා ලිව්වත් උන් දෙන්නා හරි හොදයි..හා පැටව් වගේ සුකුමාලයි.

ලියන හැම බ්ලොග් පෝස්ට් එකක්ම බ්ලොග් එකේ දාන්න කලින් මම පෙන්නන්නේ චූටි මල්ලිට.එයාට පෙන්නලා ඊට පස්සේ තමා බ්ලොග් එකේ දාන්නේ. ( චූටි මල්ලිට - මේක තොට පෙන්නන්නේ නෑ..දැම්මට පස්සේ බලපන් හොදේ!! ).ඒ අතින් නම් අපේ චූටි මල්ලි හරි හොදයි.හිනාව තද කරගෙන කියවද්දි මාර මෙව්වා එකක් එනවා.
මොනා කරන්නද ඉතින් ලියාගෙන යනවා මිසක්.සමහරවිට මට ඩිංගක් හරි ලියන්න පුලුවන් වෙන්න ඇත්තේ අපේ මහතාත්තා නිසා ( තාත්තාගේ තාත්තා ). 1970 ගනන් වල ලංකාවේ කවියන්ගේ සංගමේ සභාපති වෙලා ඉදලා තියෙන්නේ මහතාත්තා තමා. රත්ගම ටී.ලියනගේ කිව්වොත් සමහර විට ගොඩක් අය දන්නවා ඇති. මහතාත්තා දකින්නවත් වාසනාවක් නැති උනේ 89 කලබල දවස්වලම මහතාත්තව පැහැරගෙන ගිහින් තිබුන නිසා.

ඒ මොනවා උනත් ආයේ බ්ලොග් එකට එමුකෝ..ඉතින් අද බ්ලොග් පෝස්ට් 100ක් ඉවරයි...තව ඉස්සරහට 200,300 ඊට පස්සේ එන ඉලක්කම් අකුරුවලින් පහු කරනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්ඩ ඕන.
බ්ලොග් එකක් ලියන්න කියලා දීපූ කලුමල්ලි සහ ඒ දවස්වල ඉදපු නිරහංකාර අහිංසකාවි (සිරෝසිස් නගා ) වත් අප්ප්පිරියාවෙන් යුතුව මතක් කරනවා.

ඉතින් සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමින් අදට නවතිනවා..

                                 මම ඇච්.රත්ගමයා (ඇච් ස්ටෑන්ඩ් ෆෝර් හන්දියේ )
 

Sunday 8 July 2012

නොලියවුන මතකය....


ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා