Thursday 27 December 2012

නිවාඩුව - අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "


නිවාඩුවට ගෙදර ඇවිල්ලාත් දැන් දවස් සෑහෙන ගානක්ය.
මේ දවස් වල ගෙදර එකම යුද්ධයකි,පොඩි මල්ලී නායකත්ව පුහුණුවට යාමට සූදානමින් සිටී.උගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ලොකු අයියා වන මාය.ලොකු අයියා වීමේ වාසිය එයයි.පුහුණුවට ගෙනයන්නට ඕනෑ සියලු බඩු භාන්ඩ ආදිය ගැන විස්තර අසා ගන්නේ මගෙන්ය.
 එකක් අසාගෙන තව විනාඩි කිහිපයකින් පොර දිව එයි..

"ඕයි...සපත්තු ගන්න ඕන මොන පාටද?"

"සුදු පාට...ගෑල්ලමයි දාන ජාතියේ ඒවා"

"තොගේ @#$%^&*(*&^%" (සංකේතාත්මකව පොර පිලිතුරු දෙයි )

ආයේ තව විනාඩි කිහිපයකින් නැවත දිව එයි...

"ඕයි උඹ මගේ අලුත්ම ඩෙනිම කැම්පස් එකට ගෙනිච්චා නේ..ඒක කෝ? " (පිසාච අඩවියේ පිසාචයා ඒ ඩෙනිම දැනටමත් අඳිනවා ඇතැයි මම සිතමි)

"ඒක දාලා ආවා"

"තොගේ #$%^&*()"  (නැවතත් ඒ සංකේත ටිකමය..)

ආයේ විනාඩි කිහිපයකින් දිව එයි!

"ඕයි යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "

"උඹට නම් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ..."

"තොගේ @#$%^(_)(*&^%$ " (නැවත පෙර සංකේත ටිකමය )

පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත.
පැත්තක් ගැනීමට නොහැකිව චූටි මල්ලී තනිවම සිනා සෙයි.උගේ සිනහව තවම හෙන ලාමකය.
 මා ගෙදර සිටියේ නැති දවස් කිහිපයට ඌ ටිකක් මහත් වෙලාය.පාට වැටිලාය.

පොර සිනහ සෙමින් මා අසලට පැමිනේ.චූටි මල්ලී සිනාහසීම මාගේ සිනහාසීමට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

"ලොකු අයියේ!! ෆේස් බුක් එකේ ඔයා ගෑල්ලමයෙක් එක්ක ඉන්නවා දාලා තිබ්බ ෆොටෝ එක මම අම්මට පෙන්නුවා"

අහෝ අයියනායක දෙයියනේ! අයියලාට මෙසේ වින කරන මල්ලිලා සිටීද.වයට අවුරුදු 12ක ඇට්ටරයෙක් කරන වැඩද මේ..

ගෙදර ආවාට වඩා හොස්ටල් එකේම සිටින්නට සිතෙන්නේ මේ වෙලාවටය.

කම්මැලිකම නිසා ගෙදර සිටින්නට සිත දෙන්නේද නැත.කරන්නට කිසිම දෙයක් නැති කමන් නිසා කොට කලිසමකුත් ඇදගෙන ගාල්ල පැත්තට බඩ ගෑවෙමි.

ගාල්ලත් වෙනස් වෙලාය.බස් නැවතුම් පලට හේත්තුවී විනාඩි කිහිපයක් සිටියෙමි.කොහේදෝ සිට සුලං රැල්ලක් පැමිනෙයි,දෑසත් වසාගෙන උඩු සුලඟට ඉව ඇල්ලුයෙමි.
නැවත දෑස් විවර කරද්දීම ඇය මා දෙස බලා සිටියාය.මම සලිත උනෙමි.මේ දිනවල ශුවර් එකට උල්කාපාතයක් පෘතුවිය අසලින් හෝ යනවා විය යුතුය.

          මාගේ ග්‍රහචාරය සිකුරා දෙසට නිතරම හැරේ..දකින දකින තැන සෙට් වන්නේ ගෑල්ලමයින්ය.පොත් මිටියක් දෑතට තුරුලු කරගෙන සිටි ඇය කවුරුන් හෝ එනතුරා සිටිනවා විය හැකිය. "University Of Ruhuna " ඇය හැඳ සිටි කමිසයේ සදහන් වී තිබුනි.දෙවරක් පමණ වට පිට බැලූ ඇයගේ දෑස් මාගේ දෑස් සමග එකට යා වුනි.ටිකකින් ඇය මා දෙස පිය මැන්නාය.

අහෝ!! දෛවය.... ඔහේ මට කොලොප්පම් කරනවාද?

මා සිනහවකින් ඇයව පිලි ගත්තෙමි...

මා අසලටම පැමිනි ඇය තොදොල් වෙමින් කතා කරන්නට පටන් ගත්තය.

"අයියේ!! මේ බුක් මාර්ක් එකක් අරගෙන අපිට පොඩි සහයෝගයක් දෙනවද? "

ගෙදර අත හැර කොහේ හෝ යාමට මම ඒ මොහොතේම තීරණය කලෙමි.

Thursday 20 December 2012

අවසාන මොහොත - "මම ඔයාට ආ........"


මෙය කීමට තිබුනේ බොහෝ කලකට පෙරය.සමහර විට ඇයව හදුනා ගත් දිනයේදීමය.නමුත් මේ අවසාන මොහොතේ ඇය කුමක් සිතාවිද.
උල්කාපාතයක් පොලව මතට කඩාගෙන පතිත වනවාට වඩා කම්පනයක් ඇයට දැනෙන්නට ඉඩ ඇත.
සත්තයි...මා එය එදා කියූවා නම්....
ඔව්....
එසේ නම් ලෝක විනාශය ඇයට අරුමයක් නොවන්නට ඉඩ තිබුනි.ඒ කම්පනය ඇයට තවත් එක විහිලුවක් වන්නට ඉඩ තිබුනි.නමුත් කාලය ගත වී අවසානය.
ඇයගේ දෙතොලෙහි වෙවුලන ස්වභාවය අගල් පහලවක් තරම් කුඩා වූ පරිඝණක තිරය මත දී වුවත් පැහැදිලිව දැක ගැනීමට හැකිය.ස්කයිප් ඔස්සේ සම්භන්ධ වී සිටින කී දහසක් දෙනෙකුගේ දෙතොල් මේ අයුරින් වෙවුලනවා ඇතිද.?
දෙවියනේ...ඇයගේ දෙතොල හන්තාන කන්ද මුදුනේ සීතල මිහිදුම් අතරේ තනි වූවෙකුගේ මෙන් සුදු මැලි වී ඇත.සමහර විට ඇය බියෙන් තැති ගෙන ඇත.

"තව කොච්චර වෙලාවක් අපිට ඉතුරුයිද?"'

සැලෙන දෙතොලෙන් ඇය විමසුවාය.

"මම දන්නේ නෑ නිර්මාණි.සමහර විට තව පැයක්.."

ඇය අත් ඔරලෝසුව දෙස දෙනෙත් යොමු කලාය.

"හ්ම්ම්ම්ම්ම්..පැයක්...මේ පැයට ඔයා මොනවා කරන්නද හිරූශ.විනාස වෙලාම යද්දෙන්.."

යටි අරමුණක් ඇතිව ඇය එල්ල කල වදන් හදවත මතම පතිත විය.උල්කාපාතය...නුඹ මෙතරම් ප්‍රමාද වන්නේ මන්ද...මේ පැය ඉවසාගෙන සිටීමට නොහැකි හැටි..
මාස තුනක් තිස්සේ ආදරය කියා ගත නොහැකිව සිටි මම පැයකින් කුමක් කරන්නද?
ලෝකය...උඹ විනාශ වී යද්දෙන්...
තවමත් ගැහෙන දෙතොල් පෙති...ඒවා කෙතරම් සීතල ඇද්ද...සමහර විට ලෝක විනාශයෙන් පසු ඉතිරිවන අවසාන ජීවී සුසුම් පොද වාතලයට එක් කරන සීතලද පරාද වනු ඇත.ඒ දෙතොල සිප ගන්නට ඇත්නම්...
එසේ නම් ලෝකය,උඹ මේ දැන්මම විනාස වී යද්දෙන්..

"හිරූශ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාට මොනව හරි කියන්න්න තියෙනවද...සමහර විට මේ අන්තිම විනාඩි කිහිපයේදී වත්.."

ඔව්...කියන්නට දහසකුත් දේ තිබේ..ඒත්....මේ අන්තිම විනාඩි කිහිපය?? පිස්සෙක්....මාස හතරක් තුල නොකී දේ අවසාන විනාඩි කිහිපයේ කියන්නේ කෙසේද...
විනාඩි කිහිපයක නිහැඩියාවක්...

"හිරූ....ඔයාට මතකද ඒ දවස...අපි දෙන්නා මුලින්ම හම්බුන දවස.."

ඇය අතීතයට යන්නේ මන්ද...අවසාන මොහොතේදීත් ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙය නොවේද...

දෙයියනේ මම ආදරෙයි....මම ආදරෙයි.....මම ඒක කියන්න ඕන...සිත මටම අවනත නැත...දා බිදු නලලත මතින් නැගේ...ලෝක විනාශය නිසාද ඒසේත් නැති නම්....

"මතකයි....එදා ඔයා කතා කරේ වචන කොච්චර අඩුවෙන්ද නිර්මානි...මම පිස්සෙක් වගේ කියෙව්වා...තේරුමක් නැති දාහක් දේ මම කියෙව්වා..."

"ඔව්...ඔයා මොනවාදෝ කියෙව්වා...මම ඒ හැම දේම අහගෙන ඉදියා...ඒත් අද??"

"අද මොනවා කියවන්නද...මාස හතරක් තිස්සේ කියවලම වචන හිදිලා..."

"වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ...ඔයාට කවදාවත් කතා කරන්න වචන නැති වෙන්න විදිහක් නෑ...ලෝකේ තියෙන හැම වචනයක්ම ඔයා කියවන්න ඇති මේ මාස හතරට..ඒත් එකම එක වචනයක් ඇර.."

නැවතත් ඒ නිශ්ශබ්දතාවය,...දෙවියනේ....මේ දැන්ම උල්කාපාතය කඩාගෙන වැටේ නම්....

වට පිටාව අදුරු වීගෙන යන හැටියකි..ඉදගෙන සිටින් පුටුවද ඒ මේ අත සෙලවේ...දෙවියනේ...මේ අවසානය විය යුතුය...

පරිඝනක තිරයෙන් ඇගේ දෙනෙත් දිස්වේ....කදුලු කැට කඩා හැලෙමින් පවතී...මා මෙය කිව යුතුය....

"නිර්මානි......මම ඔයාට ආදරෙයි....මම ඔයාට ආදරෙයි...."
 
 
"ඕයි....තොට මාන්දමද....නැගිටලා පිටි එක බීපන් හොටු හිවලා..."
හුටා සිදු වූයේ කුමක්ද....ලෝක විනාසය කැන්සල් ද...
ඇද ඉස්සරහා චූටි මල්ලී හිටගෙන සිටී..උගේ අතේ කිරි වීදුරුවකි...
සරමත් කොහෙන්දෝ හොයාගත් මම හනි හනිකට කුක්කු ටික බීවෙමි..
චූටි මල්ලිගේ වෙනසක් නැත..හොද වෙලාවට මම හීනෙන් මුකුත් කියවා නැත..
කිරි වීදුරුවත් රැගෙන චූටි මල්ලී එලියට ගියේය..මම සුසුමක් හෙලුවෙමි..
මොහොතකින් දොර රෙද්ද මෑත් වෙයි...
""ඒ ලොකු අයියේ..."
"මොකො"
"කවුද බන් නිර්මාණි"
යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් ....

Monday 8 October 2012

සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි.........



"ලොකු පුතා.."

අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
 මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්? 
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.

"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ" 

අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..

"යන්න දුව අයියා එක්ක"

ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.

 ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..

දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.

 "ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."

මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.

"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ" 

මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.

"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"

සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය

පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.

"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"

ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
 සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැත සිහියට පැමිනිය යුතුය..

"අයියා.."

"ම්ම්ම්ම්"

"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"

දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..

"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"

අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.

"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"

හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.

"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."

ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.

"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"

ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!

"කෝ බලන්න..."

මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!

"ඒ ටිකත් එතනම තියන්න.."

"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."

"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."

ඇය ගැස්සුවේය..

"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"

මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..

"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"

"අයියා?"


ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි

"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"

ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.

ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....

Sunday 23 September 2012

බැග් හොරා - "තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?"


උදේ පාන්දරම මහා ගාලගෝට්ටියකි.නිවි හැනහිල්ලේ නින්දක් වත් දාන්නට නැත.කුනුකෙල පිටින්ම කුනුහර්ප දෙකක් කියාගෙන ඇඳෙන් නැගිට්ටෙමි.වෙනදා වගේ නොව සරම ඇඟේම තිබුනි.මෙය නම් ආශ්චර්යයක්මය.එක්කෝ චූටි මල්ලී උදේ පාන්දරම කාමරයට පැමින සරම අන්දන්නට ඇත.
විවිධ මනස්ගාත සිතමින්ම මම කාමරයෙන් දොට්ට බැස්සෙමි.
ගේ ඇතුලේ හෙනම සද්දේය.
ලොකු මල්ලී චූටි මල්ලීට බනී,
චූටි මල්ලී ලොකු මල්ලීට බනී.
අම්මා මුන් දෙන්නාටම බනී.
අපේ අහිංසක ගෙදර හිංසක භාෂාවෙන් අමතනවාට මම කැමතිම නැත
ලොකු පුතා වශයෙන් යම් කිසි වගකීමක් ඇති නිසා මම මැද්දට පැන්නෙමි.

"මොකද යකෝ තොපිට වෙලා තියෙන්නේ උදේ පාන්දරම.තොපි දෙන්නටම ගහනවා මට කේන්ති ගියෝතින්.."

මල්ලිලා බය කරන රිසියෙන් මම නපුරු අයියාගේ චරිතයට ආවේශ උනෙමි.මට කේන්ති ගියොත් හෙන සැර බව උන් දෙන්නාම දනී.එවිට උන් කිසිවක් කියන්නේ නැත.මට නිතරම කේන්ති යන්නේ නැති බව උන් දෙන්නාම දනී.

"තෝ එනවද මුදරස්පලමෝ අපිට ගහන්න.අන්න අරෙහේ ඇඳට ගිහින් තව ටිකක් නිදා ගනින් පව් නොදී"

කුමක් හෝ නරක දෙයක් සිදු වී තිබේ.නැති නම් මල්ලිලා මෙහෙම කතා කරන්නේ නැත. ( හරි ඉතින් නිතරම මෙහෙම කතා කරන්නේ නෑ නේ..හ... )

මාගේ බයාදු මුහුන දුටු අම්මා මා බේරා ගැනීම උදෙසා සටනට අවතීර්ණ වුනාය.

"අයියට මෙහෙමද කතා කරන්නේ.මම කී පාරක් නම් කියලා තියෙනවද.ඔහොම කතා කරද්දී පාරේ යන කාට හරි ඇහුනොත් හිතාවි මේ ගෙදර වැඩිමල් අයට ගරු කරන්න දන්නේ නැති ගෙදරක් කියලා.සද්දේ අඩු කරලා කතා කරනවා."

අම්මාගේ ඔවදන මල්ලී පිලිගත් සැටියකි.කට හ‍‍‍‍‍ඩේ සැර මදක් බාල කල ඔහු නැවත අයියාට වදින ගාථාවෙන් මා ඇමතුවේය.

"මේ ඕයි..පව් නොදී යනවද? "

අද ගාථාවත් හෙනම කෙටිය.වෙනදට වල් ඉත්තෑවා,ගස් බල්ලා,දිගංචිය,පොට්ටයා වැනි පාලි සංස්කෘත වචන කිහිපයක්ද අන්තර් ගත වේ.

ඉල්ලන් ටිංකිරි ගා ගැනීමෙන් පසු නැවත කාමරය බලා යෑමට මා හැරුනා පමනි.
කවදත් මාගේ අතිජාත බොක්කේ ලව් පිට් එක චූටි මල්ලී මා ඇමතුවේය.

"ලොකු අයියේ.මම ඉස්කෝලේ යන්න ගත්තු අලුත්ම බෑග් එක මූ අරගෙන.දැන් එකේ කොහේ දාලද දන්නේ නෑ."

මට ඔහු ගැන හෙන අනුකම්පාවක් සිතුනි.චූටි මොල වලට බෑග් එකක් උවත් හෙන වටී.ලොකු අයියා වශයෙන් මම චුටි මල්ලී වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.ඌ කාගේ උනත් හොද ලොකු අයියෙක්ගේ මල්ලි කෙනෙක්ය

"හොද හිතින් චූටි මල්ලිගේ බෑග් එක ආපහු දියන්.නැති නම් මම තොගේ තේ එකට ලුණු දානවා."

"ඔව් ඔව්..ලොකු අයියා තේ එකට ලුණු දායි,මම තේ එකට ජාපාල දානවා..හොඳ හිතින් මගේ බෑග් එක දියන් හික් මීයෝ."

පියවරක් ඉදිරියට තැබූ ලොකු මල්ලී, චූටි මල්ලීගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

"ඈ යකෝ..තෝ ඔහොමද මට කතා කරන්නේ.මම තොගේ අයියා නේද?"
බෙල්ල අත හරින්නේ නැතුවම චූටි මල්ලීගේ මූනට එබුන ලොකු මල්ලී කේන්තියෙන් පුපුරමින් අසයි.
"ඉතින් ඔයා ලොකු අයියට කතා කරන්නේ එහෙමනේ.හ..."

චූටි මල්ලී බයාදු ලෙස කීවේය.මමද බයාදු ලෙස හිනා වුනෙමි.

"ඌ ඒ ලොකු අයියා නිසා.පොඩි අයියලට එහෙම කතා කරොත් තොට දෙනවා දත් ටික බඩට යන්න."

මාගේ චූටි මල්ලීට අත උස්සනවා මට බලා සිටීමට නොහැකිය.ලොකු අයියා වශයෙන් මම මේ වගකීම බාරගත යුතුය.දඩි බිඩි ගා උන් දෙන්නාගේ මැද්දට පැන්නමි.

"අඩෝ...."

"ඇයි"

"නෑ ඉතින්..අපි සහෝදරයෝ තුන් දෙනෙක් වශයෙන් මේක සාකච්චා මාර්ගයෙන් විසඳගමු.හරිය..දැන් ඔන්න ඔය චූටි එකාව බිමින් තියපන් මයේ අම්මේ.."

"නෑ..මාව බිමින් තියන්න ඕන නෑ.මම තෝව කනවා..මගේ බෑග් එක දියාන් යකෝ...."
මූට කට පියන් ඉන්නට බැරි සෙයකි.මූ ඉල්ලන්නේ ගේමමය.ගමේ ගොඩේ හුජ්ජ කොල්ලන් සමග බෝල සෙල්ලම් කරන්නට ගොස් උන්ගේ පාට් අපිට දමන්නට එයි.අපිට කිව්වට මට දමන්නේ නැත.මල්ලිලා දෙන්නාම මට බයය.
මාගේ රහස් පරීක්ෂක බුද්ධිය භාවිතා කල යුතු අවස්ථාවකි මේ.
 හරි..ඔන්න පටන් ගත්තා...
"මම මේ විශ්‍රාම ගිය රහස් පරීක්ෂකයෙක්.නිවාඩුවට ආවා දුවලෑ ගෙදර ජුංඩක් නැවතිලා යන්න. "
රහස් පරීක්ෂක කතාවක දෙබසකින්ම මම බෑගය සෙවීම ආරම්භ කිරිමට සැරසුනෙමි.
"බෑග් එක මොන පාටෙයි? අර පරණ කලු පාට එකමය."

"නෑ ඕයි..අලුතෙන්ම ගත්ත එකක්.නිල් පාට.ඒකේ හොර පොකට් තියෙනෝ."

මේ නම් ආස්චර්යයක්මය.ඉස්සර අපිද හොරපොකට් තිබූ බෑග් වලට ආසා කොලෙමු.එව්වායේ එක එක ඒවා දාගෙන පාසලට ගෙනිච්චෙමු.එක එක එව්වා කියන්නේ නරක දේවල් නොවේය.අපි පාසලට ඔයාලා වගේ නරක දේවල් ගෙනිච්චේ නැත.

"ඒකේ Kill Me කියලා ගහලා තිබ්බා.නිල් පාටයි.ටිකක් ලොකුයි කලින් එකට වඩා.කර පටි දෙක ම්හතයි."

ඒ වදන් ටික කියද්දී මාගේ ඇස් වලින් ඩොලර් පැන්නේය...

"ඒකේ කර පටිය කලු පාටෙයි,බෑග් එක ඇතුලේ පැන්සල් පෙට්ටියකුයි,පොත් දෙකකුයි තිබ්බය?.හොර පොකට් එකේ සෙලීනා ගෝමස් ගේ කී ටැග් එකකුත් තිබ්බද?"

"හෑ...ඔව් ඔව්.අන්න ඒක තමා.කොහේදිද දැක්කේ..?"

පෙරේදා කොළඹ යද්දී මම රැගෙන ගොස් ඇත්තේ මුගෙ බෑග් එකය.එය මම ගත්තා යැයි දැන ගත්තොත් මුන් දෙදෙනාම එක්වී මට පහර දෙනු ඇත.සෙලීනා ගෝමස් ගේ කී ටැග් එක ඇත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක දාන ලාච්චුව විවෘත කරන යතුරේය.
කුප්ප බුද්ධිය යොදා මෙයින් ගැලවිය යුතුය.

"ඔව් මම දැක්කා..මම දැක්කා ඒක මෙන්න මූ අරගෙන පන්ති යනවා..ඇත්ත කියපන්..තෝ කොහේද චූටි මල්ලිගේ බෑග් එක දැම්මේ."
පොඩි මල්ලී දෙසට අත දික් කල මම ඌට චෝදනා කලෙමි.

"මම ගත්ත බෑග් එකක් නෑ පොට්ටයෝ.."
උපැස් යුවල් පලඳින හැම අයියාටම මල්ලිලා කතා කරන්නේ පොට්ටයෝ කියාලා නිසා මට එය ගානක් නැත.
"ආ...උඹ ගත්තේ නෑ..හිටපන්කෝ...චූටි...ඔයා මුගේ කාමරේ බැලුවද?"

"ඔව් අයියේ..කාමරේ තිබුනේ නෑ..මම හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා."

"හ්ම්ම්ම්..ඔයා මගේ කාමරේ බැලුවද?"

"නෑ..බලන්නද?''  

"හෑ...නෑ නෑ...මම මේ නිකන් ඇහුවේ.කවුරු හරි උදේ කාමරේට ඇවිල්ලා මට සරම අන්දලා ගිහින් තියෙනවා.ඒකයි ඇහුවේ.."

"මම යකෝ සරම ඇන්දුවේ."
පොඩි මල්ලී පිලිතුරු දුන්නේය.

"ආ..එහෙමද...ටැන්කුයි ආ....චූටි..ඔයා කුස්සියේ පොඩ්ඩක් බලන්න.බෑග් එක.මම ආයේ මුගේ කාමරේට ගිහින් සර්ච් එකක් දාන්නම්."
 
"කුස්සියේ? කුස්සියේ කොහේද අයියේ බෑග්.."

"තොට ඒ පන්ඩිත කම් වැඩක් නෑ නේ..ගිහින් බලපිය.සීනි බෝතලේ තියෙන හරියේ බලපන්..මූ එතන තමා හංගන්න ඇත්තේ."

"බලන් ඉඳපල්ලා..අයියටයි මල්ලිටයි හම්බෙයි ලබ්බක්.මම යනවා ඇඟ හෝදගන්න.උබලට බෑග් එක හම්බුනොත් මටත් කියපන් හොඳේ"

තුවායත් කරේ දමා ගත් පොඩි මල්ලී පිටව ගියේය.ඔහුට පිටු පසින් චූටි මල්ලීද කුස්සිය දෙසට ඇවිදගෙන ගියේය.කරන දෙයක් ඉක්මනින් කල යුතුය.දඩ බඩ ගා මාගේ කාමරයට පැනගත් මම ,මේසය උඩ තිබූ බෑග් එක ගෙන පොඩි මල්ලීගේ කාමරයට පැන්නෙමි.බෑග් එක ඉක්මනීන් ඇද යටට විසි කල මම ටික වෙලාවක් කාමරයේ රැඳී සිටියෙමි..ඉන් පසු එක් වරම 

"මෙන්නෝ....මූ බෑග් එක හංගපු තැන අහු වුනෝ..." කියා කෑ ගැසුවෙමි.

කාමරය සෙනඟින් පිරී යන්නට වැඩි වේලාවක් ගත වුනේ නැත.

"පෙනේද..මූ බෑග් එක හංගලා තියෙන්නේ ඇඳ යට.මට කාමරේට ආපු ගමන් සැක හිතුනා..දන්නව නේ ඉතින් මට ඕනම දෙයක් ඉක්මනට හොයා ගන්න පුලුවන් කියලා."

ටවල් එක සරමක් ලෙස හැද සිටි ලොකු මල්ලී කටත් ඇරගෙන මා දෙස බලා සිටී.සියල්ලෝම ඉදිරියේ ඔහුගේ රෙදි ගැලවීම ගැන මම හෙනම ප්‍රීතියෙන් සිටියෙමි.
නමුත් එක් වරම චූටි මල්ලී කටහඩ අවදී කලේය..

"ලොකු අයියේ.."

"හ්ම්ම්ම්ම්ම්,,,,"

"මම ඔයා කාමරේට එන්න කලින් ඇඳ යට හොඳටම හොයලා බැලුවනේ"

Tuesday 11 September 2012

ඇස්.බී දිසානායකගේ පරම්පරාවට ගණදෙවි පිහිටයි!


ආදරණීය මාමි,

 මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ,රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්.ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක.අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.අපේ ලෙක්චරස්ලටත් එහෙමයි.ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්.දැන් ඒ අදුරු යුගය නෑ.ඔයැයි සෝ ග්‍රේට් මාමි.මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා.ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලුවන්.ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්.එයාටට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.
ඇත්තටම මාමේ අර z මෙව්වා මෙහෙම කරලා මෙහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා,...බොරු කියන්න එපා හොදේ! මම දන්නවා ඒක හොයාගගන්න ඇත්තෙත් ඔයා කියලා.ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ.
මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර.අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා.මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි.දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා.පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා.ඊයේ ගිනි ගිනි බෝලේ කරා.පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා.අද උදේ එලුවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා.අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.
දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ.අපේ අම්මලට නම් විකාර.මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න.හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්,මොකෝ ආයේ වවන්න කියලද..මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා.ඒක නෙමේ මාමේ..සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා.හ..මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක.මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන.වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන.එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලුවන් නේ.
           දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ.මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ.ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා , කඩවල් ගානේ බඩු විකුනනවා ..අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නි‍යැලිලා ඉන්නේ.ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි.ඊට පස්සේ තව අඩුවේවි.අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන.අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා , බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලුවන්.අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා.මම දන්නවා ඌ මේ පාරත් ෆේල්.අන්තිම ගොන් මැටි හරකෙක්.පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා.ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා.ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා.ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා.ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න.නැද්ද මම අහන්නේ.ආන්න ඊට පස්සේ පුලුවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න.කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න..හූ කියන්න..
මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන.
            ඉතින් මාමේ මම නවතින්නම්.මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන.මාමා තව තව කෑගහන්න.තව තව කතා කියන්න.ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.ඔව්.පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි.මාමට කපිල වස්තු ධාතූන්වහන්සේලාගේ පිහිටයි
 මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල කොල්ලෝ කියන්න කියලා කිව්වේ )

සරසවි ආචාර්‍යවරුන්ගේ සටනට ජය වේවා!!

ප.ලි - මේක ආතල් එකට ලිව්ව එකක් නොවන බව සලකන්නේ.අමර මලෙන් ලිව්වේමි.

                         මේ ලියලා තියෙන අකුරු මොන තරම් ලොකු කතාවක් කියනවද?

Wednesday 5 September 2012

" කඩ්ඩ චිත්‍රපටි වලට සිංහල නම් දෙමුය? " - All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !


 සමහර කඩ්ඩ චිත්‍රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා
ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා :D .
ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුවා.මීට කලිනුත් මේ වගේ එකක් දැම්මා කට්ටියට මතක ඇතිනේ.ඒක නම් ඉතින් බුකියේ එක එක වත්තේ ක්‍රිකට් සමාජ වල ,එක එක ලෝක වල ගෙඩි පිටින් ශෙයාර් උනා තමන්ගේ වගේ දාගෙන.මේකත් එහෙම වේවිද දන්නේ නෑ.



  • Kill Bill - බිල ගේන එකා මරපන්
  •  Men In Black - ග්‍රීස් යක්කු
  • The Man Without a Past - පස්සක් නැති මිනිහා
  • When Harry Met Sally... (1989) - මට ඒකිව හදිගැහිච්ච විට  
  • God Bless America - විමල් වීරවංශ
  • The Godfather - මයේ තාත්තා දෙයියෙක්!!
  • American Beauty - කොන්ඩලීසා රයිස්
  • Friends with Kids - කැම්පස් නොගිය යාලුවෝ දරුවොත් හදලා  
  • Ong back - ඕන්න පස්සේ
  • How I Ended This Summer - මේ ඡන්දේ ගොඩ දාගන්නේ කොහොමද
  • Halloween II  - හෙලවෙන දෙක  
  • I Hate Luv Stories - තුක් විතරක් මල් කතා  
  • God Bless America - ඇමරිකාවට දෙයියන්ගේම පිහිටයි!! 
  • Bad Teacher - බන්දුල 
  • Contraband - කොණ්ඩ බෑන්ඩ් එක
  • Headhunters - ස්වාධීන රූපවාහිනී 
  • Back to the Future - සුභ අනාගතයක්
  • The Pianist - ( ද පෑන්ටිස්ට් )- ජංගියා
  • Star Wars: Episode VI - Return of the Jedi - ජන්ද ගුන්ඩු - අවසන් සටන -ප්‍රභාකරන් ආපසු එයි
  • Eight Miles - මයිල් ගස් අටක්
  • The Lightning thief - ලංකා විදුලිබල මණ්ඩලය  
  • Gone In Sixty Seconds - කපුගෙදර
  • Girl next door - ඊලගට දොර වහන්න කෙල්ලේ
  • The Note Book : කටු වැඩ පොත  
  • The Lucky One : ලකී තමා දවසකට හරි මිනිහ
  • Om shaanthi om - ඔන්න ශාන්ති අක්කේ ඔන්න
  • Main Hoon Na - මේ උන්නා,දැන් නෑ
  • Brothers - සහෝදර සමාගම
  • Goats - ගෝඨාභය
  • When We Leave - කැම්පස් එකෙන් එලියට එන්නේ කවද්ද?  
  • My Name Is Khan - මගේ නම කාපන්
  • The Man from Nowhere - නෝර්වේ වලින් ආපු මිනිහා
  • Prince of Persia: The sands of time - නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
  • I am number four - අද පෝලිම එච්චර දිග නෑ 
  • My friends hot mom -  මගේ යාලුවගේ අම්මා පිච්චුනා  
  • 13 Going on 30 - එන්න තිහට දහතුනයි ලාබයි!
  • As It Is in Heaven - ඒකට හෙවනයි වගේ
  • All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය !!
  • Love and other drugs - කෙල්ල බොන්න එපා කිව්වා බං.!!
  • The 40-Year-Old Virgin - රොසි සේනානායක
  • Minority Report - උගත් පාඩම් හා ප්‍රති සංවිධානය
  • The Dark Knight Rises - සර්ත් ෆොන්සේකා හිරෙන් නිදහස්
  • Anaconda - අනේ කොන්දා  
  • No Strings Attached - නූල් නෑ පෙට්ටි නෑ
  •  I Served the King of England - මම වැඩ කරන්නේ රාජපක්ෂට 
  • That's My Boy (2012) - මගේ පුතා නාමල්
  • Gone Baby Gone - නාමල් බේබි ගියා ගියා
  • No Country for Old Men - නාකින්ට රටක් නෑ
  • puss in boots - බූට් එකක් කාපු පූසා
  • The Girl with the Dragon Tattoo - මකරෙක් අතේ ගහපු ගෑනි
  • Iron Man - මැදපන් මිනිහෝ!!
  • The Virgins - ෆ්‍රෙශ් බඩු
  • Four Nights with Anna - රෑට හතරපාරක් ඇන්නා!!
  • King Arthur - මහ රජානෙණි 
  • Superbad - හෙනම වනචරයා  


ඔක්කොම වචන සෙට් එක බලන්න ඕන නම් මෙතනින් යන්න  #MovieTitleInSinhala



කොරන්න කිසිම වැඩක් නැති නම් ටුවිටර් එකේ මාව Follow කරාට අවුලකුත් නෑ  @Rathgamaya

Monday 27 August 2012

සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.."


හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
       මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
 කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි. 

 "මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."

ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.

"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං" 

"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
 "හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"

"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.

දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්

"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "

"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!

දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.

"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??



 ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )

Thursday 23 August 2012

පේරාදෙණිය කැම්පස් එක ලස්සනයිද?

   
මේ ටොපික් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔය උඩින් තියෙන ඡායාරූපෙන්ම හම්බෙන්න ඇති නේ

දැන් මේක ලියන්නේ කොහොමද? ම්ම්ම්...සර්පයා යවන ආකාරයෙන් ලියනවද සාමාන්‍ය ආකාරයෙන් ලියනවද? හැමදාම සර්පයා යවන ආකාරයෙන් ලියලා ඇති වෙලා නිසා සාමාන්‍යාකාරයෙන් ලියන්නම් .

 
මේ ස්ට්‍රයික් එකක් නිසා කරනන් කිසිම වැඩක් නෑ.ගෙදර යන්නෙත් නැතුව කැම්පස් එකටම වෙලා ඉදලත් දැන් ඇති වෙලා.ඊයේ උදේ පාන්දරම ( 10 ට 11 ට විතර ) නැගිටපු ගමන් දැක්කේ ඇද ඉස්සරහා මේසේ උඩ කාගෙද මන්දා කැමරාවක් දාලා ගිහිල්ලා.
                                        මෙච්චර කාලයක් හිත හිත ඉදපු මෙව්වා එක අද ඉටු කරගන්න පුලුවන් කියන සිතුවිල්ලත් එක්කම කැමරාවත් අතින් ආරන් ඇදුමක් දාගෙන එලියට බැස්සා..
කොහෙන්ද පටන් ගන්නේ...ඉවර කරන්නේ කොහෙන්ද? හිතට අම්බානෙක ප්‍රශ්න ගොඩක්.ඇත්තටම පේරාදෙණියේ කැම්පස් එක පටන් ගන්නේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් කියලා පෙන්නන්න තරම් මායිමක් නැ.කැම්පස් එක වටේට වැටක් ගහලා නෑ නේ..
                                      ඉතින් ඕන දෙයක් වෙද්දෙන් කියලා මම ගහලා හන්දියෙන්ම පටන් ගන්න හිතුවා.කොළඹ ඉදලා එද්දි ගම්පොල පාරත් නුවර පාරත් වෙන් කරන පේරාදෙණිය හන්දියේ ඉදලා මීටර් 50ක් විතර නුවර පැත්තට යනකොට තමයි ගලහා හන්දිය තියෙන්නේ.පේරාදෙණිය උද්භිත උද්‍යානයට මුහුනලා තියෙන ගහලා හන්දියේ ඡායාරූපයක් තමා මේ තියෙන්නේ


  ගලහ හන්දිය




       ගලහ හන්දියේ දකුනු අත පැත්තට වෙන්න තියෙමේ මේ පුවරුව විශ්වවිද්‍යාලයේ ආරම්භය ලෙස සලකන්නත් පුලුවන්.



ගලහා හන්දිය ආරම්භවෙන තැනම තියෙන්නේ Medical Faculty එක.


 එතන ඉදලා තවත් මීටර් 100ක් විතර ගියපු තැන පාරේ දකුණු අත පැත්තට වෙන්න තියෙන්නේ විජේවර්ධන ශාලාව.ගලහා ඉදලා එනකොට හම්බවෙන ගැහැනු ළමුන්ට වෙන්කරලා තියෙන පලමු නේවාසිකාගාරය තමයි විජේවර්ධන ශාලාව.ඔය උඩින් තියෙන ඡා‍යාරූපයට හසුවෙලා තියෙන්නේ විජේවර්ධන ශාලාවේ කොටසක් විතරයි..


  විජේවර්ධන ශාලාව 


 විජේවර්ධනශාලාවට දකුණු පස තියෙන්නේ විද්‍යා පීඨය.මෙතන තියෙන රොබරෝසියා මල් ගස්වල මල් පිපෙන කාලෙට විද්‍යා පීඨ පුවරුව වටේට තියෙන තණ බිස්ස රෝස පාටට හැරෙනවා.මේ මල් පිපෙන කාලේ නෙමේ නිසා එතන මල් දකින්න නෑ


    විද්‍යා පීඨය ඉදිරිපිට ඇති පුවරුව

මේ පහලින් තියෙන ඡායාරූප දෙක මම ගත්තේ මල් පිපිලා මුලු කැමපස් එකම එකම මල් යායක් වෙලා තිබුන දවස් වල.



   රොබරෝසියා මල් පිපී බිම වැටෙන දිනවල විද්‍යා පීඨ පුවරුව අවට



                           මලල ක්‍රීඩා පිටියට මුහුනලා ඇති විද්‍යා පීඨ ගොඩනැගිලි.


විද්‍යා පීඨයට ඉදිරිපසින් පාරේ අනික් පැත්තට වෙන්න තමයි ජයතිලක ශාලාව තියෙන්නේ.ගලහා හන්දියේ ඉදලා එනකොට හම්බවෙන පලවෙනිම පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරය තමයි ජයතිලක ශාලාව.ජයතිලක ශාලාවේ ආකෘතියට අනුවම සැදුනු අරුණාචලම් ශාලාව , මාස් ශාලාව , මාක්ස් ශාලාව ,ජේම්ස් පීරිස් ශාලාව වගේ පිරිමි ලමුන්ගේ නේවාසිකාගාරත් තියෙනවා.ඒ ගැන ඉස්සරහට ලියන්නම්..


                                                   ජයතිලක ශාලාව


ජයතිලක ශාලාවත් , විද්‍යාපීඨයත් , විශ්වවිද්‍යාලීය මලල ක්‍රීඩාංගනයත් අරුණාචලම් ශාලවත් කියන මේ හතරම මැදි කරලා තියෙන මං සන්දියේ පිහිටා තියෙන පොකුන හදුන්වන්නේ අල්විස් පොකුණ එහෙමත් නැති නම් අල්විස් පොන්ඩ් එක කියලා.විශ්ව විද්‍යාලයේ මැද ලේස සලකන්නේ මෙන්න මේ කිව්ව අල්විස් පොකුන.

                                                          අල්විස් පොකුණ


අල්විස් පොකුණ තියෙන තැන ඉදලා බැලුවහම අරුණාචලම් ශාලාව පේන්නේ ඔන්න ඔය පහල තියෙන විදිහට.

                                                     අරුණාචලම් ශාලාව

අරුණාචලම් ශාලාවට හරියටම ඉදිරි පසින් පාරේ අනෙක් පැත්තට වෙන්නේ තියෙන්නේ විශ්ව විද්‍යාලීය මලල ක්‍රීඩාංගනය.
ලෝකයේ තියෙන ගල් අගුරු වලින් සෑදුන ධාවන පථ දෙකෙන් එකක් පිහිටලා තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්න මේ මලල ක්‍රීඩාපිටියේ

                                                  මලල ක්‍රීඩා පිටිය

 මලල ක්‍රීඩාපිටියත් එක්කම තියෙන්නේ ක්‍රිකට් ක්‍රිඩා පිටිය.ක්‍රිකට් ක්‍රීඩා පිටියට අනෙක් පැත්තේ රග්බි ක්‍රීඩා පිටිය පිහිටලා තියෙනවා.
මේ ක්‍රීඩාපිටි තුනම තියෙන්නේ එක පෙලට.පාරේ ඉදලා බැලුවම මේ ත්‍රිත්වයම එක පෙලට බලාගන්න පුලුවන්


 ක්‍රිකට් ක්‍රීඩාංගනය


 
                                                    රග්බි ක්‍රීඩාංගනය

අදට මේ ටික දාලා නවත්තනවා..ඔක්කොම එකම දවසින් දාන්න ගියොත් ලෝකේ දිගම බ්ලොග් පෝස්ට් එක මේක වේවි.තව දවස් දෙක තුනකින් ඉතුරු පින්තූර ටිකත් දාන්නම්.මේක මතු සම්භන්ධ කරන්න කලින් ආයේ කියන්නේ මේ ඡායාරූප ඔක්කොම ගත්තේ මෙගා පික්සල් 8ක කැමරාවකින්.ආර මල් වැටිච්ච ෆොටෝ දෙක නම් ගත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා දුරකතනයෙන් ( ඇඩ් එක නොමිලේ )

Saturday 18 August 2012

උපාසකම්මා...


ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය.

"සාදු... සාදු..."

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස...."

"හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."

ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය.

"හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."

ඇමතුම විසන්දි කෙරුනි..

"බුද්ධං සරණ්ං ගච්චාමි..

ධම්මං සරණ..."

"හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ.."

"හෙලෝ.. තෝ දැනගනින් @#$%$ මම පදියතලාවේ මේරී.. තෝ මට අහුවුනොත් තොගේ හතරහන්දි කඩලා මෙතනම බාවනවා වල් බල්ලා.."

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කෙරුනි...

"පානාති පාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි"  

Saturday 11 August 2012

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම


PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.
අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

 

ගැටළුව


ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.
මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් – එනම් PayPal භාවිතයෙන් – සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).
තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.
දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

 

ගැටළුවට හේතුව


ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
“Why does my PayPal account have only send capabilities?
Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future.
You can view the countries with send only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

 

විසඳීම

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.
  • eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
  • සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
  • ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
  • තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.
  •  

විසඳන මග.


PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.
PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:
  1. ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
  2. ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.

 

ඔබේ සහය දක්වන්න 




    මේ ලිපිය දාලා තිබුනේ Supun Budhajeewa ගේ බ්ලොග් එකේ.දැනට අවුරුදු දෙක තුනක් තිස්සේ මමත් මේ පහසුකම නැති නිසා සෑහෙන්ඩ කට්ටක් කනවා.ඒකයි මේ ලිපිය දාන්න හිතුවේ.