Saturday 19 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්(තෙවන කොටස) - "ඒයි...තාරවා..ඔහොම නැවතියන්"

හන්තාන දෙසින් උදෑසන හිරු කිරණ විශ්ව විද්‍යාල භූමියට වැටෙමින් තිබුනි.කියවන ඔබට නම් මෙය කතාවේ අලුත් කොටසකි.තාරිකාට නම් එය එසේ නොවුනි..ඇය බියෙන් තැතිගෙන තිබුනි.වෙනදාට හිමිදිරි උදයේම අවදිවන ඇය , අද අවදි වූයේ හසිනිගේ කෑ ගැසීම හමුවේය.

"තාරිකෝ....නැගිටපා...න්...."

 ඔළුවේ සිට පොරවාගෙන සිටි රෙද්ද දෑතින්ම ඇද දමමින් හසිනි කෑගැසුවාය.මේ කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය.කතාවේ චරිතයක් නිසා ඇය ගැන ලියමි. නැතිනම් මෙවැනි පණ්ඩිත කෙල්ලන් මම ගණනකටවත් නොගනිමි...

හිරු එලියට එකවරම දෑස නිරාවරණය වූ නිසාදෝ තාරිකා දෑස් පුංචි කර වටපිට බැලුවාය.

යුවතියක් උදෑසනම අවදිවනු ඔබ දැක තිබේද? පිලිතුර "ඔව්" නම් ඇයගේ කොණ්ඩය අවුල්වී ගොස් තිබිය යුතුය,දෑස් යට ගොස් මුව දෙපස සුදුමැලි වී තිබෙනු ඔබ දකින්නට ඇත.පිලිතුර "නැහැ" නම් ඔබ වාසනාවන්තය...ඒ දසුන එතරම්ම බියකරුය..
එම හැඟීමෙන්ම අපි තාරිකා දෙස බලමු...

සමාවන්න..කතාව ලියනා මටද වැරදී තිබේ...සෑම යුවතියක්ම එසේ නොවේ යැයි කිව යුතුය..ඇයගේ කොණ්ඩය පිළිවලය...දෑස් දීප්තිමත්ය... යුවතිය පියකරුය..නින්දෙන් අවදිවෙද්දී පවා ඇයගේ වෙනසක් නැත.එය ස්වභාවික සුන්දරත්වය විය යුතුය...ඊට වඩා දෙයක් මම නොදනිමි..ගෑණු ළමෝ සම්බන්ධයෙන් මම වියතෙකු නොවෙමි...වල්පල් දෙඩෙව්වා හොඳටම ඇතිය..අපි කතාවට යමු...

"මොකො...ගෙදර කියලා හිතුවද..ඉක්මණට නැගිටලා මූණ සෝද ගනින්..."

තාරිකා සිනහසෙමින්ම ඇඳෙන් බිමට පැන්නාය..
"මූණ සෝදගන්න කලින් ඇඟිලි සෝදන් ඉන්න වෙයි."

මේසය මත තිබූ කුඩා කුප්පියක් අතට ගත් ඇය එයින් ටිකක් රෙදි කැබැල්ලකට ගෙන නියපොතුවල තවරා තදින් පිරිමදින්න වූවාය..

"ඕයි මැට්ටි...ඔච්චර තදට උලන්න ඕන නෑ..."
නැවතත් පණ්ඩිත කටින් පණ්ඩිත වදනක් පිටවුනේය..

"බෝතලේ අන්තිම ටික තියෙන්නේ...අත් දෙකේම යවන්න පුළුවන් වේවිද දන්නෑ.."
 තාරිකා බියෙන් පිලිතුරු දුන්නාය...

විනාඩියක් දෙකක් පමණ යුවතියෝ ඔවුනොවුන්ගේ වැඩ වල නිරත වූවෝය.
"හරියන්නේ නෑ හසිනි...ඇඟිලි හතරක ඒවා යවන්න බෑ...බෝතලේ ඉවරයි"
උත්සාහය අත හරිමින් ඇය කීවාය...

"අද නම් උඹ ඉවරයි තාරි....අර පොට්ටයට අහු නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා එලියට බැහැපන්.."
මාගේ ඉවසීමේ සීමාවක්ද තිබේ..මේ කෙල්ල නම් ඕනෑවට වැඩිය..මම නැවතත් එසේම කියමි.මේ පණ්ඩිත කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය....කන්ණාඩි දැමූ පලියට ඔහුට පොට්ටයෙකු යැ‍යි කීම කෙතරම් අසාධාරණද??

"ම්ම්ම්ම්...හසී....ඔයා ලඟ බ්ලේඩ් එකක් තියෙනවද?"
මද වේලාවක් කල්පනා කරමින් සිටි තාරිකා ඇසුවාය...

"ඔව්..ඇති...මොකටද?"

"කෝ දීපන්කෝ.."

බ්ලේඩ් තලයත් රැගෙන තුවායත් පොරවාගෙන යුවතිය නානකාමරයට ඇතුලු වී දොර වසා ගත්තාය,..ඇතුලට යාමට අපට අවසර නැත..මම ඔබට නැවත මතක් කරමි..මෙය කාන්තා නේවාසිකාගාරයකි...අප මේ දැනුත් රැදී සිටින්නේ අනවසරයෙනි.ඉතින් අපි නාන කාමරයක් ඇතුලට කෙසේ රිංගමුද...

එන්න...අපි ඕනෑ තැනක ඇවිදිය හැකි පිරිමි නේවාසිකාගාරයක් වෙත යමු...

 "එපා වෙනවා බං සපත්තු දාලා ශර්ට් යට කරලා අඳින්න ගියාම..ඒ මදිවට අත් කොට ශර්ට්..තෙල් ගාලා ඔලුව පීරන්නත් ඕන...නිපුන් ,ඔන්න ඔය කලිසම මෙහාට විසි කරපන්."

පාවී ආ කලිසම එක් අතකින් අල්ලා ගත් නිර්මාල් හනි හනිකට එය හැඳගත්තේය.එය ඇදගන්නා තුරු අපි අහක බලා සිටිමු.පිරිමි අපිට නම් ඒ දසුන් ගනන් ගත යුතු නැත.නමුත් මේ කතාව යුවතියන්ද කියවයි.ඔවුන් මේවා දුටුවහොත් හොද නැත්තේ නිර්මාල්ටමය.කලු පාට කලිසමට නිල්පාට අත්කොට කමිසය යට කර තෙල් ඩිංගක් ගා හිසද පීරාගත්තේය. කන්ණාඩිය ඉදිරිපිටට ගොස් වරක් දෙවරක් හැඩ බැලුවේය.කන්ණාඩි පාවිච්චි කරන්නේ යුවතියන් පමණක්ම නොවේ..නැතිනම් පිරිමි නේවාසිකාගාර වල කන්ණාඩි දෙක තුන බිත්ති වල එල්ලා තිබෙන්නට විදිහක් නොමැත.

"ඔක්කොම හරි..දැන් පලයන්කෝ නාදන් එකට කෙල්ලො ටික පරිස්සම් කරගෙන එක්කගෙන එන්න..."

නිපුන් ඇසක් ඉඟිකරමින් පැවසුවේය.නවක වදය කාල සීමාව තුල බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කාලය වන්නේ මෙය බව මම තරයේ විශ්වාස කරමි.. 

හැඳ පැලඳ ගැනීමෙන් පසු අක්බාර් ශාලාවේ රැඳී සිටිය සියලුම පළමු වසර සිසුන් රාමනාදන් ශාලාව වෙත පෝලිමේ පැමිණියෝය.යුවතියකගේ අතින් අල්ලාගෙන පීඨය වෙත පිය නැගීම ඊලඟ කාර්යයයි.පියකරු යුවතියකගේ නම් අත තවත් ඉලංදාරි අතක් සමඟ එකතුවීමට ගතවන්නේ තත්පරයෙනුත් පංගුවකටත් වඩා අඩු කාලයකි.පැමිණ සිටින ඉලංදාරි රැල ඇස් ඒ මේ අත යවමින් ලස්සන ලස්සන යුවතියන් දෙස ඇස් බෝල කරකවමින් සිටියෝය.අවාසනාවකට තාරිකා පියකරු යුවතියක් වූවාය...ඉතින් කුමන කතාද...ඇස් බෝල කිහිපයක් එක එල්ලේම ඇය දෙස යොමු වී තිබුනි.


තාරිකාගේ අතේ නම් කවුරුන් හෝ එල්ලෙනු ඇත.එතෙක් අපි හසිනි සිටින්නේ කොයිබදදැයි සොයමු...ඇයත් කාගේදෝ අතක එල්ලී සිටියාය...හසිනි ගැන සොයා බලනා ඒ සුලු මොහොතට නිර්මාල් තාරිකාගේ අත ගෙන සිටියේය.හසිනි ගැන මෙතරම් උනන්දුවෙන් සොයන්නේ කියදැයි මම නොදනිමි.මේ කතාව අතීතයේදී ලිව්වා නම් හසිනි යනු තාරිකාගේ යෙහෙලිය පමනක්ම යැයි ලිවීමට ඉඩ තිබුනි.ඒත් වර්ථමානය සලකද්දී හසිනි ගැන මොකක්දෝ අමුත්තක් දැනේ.ඇය පියකරුය..හෙන විසේය...දගය...කතාව ලියනා මාගේ සිත ඇද ගැනීමට තරම් හසිනිගේ චරිතය ප්‍රබහල වී තිබේ...ඇය ගැන මීට පෙර සොයා නොබැලීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමි.කතාව අතර තුර මම ඔබට නැවත යමක් මතක් කරමි..සෑම ප්‍රේම කතාවකම මෙන්,මේ කතාවේදේ කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩය...
පාඨකය....අපි තාරිකා ගැන සිතීම අත හැර ඇයගේ යෙහෙලිය ගැන සිතීමට පටන් ගනිමුද??

අපි නැවත නිර්මාල්ලා දෙස හැරෙමු.පලමුව නිර්මාල්ගේ  මුහුණේ මද සිනහවකි, තාරිකාගේ මුහුණෙහි පෙරලා කරන සිනහවක් සේයාවකි.....ඉන්පසු ඉතින් පුරුදු ලෙසම ප්‍රථම හමුවීමේ සුන්දර මතක සටහන් කතා කරනු ඇත..
එය සිදුවීමට පෙර මා ලියන්නේ කෙසේ දැයි ඔබ සිතනු ඇත..මීට අවුරුද්දකට පෙර මමද ඔය සිදුවීම් පෙල ඔය ආකාරයටම පසු කලෙමි..

"ඉතින්...කොහොමද?" 
නිර්මාල් කතාව ආරම්භ කලේය..

"හොඳයි...අදත් අපි දෙන්නා එකට දැක්කොත් මාර වැඩේ නේ.." 
තාරිකා නිර්මාල්ට අකමැතිද? එසේත් නැති නම් එය ප්‍රකාශ කලේ බිය නිසාදැ‍යි මම නොදනිමි...

මහාචාර්‍ය එදිරිවීර සරස්චන්ද්‍ර එලිමහන් රංග පීඨයත් , හාදු වංගුවත් , කලාගාරයත් පසු කරමින් ඔවුන් පාගමනින්ම පීඨය දෙසට ඇවිද ගියෝය.

එකිනෙකා පසුපස එකිනෙකා සේ අතින් අත අල්ලාගෙන ගැහැණු හා පිරිමි ළමෝ දෙසිය ගණනක් පාරේ ගමන් කිරීම වෙන තැනක සිදුවූවා නම් විවිධ අය විවිධ කතා කියනු ඇත.නමුත් මේ කාල සීමාව තුල පේරාදෙණියට විශ්ව විද්‍යාලයට නම් එය අරුම පුදුම දසුනක් නොවීය.

තාරිකාටත් , නිර්මාල්ටත් ඕපාදූප කතා කරන්නට දී මම ඔබට වෙනම දෙයක් කීවේ හිතාමතාමය.ඔවුන්ටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතුය..සමහරවිට ඉදිරියට මෙය ඔවුන්ගේම කතාවක් වනු ඇත...

"ඒයි...තාරවා....ඔහොම නැවතියන්"
 සමාවන්න...මෙය ඔවුන්ගේම කතාව වීම ගැන සැක සහිතය..

කොහෙන්දෝ පැමිණි කටහඬක් තරුණ යුවල එක තැන නතර කිරීමට සමත් විය..මලිත් හෙවත් පොට්ට ජ්‍යෙෂ්ඨ සිසුවා ගැන අපට අමතකම වී ගොස් තිබුනි..මෙම කතාව ඔහු නැතිව ලියන්නට බැරුවා සේය.

මලිත් , නිසල් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙක් තරුණ යුවල වට කර ගත්තෝය.

"ඒයි...කෝ උඹේ අත් වල සායම් ටික මකාගෙන ආවද?"
 එකෙක් තාරිකා දෙස රෞද්‍ර බැල්මක් හෙලමින් ඇසීය..

ඔව් කියන්නට මෙන් තාරිකා දෙවරක් හිස ඉහල පහල ගෙනිච්චාය...

"උඹේ නෝන ගොළුයිද? " 
එවර බැල්ම එල්ල වූයේ නිර්මාල් වෙතටය..

මේ බිය ජනක අවස්ථාවේ වුවත් තාරිකාට තමාගේ "නෝනා" යැයි ඇමතීම ගැන නිර්මාල් , හිත ඇතුලෙන් මොකක්දෝ ආශ්වාදයක් වින්දේය..එය කොලු කමද එසේත් නොමැතිනම් වෙනත් හැඟීමක්ද යන්න පැවසීමට මම තවමත් ඉක්මන් වැඩිය.

"මකාගෙන ආවා" 

නිර්මාල් අපහසුතාවයට පත් වී සිටිනු දුටු නිසාදෝ තාරිකා කතා කලාය..

"කෝ පෙන්නපන්" 
එවර නම් මලිත් කතා කලේය...

දෑත පෙන්නන්නට වෙන්නේ තමා අප්‍රිය කරනම ජ්‍යෙෂ්ඨ සිසුවාටය...ඔහු දෑතින් අල්ලා බැලුවොත්!! තාරිකා කිලිපොලා ගියාය..

"මොකද බකමූණියෙක් වගේ බලන් ඉන්නේ..අත් දෙක පෙන්නපන්.."

යුවතිය හිතට වීරිය ගෙන දෑතම මලිත් දෙසට දික් කලාය..

"ඒ..මේකි මකාගෙන ඇවිල්ලා...අන්න එහෙම ඉඳපන් මේකේ ඉන්නව නම්.." 
තාරිකාගේ දෑත් දෙස බලමින් නිසල් පිලිතුරු දුන්නේය...

අනෙක් අයට නොපෙනුන කුමක් දෝ දෙයක් , උපැස් යුවලක් පැලඳ සිටි දෑසක් දුටුවේය.එය ඔහුගේ හිත පතුලටම කිඳා බැස්සේය..සමහර විට...ඔව්..සමහර විට අද හවස ඔහු එය යුවතියට පවසනු ඇත..මම ඉක්මන් නොවී ඉඳිමි...

"ඒ තාරාවා නංගි...ඔය කණ්නාඩි දාන ජ්‍යෙෂ්ඨතුමාගෙන් අහපන් කෙල්ලෙක්ට, එයාගේ පර්ස් එක ඇතුලට ෆොටෝ එකක් විදිහට යන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියලා " 
එකිනෙකා අපහසුතාවයට පත් කර ගැනීම තම කණ්ඩායම ඇතුලේද සිදුවිය හැකිය. තම සගයන් ඉදිරියේ මලිත්ව අපහසුතාවයට පත් කරනු වස් නිසල් ඇසුවේය.. 

 තාරිකා බිය වී සිටියාය...ඇය එය ඇසුවොත් මලිත්ගෙන් තවත් රැග් වීමට සිදුවනු ඇත..ඇසුවේ නැතොත් අනෙක් පිරිසෙන් රැග් වීමට සිදුවනු ඇත.ඇය අසරණය.අහිංසක යුවතියට මේවා තවත් දරා ගැනීමට හැකියාවක් නැත්තා සේය.

"පිස්සු නැතුව ඉඳපල්ලා...නංගි උඹ පලයන්" 

මලිත් සැබැවින්ම අපහසුතාවයට පත් වී සිටියේය..විහිළුවකට උවත් ගත යුත්තක් තිබේ..නමුත් සජිනි ගේ ඡායාරූපය විහිළුවට ගැනීම ඔහු නොරිස්සුවේය...ඔහුටත් නොදැනිම දකුණු අත පසුම්බිය කරා ඇදී ගියේය.

"නෑ නෑ...උඹලා කොහේවත් යන්නේ නෑ...අහපන්!! දැන්ම අහපන්,,නැතිනම් අපි අස්සවන්නම්.."
අනෙක් සිසුන්ද නිසල්ට සහයෝගය පලකිරීම උදෙසා යුවතියට තර්ජනය කලෝය..ඇය වඩ වඩාත් නිර්මාල්ගේ දෑත තද කරගත්තාය..කුමක් හෝ කල යුතුය..අවසානයේ එය ඇසීමට තාරිකා තීරණය කලාය...

"ජ්‍යෙෂ්ඨතුමාගේ මුදල් පසුම්බියට ඡායාරූපයක් විදිහට ගෑණුළමයෙක්ට ඇතුලු වෙන්න නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්?"

මට ඔබට එක් දෙයක් කීමට අමතක වී තිබුනි..නවක වදය කාල සීමාව තුල නවක සිසුන්ට ඉංග්‍රිසි වචන කතා කිරීම තහනම්ය..ඉතින් දන්නා සිංහලෙන් කියන දෙයක් කිව යුතුය..

ප්‍රශ්නයට පිලිතුරු ලෙස මලිත් සිනහසුනේය.එය මවා ගත් සිනහවක් බව තාරිකාට පවා තේරුම් ගියාය.හැඟීම් හංගාගෙන සිටීම අතින් නම් ඔහු දුර්වලයෙකි..ආදරයක් සඟවා ගැනීමට නම් ආදරය කර පලපුරුද්දක් තිබිය යුතුය.ඒ අතින් මලිත් පුරුදුකාරයෙකු නොවීය.ඔබටත් මේ ආකාරයටම මතකය ඔච්චම් කර තිබෙනු ඇතැ‍යි මම සිතමි.කුමන සරදම ඉවසුවද මතකයේ සරදම ඉවසා සිටිය නොහැකිය.අමතක කල නොහැකි කෙනෙකු හා සම්භන්ධ සෑම පුංචි දෙයක්ම එක් අවස්තාවකදී කදුලු බිංදු ලෙස ශරීරයෙන් එලියට පනිනු ඇත.එය මතකයේ ස්වභාවයයි..අමිහිරි ප්‍රේමණීය මතකයේ ස්ව්භාවයයි..මේ ලියන මොහොතේ මමද කදුලක් පිස දමමි...ඔබට එය නොපෙනේ..උපැස් යුවලක් පැලදීමේ වාසිය එයයි.

"ආ...එයා කියන එකක් නෑ...මම කියන්නම්...එකම සුදුසුකම තමා මේ ජ්‍යෙෂ්ඨතුමා ඒ ගෑණුළමයට අම්බානෙක ආදරේ කරලා තියෙන්න ඕන..ඒ ගෑණුළමයා ආදරේ කරත් නැතත්,ඒ ගෑණුළමයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉඳියත් , මෙයා එයාට ආදරේ කරලා තියෙනව නම් , පර්ස් එකට ෆොටෝ එකක් විදිහට යන්න පුලුවන්
...හරි...දැන් කියපන් දෙන්නත් එක්කම මම කියපු එක ආයේ සැරයක්" 
නිසල් නැවත විධානයක් දුන්නේය...

තරුණ යුවල අසරණව ගොස්ය..මලිත් ඊටත් වඩා අසරණව ගොස්ය.මොන දෙයක වුවත් අමතක කල නොහැකි දෙය වන්නේ මතකයයි.ඒ මතකය අකුණු පහරක් සේ ඔහු ඉදිරියේ ආලෝකමත් වෙමින් තිබුනි...දැන් ඔහුට තාරිකා පෙනෙන්නේ තාරිකා ලෙස නොවේය..ඇය දැන් ඔහුට සජිනි වූවාය.තාරිකාගේ දෑතේ වෙලී සිටි නිර්මාල් ඔහුට පෙනුනේ.....
සමාවන්න....එතනින් එහාට කතාව ලියාගෙන යාමට මට නොහැකිය....මලිත්ට මැවෙනා රූපයන් මා ඉදිරියේද මැවේ...මා ලියන්නේ මාගේ කතාව නොවන බව පුන පුනා කීවත් යමක් හංගාගෙන ලිවීම අපහසුය..මේ කතාවත් මගේ කතාවත් මටද පැටලීගොස් තිබේ..කතා දෙකම එකක් නම්, එසේ නම් මෙය ලියාගෙන යෑම තවත් අපහසුය..කෙසේ වුවද මා තීරණයක් ගතයුතුය.මේ කතාවන් කාගේ දැයි වෙන් වෙන්ම ඔබට පැවසිය යුතුය.ඔබව තවත් පටලවා දැමීම මට ඇවසි නොවේ.

මතකයන් සියල්ල ඇඳී , මැකී යද්දී තාරිකා සහ නිර්මාල් අදාල ප්‍රකාශය කර අවසන් කර තිබුනි...

"හ්ම්ම්...පලයල්ලා පලයල්ලා...." 
නිසල් හෝ වෙනත් කෙනෙක් කියූ නිසා තරුණ යුවල ඉක්මණින්ම එතැනින් පැනගත්තෝය..

කාලය හෙමින් හෙමින් ගතවුණි...වේලාව අපිටත් හොරා ගොස් තිබේ..දේශන වලට සහභාගී වීම නිසා නවක සිසුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන්ද කාර්යබහුල වී තිබුනි..

හිරු බැස යෑමට ආසන්න වෙද්දී නිර්මාලුත් තාරිකාත් නැවත මුනගැසුනෝය.එය නිර්මාල් කලින්ම සිට සැලසුම් කර තිබුනු නිසාද එසේත් නැතිනම් අහම්බයක්ද යන්න මම නොදනිමි...යුවල විශ්ව විද්‍යාල ක්‍රීඩාපිටිය මායිම්ව ඇති පාරේ වල් පල් දොඩවමින් ඇවිද ගියෝය..

"ඒයි ඔහොම නවතිනවා.."

නැවතත් පෙර පරිදිම විධානයක් ඇසුනි..පෙර පරිදිම නැවතීමක් සමඟ ආපසු හැරී බැලීමක්...ජ්‍යෙෂ්ඨ සිසුන් 10ක් 12ක් දැක ගැනීමේ අරමුණින් පිටුපස හැරී බැලුවද උපැස් යුවලක් පැලඳගත් එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් පමණක් පිටිපස සිටියේය...

"තමුසෙගේ ඔළුව හොඳ නැද්ද නංගි?"

බිඳක්වත් පමා නොවී මලිත් ප්‍රශ්න කලේය.. මොහු පැමිණ සිටින්නේ උදෑසන සිදු වූ දෙයට පලිය ගැනීමට විය යුතුය..තාරිකා සියලු දෙවි දේවතාවුන්ට පින්දුන්නාය..ඇය ගොලුවූවා නම් යැයි සිතුවාය...මේ මොහොතේම බස් රථයක නැගී ගෙදර යාමට ඇත් නම් යැයි සිතුවාය..ඇයට සිතුනු හැම සිතුවිල්ලක්ම මා දන්නේ කෙසේ දැයි මගෙන් නොවිමසන්න...මා එය ඉදිරියට ඔබට කියමි..එතෙක් ඉවසා සිටින්න...

"කතා කරනවා..."

"මම වැරැද්දක් කරේ නෑ ජ්‍යෙෂ්ඨතුමා..එයාලා මට කරන්න කියපු දේ තමා මම කරේ" 
යුවතිය බියෙන් පිලිතුරු දුන්නාය...නිර්මාල් ඇය අසලින් සිටීම ගැන එක් අතකට ඇය සතුටුවූවාය.

"ඒක ගැන නෙමේ ඕයි මම අහන්නේ...නියපොතු වලට කරපු දේ ගැන මම අහන්නේ.ඇයි නියපොතු හීරුවේ..?."
 අහා...එසේ නම් මොහු එය නිරීක්ෂණය කර තිබේ..අපිටත් වඩා , කොටින්ම නිර්මාල්ටත් වඩා මේ උපැස් යුවල පලඳින සිසුවා යුවතිය ගැන සංවේදී වී තිබේ..එය එසේ වූයේ පසුම්බියේ වූ ඡායාරූපය නිසාද එසේත් නැති නම් වෙනත් හේතුවක් නිසාද..පිලිතුර මම දනිමි..නමුත් අද කතාවෙන් මම එය ඔබට නොපවසමි...යොවුන් ප්‍රේම කතාවල කුතුහලය තිබෙනා තරමට ඒවා පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී.

"කියුටෙක්ස් Remover එක ඉවර උනා...ඉතින් Blade එකකින් හූරලා යැව්වා.."

 "කියුටෙක්ස් ,Remover , Blade ?? ගිලපන් කඩ්ඩ වචන ටික ඔක්කොම" 
ඇයට බුරුලක් දීමට මලිත් කොහොමටවත් කැමති නැත..ඔහුද ගානකට වැඩිය..මෙවැනි සුන්දර යුවතියකට මේ ආකාරයට කතා කිරීම ගැන ඔහු පසුතැවිය යුතුය.

"නියපොතු ආලේපේන ඉවත්කරණය ඉවර වෙලා තිබුන නිසා මුවහත් තලයකින් ආලේපන ඉවත් කරා"

"අන්න එහෙම වරෙන්..."

මලිත් සිහින් සිනහවක් මුවට නගා ගනිමින් පැවසුවේය..

"යකෝ.මෝඩියේ....කරන්න කියන පලියට හැම වැඩක්ම කරන්න එපා..බ්ලේඩ් එකෙන් හූරද්දී ඇඟිල්ලක් එහෙම කැපුන නම්?..ඔයිට වටා හිතලා වැඩක් කරපන්.නැති නම් අපිටයි පොලීසි යන්න 
වෙන්නේ.හ්ම්ම්ම්....දැන් පලයන්"

 ඔහු එය කීවේ පොලිසි යෑමට බියෙන්ද , එසේත් නැති නම්!!! එය අපිට ප්‍රශ්නයක් වූවාට තාරිකාට නම් ප්‍රශ්නයක් නොවීය..එතනින් ගැලවී යෑම ගැන ඇය දෙවියන්ට පින් දුන්නාය...

මද දුරක් ඇවිද ගිය පසු නිර්මාල් ඇයගෙන් අහන්නේ නැතිවම යුවතියගේ දෑතින් අල්ලා ගත්තේය..ඉන් පසු තම අතින් ඇයගේ දෑඟිලි පිරිමැද්දේය.

"ඔයාට නම් පිස්සු තාරි..මමත් දැනුයි දැක්කේ..." ඇයගේ නියපොතු වලට සිදුවී ඇති දෙය දැකීමට මෙතරම් වෙලා යෑම ගැන නිර්මාල් තමාටම දොස් පවරා ගත්තේය.තමා ඉස්සර වුනේ නම් ඒ ලකුණු ටිකත් වැටෙන්නේ තමාට බව ඔහු දැන හුන්නේය.
තාරිකාට තාරි කියන තරමටත් , ඇයගේ දෑතින් අල්ලන තරමටත් නිර්මාල් දැන් ඇයට ලංවී සිටියේය..කුමක්දෝ හේතුවකට යුවතියද ඒ ගැන කිසිවක් කියුවේ නැත.

මේ කතාව කියවන ඔබ නිර්මාල් , තාරිකාට ලං වීම ගැන දුක් වෙන්නේ මන්දැයි නොදනිමි..හේතුවක් ඇති නම් එය මලිත් විය යුතුය...
නමුත්.....මලිත්??
මලිත් යනු කවරෙක්ද????

 -----------------------------------------------------------------------------------------

මතකය

බඩු ටිකත් පැක් කරගෙන ගෙදර යන්න මම 1.20ට බදුල්ලේ ඉඳලා කොළඹ යන කෝච්චියේ නැග්ගා..මේ කෝච්චියේම මමයි ඉශාරයි එකට ගෙදර ගිය හැටි මතක් වෙනවා..මේවා බ්ලොග් එකේ ලිව්වම හෙට උදේටත් මට කෝල් එකක් ඒවි..ඒත් කරන්න දෙයක් නෑ..මම ලියන්න අරන් ඉවරයි..මීට මාස හතරකට විතර කලින් මේ බදුලු කෝච්චියේම ඉශාරත් එක්ක ගෙදර යන්න ගියපු අන්තිම දවස ගැන මතක් වෙනවා..සමහර විට මේ මතකය කියන කෑල්ල තියෙන්නේ ඒවා ලියන්නම වෙන්න ඇති...

"මොකො නංගි, ප්‍රශ්නේ මොකක්ද...?ස්ටේශන් එකේදි කතා කරෙත් නෑ..කෝච්චියට නැගලා කතා කරන්නෙත් නෑ.." 

 "ලොකු ප්‍රශ්නයක් අයියේ"

"පේපර් එකට එන ප්‍රශ්නයක් නම් කුප්පියක් දාන්නම් කොළඹ යනකල්" පුරුදු විදිහට විහිළුවෙන් මම උත්තර දුන්නා..

"විහිළුවක් නෙමේ අයියේ..ආදරේ නැති කෙනෙක් එක්ක ආදරෙයි වගේ ඉන්න උනොත් මොකද වෙන්නේ?"

එයා අහන්නේම ඔය වගේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්න.

"මම එහෙම ඉඳලා තියෙනවා..කැම්පස් එකට එන්න කලින්...ඒ ගැන මම ඔයාට කියලා තියෙනව නේ නංගි..ඒ හිටපු කෙනාගේ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරලා එතනට ඔයාව දැම්මේ මම ඇත්තටම ඔයාට ආදරේ නිසා..."

"ඉතින් එහෙම ඉන්න පුළුවන්ද?, මම් කිව්වේ ආදරේ නැති කෙනෙක්ට ආදරේ වගේ ඉන්න පුළුවන්ද?"

"බෑ...පොඩ්ඩක් වත් බෑ..."

"හ්ම්ම්ම්..මට ඔයාට බොරු කරන්න බෑ අයියේ..අපි ආදරේ කරන්න පටන් අරන් දැනට මාසයක් වෙන්න ඇති...මට තවත් ඔයාට බොරු කරන්න බෑ.."

"බොරු?? මොකක්ද බොරු?" 
බොරුව මොකක්ද කියලා දැන දැනම මම එයාගෙන් ඇහුවා...

"මට ඔයාට ආදරෙයි වගේ රඟපාන්න බෑ සහන් අයියේ.එහෙම කරොත් මට පව්.."

"ආදරේ නෑ....ඒත් එහෙනම් ඇයි මට ආදරෙයි කිව්වේ??"

"දෙයියනේ මම බයෙන් හිටියේ.ඔයා මගෙන් ඇහුවා...මම උත්තර දුන්නා....ඒක මම හිතලා කිව්වේ නෑ..මම බය උනා ඔයාට ඕන උත්තරේ නොදුන්නොත් ඔයා මාව රැග් කරයි කියලා.."

"රැග් කරන්න...ඒත් මම ඔයාගෙන් අහන දවස් වල රැග් එක තිබුනේ නෑ ඉශාරා.."

"හරි දෙයියනේ !! හරි....මම දන්නවා..ඒත් මම බය වුනා."

ඊට පස්සේ එයා මොන මොනවදෝ කිව්වා..මමත් ඔහේ අහගෙන ඉඳියා...සමහර විට එයාට මේ සම්බන්ධේ පටන් අරන් මාසයක් වෙන්න ඇති..ඒත් මට ඒ මාසේ අවුරුදු ගානක් වගේ..ඒ බැඳීම කඩලා දාන්නේ කොහොමද කියලා මම හිතාගන්න බැරුව ඉන්නේ..මොකක් හරි පිනකට මම කන්ණාඩි දෙක දාගෙන ඉඳියේ..ඉතින්...එයා කොහේ මගේ කඳුළු දකින්නද...එයාගේ කතාවේ හැටියට එයා සාධාරණයි..එයාට කරන්න දෙයක් තිබිලම නෑ..ඒත් මාසයක්ම යනකල් ඉඳලා ඒක කිව්වේ ඇයි..?

"ඉශාරා...ඔයා මට ආදරේ කරත් නැතත් මම ඔයාට ආදරෙයි....සමහර විට මම ආයෙත් කතාවක් ලියාවි..ඔයා මගේ කලින් කතාව කියෙව්වනේ..මම ඒක බාගෙට නතර කලේ ඔයා මගේ ජීවිතේට ආපු නිසා..ඒත්...ඔයා ඇවිල්ලා මට අලුත් කතාවක් ලියන්න ඉඩ හදලා දුන්නා...ඔයාට බොහොම පින්..."

කෝච්චියේ ගැස්සිල්ලත් එක්ක මම පියවි සිහියට ආවා..
අද බදුල්ල කෝච්චිය ගැස්සෙනවා වැඩියි..එදත් එහෙමයි...මොනව කරන්නද...ජනේලයක් අයිනට හේත්තු වෙලා මම ඒ දවස ගැන හිත හිත හිටියා..මටත් නොදැනිම මගේ අත පර්ස් එකට ගිහිල්ලා ඒක තිබුන ෆොටෝ එකක් එලියට ඇදලා අරගෙන.ඕනම දේක අමතක කරන්න බැරි දේ තමයි මතකය...

එයා මොනවද ආදරේ ගැන දන්නේ..ආදරේ කරන්න ,එයා තාම චූටි කෙල්ලෙක්...

මම ආදරේ ක‍රන කෙනා මට ආදරේ නැති නම් කඩදාසි කෑලි පර්ස් වල පුරවන් ඉඳලා වැඩක් නෑ...පර්ස් එකේ දාගෙන ඉදපු දෙවනි කෙල්ලගේ ෆොටෝ එකත් කෑලි හතර පහකට ඉරලා ජනේලෙන් එලියට අල්ලගෙන ඉඳියා...හුලං පාරට කෑලි ටික ඔහේ පා වෙලා ගියා...මතකයත් ඒ වගේ පාවෙලා නැති වෙලා යනව නම්....සමහර දේවල් නැවත නැවත සිද්ද වෙනවා වගෙයි..ආයේ පාරක් ආදරේ කරොත් ෆොටෝ කෑලි පර්ස් එකේ දාගෙන මතකය අමතක කරන්න බැරි පිස්සෙක් වගේ විදවන්නේ නෑ.

අද ඉදලා , මේ ලියන කතා දෙක පටලවලා කියවන ඔයාලව අතරමං කරන එකේ තවත් තේරුමක් නෑ..ඉශාරා දන්නවා මම මේ කතාව බ්ලොග් එකේ ලියනවා කියලා.මම හිතුවා මේ කතාව හැමෝගෙන්ම හංගලා එයාගෙනුත් හංගලා ලියාගෙන යන්න පුලුවන් වේවි කියලා.ඉතින් බොරුවට කතා දෙකක් වගේ ලියාගෙන ගියා.මේ කතාව තවත් කාගෙන් වත් හංගන්නේ මොකටද...
ඔව්....මම අද රහසක් කියන්නම්... 
මම ලියන කතා දෙකම එකක්..එයා තාරිකා...නෑ එයා තාරිකා නෙමේ..එයා ඇත්තටම ඉශාරා...
එතකොට මලිත්...ඔව්.ඒ මම තමයි....මලිත් කියන්නේ මම තමයි...


Tuesday 15 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්( දෙවන කොටස ) - "උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇඳුම් විනිවිද පේනවද?"


               කතාවක් ලියාගෙන යාමට සෑම සිද්ධියක්ම මතකයේ තිබිය යුතුය.කුමක්දෝ අහේතුවකට කතාවේ සමහර තැන් වල ඇත්තේ හිස් බවකි.එය මාගේ මතකයෙන් මකා දැමුවාක් වැනිය.වරෙක මාගේ කතාවත්, මා මේ ලියාගෙන යන කතාවත් පැටලැවෙයි.පලපුරුදු ලේඛකයෙකු නොවීම ගැන මම මටම දොස් පවරාගනිමි..
පම්පෝරි ඕනෑ නැත...අපි කතාවට යමු..

ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් වන රාමනාදන් ශාලාවේ පොදු කාමරය තුල ඇති බංකුවක ගැහැණු ළමෝ දෙදෙනෙක් බර කතාවකය.එක් මුහුණක් නම් හොදට හුරු පුරුදුය..ඇය තාරිකා වූවාය..අනෙක් යුවතිය කවුරුන්දැයි මමද නොදනිමි.සමහර විට තාරිකාගේ යෙහෙලියක විය හැක.ඇයගේ නම ගම කුමක්දැයි නොදැන සිටියද ඇයද පියකරු යුවතියක් වූවාය..පුදුමයෙන් නොබලන්න...ගැහැණු ලමුන් දෙදෙනෙකුට මිතුරු වීමට ගතවන්නේ විනාඩි 10 කටත් අඩු කාලයකි..ඕපා දූප දොඩවන්නට ගතවන්නේ නම් තත්පරම කිහිපයකි.
එන්න...අපි හොරාට ඔවුන්ගේ කතාවට සවන් දෙමු..
ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරයක් තුල අවේලාවේ සිටිමින් ඔවුන්ගේ කතා වලට සවන් දෙනු කවුරුන් හෝ දුටුවොත් ප්‍රශ්න ඇතිවන්නේ අපිටමය.

"ඉතින්...ඌ අත ඇරියෙම නැද්ද?"

අනෙක් යුවතිය තාරිකාගේ දෑස දෙස බලමින්ම ඇසුවාය.

තාරිකා රතුවී තිබේ.පිජාමා ඇඳුමේ රෝස පැහැය නිසා ඇයගේ මුහු‍ණේ රතු පැහැය අඳුරේ සිට බලන්නෙකුට වුවද දැකගත හැකිය.

 "පිස්සුද..එයා කොහේ අත අරින්නද...එයාත් වඩා තදින් මම අත අල්ලගෙන..මම අඬපු නිසාද දන්නෑ නිර්මාලුත් බයවෙලා ඉඳියේ..ඒ අස්සේ අර පොට්ට සින්නා තව මොනවද කියනවා...ඌ නම් යකෙක් වගේ හසිනි..හෙට යද්දි කොහොම හරි නියපොතු වල පාට ටික මකාගෙන යන්න වෙනවා..නැතිනම්...."

එතැනින් එහා වචන ටික ඇය ගිල ගත්තාය.ඉන් පසු වන දේ ගැන සිතීමටත් ඇය බිය වූවාය.
  එම දෙබසින් මම එකක් දැන ගත්තෙමි..ඇයගේ යෙහෙලියගේ නම හසිනිය.සෑම ප්‍රේම කතාවක මෙන්ම මේ කතාවේද කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩ විය යුතුය..කතා නායිකාවන් අපිට මොකටද...ඇයගේ යෙහෙලිය ගැන අපි ටිකක් සොයා බලමු...


"ඔය පොට්ටයා අද උදේ මාවත් අල්ල ගත්තා...ඇඳගෙන ආපු ඇඳුම කොට වැඩියිලු...කොට වැඩි නම් අහක බලන් ඉන්නනේ තියෙන්නේ...ඇයි වදේ..අපි කොටට ඇන්දම ඌට මොකක්ද තියෙන අමාරුව.."

 "අමාරුව?"
 තාරිකා උස් හඬින් යටි තොල උඩි තොලෙන් සපා ගනිමින් ඇසුවාය.
 තත්පරයක නිහැඬියාවකට පසු මුලු නාදන් ශාලාවම තරුණ ගැහැණු ළමෝ දෙදෙනෙකුගේ සිනහා හඬින් පිරී ගියේය.
එම දෙබස් සවනට වැටෙනවාත් සමගම තාරිකාගේ යෙහෙලිය ගැන මාගේ හිතේ තිබූ අංගු මාත්‍රයක ඇල්ම මම අකුලා ගන්නෙමි..හිතවත් පාඨකය...ඔබට ඇබෑර්තු ඇත.
ඔවුන්ගේ නොහොඹිනා විහිළු වලට ඔවුන්ටම සිනා සීමට ඉඩ දී අපි පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරයක් වන අක්බාර් ශාලාව වෙත යමු.

නවක සිසුන්ගේ ආගමනය නිසා නේවාසිකාගාර ආපනශාලාවේ ආහාර පෝලිම වෙනදාට වඩා දිගෙන් වැඩිය.

පෝලිමේ පිටුපසින්ම නිර්මාල් සිටියේය.

 "නෑ බං නිපුන්,ඒකි ගම්පහලු බං.නම තාරිකා"

ඉදිරිපස සිටි මිතුරාට ඇසෙන්නට ඔහු කීවේය.අප යන්තම් ප්‍රමාද වූ නිසා මුල් දෙබස් අපට මග හැරී තිබේ...

"ගම්පහ උනාට ඒකි නිකන් කොළඹ වගේනේ බං.දැක්කේ නැද්ද පොශ් ගතිය."

"ගම්පහ කියන්නෙත් කොළඹනේ බං"

"ඔව් ඉතිං ගාල්ලේ උන්දලට ගම්පහ කියන්නෙත් කොළඹ වගේ තමා"

"පල පල යන්න"

 මිතුරෝ දෙදෙන සිනාසුනෝය..

කෑම පෝලිම අවසන් වන තුරු ඉලංදාරි වදන් ඔවුන්ගේ මුවෙන් ගිලිහෙමින් තිබුනි.

විශ්ව විද්‍යාලයේ හැම පිරිමි නේවාසිකාගාරයකම නවක සිසුවෝ , සිසුවියන් ගැන කතා කරමින් සිටියෝය.. යුවතියන්ගේ නේවාසිකාගාර තුල එහි අනෙක් පැත්ත සිදුවෙමින් තිබුනි.නේවාසිකාගාර ගොඩනැගිලි බිත්ති වලට කටවල් තිබුනා නම් , මෙය විශ්ව විද්‍යාලය ආරම්භ කල දින සිටම සිදුවන්නක් බව කෑ ගසා කියනු ඇත.

 මේ අතර කොහේදෝ බෝඩිමක උපැස් යුවලක් පැලඳගත් තැනැත්තෙක් පොතක් කියවමින් සිටියේය...
සමාවෙන්න..ඔහු පොතේ ලියමින් සිටියේය...

 "යුගයේ අප්සට්ම රචකයා ලියන මොන්ගල්ම නවකතාව තාම ඉවර නැද්ද බං.. "
කාමරයට ඇතුලු වෙමින් සිටි මිතුරා ඔහුගෙන් විමසුවේය.

තවම නෑ යැයි කියන්නට මෙන් හිස වරක් දෙපසට වැනූ ඔහු නැවත ලිවීම ආරම්භ කලේය.

"උඹ ඕක ගිය අවුරුද්දේ අපි කැම්පස් ආපු දවසේ ඉඳලා ලියනවා..අපි මෙහෙන් යන දවස වෙනකල්ම ලියාවි.ඕක ලියනවට වඩා හොඳ නැද්ද හැමදාම ලෙක්චර්ස් ගිහිල්ලා නිදිමතේ හරි අහගෙන ඉඳිය නම්"

මද සිනහවකින් යුතුව තම මිතුරා දෙස බැලූ ඔහු කතා කරන්නට පටන් ගත්තේය.

"හරි නිසල්...දැන් බලපන්...ලෙක්චර්ස් ගියා කියලා උඹගෙයි මගෙයි වෙනසක් තියෙනවද? උඹත් සබ්ජක්ට්ස් දෙකක් රිපීට් මමත් සබ්ජක්ට්ස් දෙකක් රිපීට්"

"ඒ මට කඩ්ඩ බැරි නිසා ඩෝ.උඹට කඩ්ඩත් පුලුවන් වෙලා මෙහෙම කරගන්න එක ගැන මට දුකයි මලිත්.."

"ඔය අඳෝනාව නවත්ත ගනින්කෝ..මට කතාව ලියන්න තියෙනවා...."

ලියමින් සිටි පොත දෙසට හිස පහත් කරගත් ඔහු තවත් වචන කිහිපයක් ලියුවේය..පෑනෙන් දෙවරක් මේසයට තට්ටු කර හිස අතින් පිරි මැද්දේය.

"නිසල්"

"ම්ම්ම්..."

"උඹට ඒ කෙල්ලගේ විශේෂත්වයක් පෙනුනේ නැද්ද?"

"කෙල්ල? මොන එකීද?"

"අර තාරිකා"

"පෙනුනා පෙනුනා....අනිත් ජුන්නියෝ එක්ක තිබ්බම ඒකිගේ හෙනම විශේෂත්වයක් පෙනුනා"

"මම සිරාවටම අහන්නේ බං"

"අපිට නොපෙනුන මොකක්ද උඹට ඒකිගේ පෙනුනේ..යකෝ..උඹේ කන්ණාඩි දෙක දාගත්තාම ඇදුම් විනිවිද පේනවද?" 

නිසල් සිනහසුනේය...ඇඳ රෙද්ද සදමින් තව තවත් සිනහසුනේය.

එය එක් විහිළුවක් පමණි.උපැස් යුවල දමා සිටියාට ඇදුම් විනිවිද පෙනෙන්නේ නැත.එය මම අත්දැකීමෙන්ම දනිමි. 

"තාරිකා සජිනි වගේ බං.ඒකි දකින දකින වෙලාවට මට පේන්නේ සජිනි"

"සජිනි? උඹ ලියන අප්සට් නව කතාවේ දුෂ්ඨ පෙම්වතීද? ඔහොම හිටපන් බලන්න.." 

මේසය මුල්ලේ තිබූ මලිත්ගේ මුදල් පසුම්බිය වෙත අත දිගුකර එය අතට ගත් නිසල් පසුම්බිය විවෘත කර බැලුවේය.

හනික මා සමග එන්න...අපි ඔහුට පිටු පසින් ගොස් එය තුල තිබෙන්නේ මොනවා දැ‍යි බලමු..
දහයේ විස්සේ කොල කිහිපයක් අස්සෙන් කාගේදෝ රුවක් සහිත ඡායාරූපයක් ඒ තුල තිබුනි.එය එක් අතකින් ඉවතට ගත් නිසල් මදක් ඒ දෙස බලා සිටියේය.පසුව ඔහු එය හිරු එලියට අල්ලා බැලුවේය.වතුර ජෝගුව අතින් ගෙන ඡායාරූපය එහි ඔබන්නට ගියේය..

"මට නම් මේ කෙල්ල තාරිකා වගේ පේන්නේ නෑනේ..වතුරේ දාලා පෙනුනෙත් නැති නම් උඹගේ කන්ණාඩි වල අවුලක් මචෝ.හෙටම ගිහින් ආයේ ඇස් පෙන්න ගනින්.." 
හෙතම සිනා සෙමින්ම පැවසීය.

"නෑ නිසල්...තාරිකා ටිකක් හරි සජිනි වගේ.. ඒකි හැසිරෙන්නෙත් ටිකක් ඒ විදිහටමයි..මොනදේටත් බයේ ඉන්නේ කොයි වෙලෙත්.."

"බය?..ඕකුන්ගේ බය යාවි රැග් එක ඉවර උන ගමන්ම.බලපන්කෝ ඕකුන් අපේ කරෙත් නගින්න එයි ඊට පස්සේ.."
ඇඳ රෙද්ද තවත් වරක් ගසා දමා නිසල් ඇඳට ගොඩ විය.

"ඔය මගුල ලියලා ඉවර වෙලා ලයිට් එක නිවපන්..මහ රෑ තිස්සේ ලයිට් දාලා තියනවා දැක්කොත් බෝඩිමේ ගෑනි තව රුපියල් 500 කින් විතර ගාන වැඩි කරාවි." 
"ලිව්වා ඇති...මටත් නිදිමතයි.."

විදුලි බුබුල නිවා දැමූ මලිත් ඇඳට පැන්නේය..
මුළු කාමරයම අඳුර විසින් ගිල ගත්තේය...

---------------------------------------------------------------------------------
මතකය--
       හෙට උදේවත් ගෙදර යන්න ඕන..එහෙම හිතලා ඇදුම් ටික pack කරන්න ගත්තා විතරයි phone එක ring වෙන්න ගත්තා..මේ මහ රෑ call කරන්න මුන්ට පිස්සුද මන්දා..රෙදි bag එක පැත්තකින් තියපු මම phone එක ලගට ගියේ කුනුහර්ප දෙකක් විතර කියාගෙනම..ඒත් phone එකේ display එකේ කෝල් කරන කෙනාගේ නම දැක්කට පස්සේ කියපු කුනුහර්ප ටිකත් ඔක්කොම ගිලගන්න හිතුනා..

 "හෙලෝ ඉශාරා..මාස හතරකට විතර පස්සේ මාව එක පාරටම මතක් උනේ මොකද?"

"ඇයි අයියේ මෙහෙම කරන්නේ"

 මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට එයාගෙන් තවත් ප්‍රශ්නයක්..
"ඇයි..මම මොකක්ද ඔයාට කරේ."

"ඇයි අපේ කතාව ඔයා blog එකේ ලියන්නේ.."

"අපේ කතාව?"
 මම ඇහුවේ හිනාවෙලා..

"ඔයාමනේ නංගි කිව්වේ අපිට කතාවක් නෑ කියලා.."

"ඇයි දෙයියනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ.."

"මම ලියන්නේ ඔයාවත් මමවත් ඉන්න කතාවක් නෙමේ..මේක සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සු ඉන්න කතාවක්..අනික ඔයාමනේ කිව්වේ ආයේ කවදාවත් මම ලියන ඒවා කියවන්නේ නෑ කියලා..ඉතින් ඇයි කියවන්නේ?"

"මම කියෙව්වේ නෑ...මට හසිනි කිව්වා..."

"ආ...නියමයි.....හසිනි...මම මේ ලියන කතාවේ කෙල්ලගේ යාලුවට දාන්න නමක් හිත හිත ඉඳියේ...හසිනිට කියන්න මේ මොහොතෙම මගේ මතකෙට ආවට ස්තුතියි කියලා...අද ඉදලා මම ලියන කතාවේ තාරිකාගේ යාලුවගේ නම හසිනි.."

"වෙනදා වගේ විහිළු කරලා මේ ප්‍රශ්නෙන් පැනලා යන්න එපා සහන් අයියේ..මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...ප්ලීස්.."

"ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න..මම මගේ පාඩුවේ ලියන්නම්..කතාව ලියන්න පටන් ගන්නකොටම කිව්වා ඉශාරා,මේක මගේ කතාව නෙමෙයි කියලා..අනික ඔයාගේ නම මම කොහේවත් ලියලා නෑ..මම ලියන්නේ මලිත් , නිර්මාල් ,  තාරිකා ඉන්න කතාවක් මිසක් , සහන් , තාරක , ඉශාරා ඉන්න කතාවක් නෙමේ...තාරක මල්ලිටත් ඒක මතක ඇතුව කියන්න...බ්ලොග් එක කියවන්නේ නැතුව ඔය දෙන්න සතුටින් ඉන්න..මම තව මාස දෙකයි කැම්පස් එකේ ඉන්නේ..ඊට පස්සේ මගේ අවුරුදු හතර ඉවරයි..යන්න කලින් මට කතාව ලියලා සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕන.."

කෙල්ල හිරවෙලාද කොහේද...වචන එන්නෙත් නෑ වගේ...

"දැන් හිතෙනව නම් මට කෝල් කරේ අපරාදේ කියලා ආයේ කෝල් කරන්න එපා..ඔයා මගේ ගැන මොනවා හිතුවත් මම කතාව ලියනවා..ඔයා මාව අතරමං කලා වගේ මගේ බ්ලොග් එක කියවන අයව අතරමං කරන්න මට බෑ...සතියක් තිස්සේ හිතාගෙන ඉඳියා කතාවේ දෙවනි කොටසක් ලියන්නේ නෑ කියලා..ඒත් අද ලියනවා...අද නෙමේ මේ දැන්ම ලියනවා දෙවනි කොටස...ඔයා කියවන්න ඕන නෑ...කියවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා..."

 Phone එක cut කරාද නැති නම් පොලවේ ගැහුවද කියලා හිතා ගන්න බෑ..කොහොම හරි call එක ඉවර වෙලා තිබුනා...

Pack කර කර ඉඳපු bag එක පැත්තකට තියලා වතුර බෝතලයක් අරන් මූණ පොඩ්ඩක් හෝද ගත්තා..මූණට වැටුන වතුර පාරත් එක්කම ඇස් වල තිබුන කඳුලුත් හේදිලාම ගියා..වැලේ වනලා තිබුන කාගෙදෝ towel එකකින් මූණ පිහදාගෙන කන්ණාඩි දෙක දාගත්තා..දැන් ඉතින් කොච්චර ඇඬුවත් කාටවත්ම පේන්නේ නෑ..

අනික අනුන්ව හිනස්සන මිනිස්සු කොච්චර ඇඬුවත් කාටවත් එයාලගේ ඇස් වල තියෙන කඳුළු පේන්නේ නෑ නේ..ඒ කඳුළුත් විහිළුවට අරගෙන පුලුවන් තරම් හිනා වේවි.
හිනාවෙද්දෙන්...හිනා වෙන්න නේ ලියන්නේ...
මම ආයෙත් හෙමිහිට bag එක pack කරන්න පටන් ගත්තා.

Tuesday 8 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්( පළමු කොටස ) - "සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"




රොබරෝසියා ගස් වල මල් පිපී ගෙන එමින් තිබේ.පේරාදෙණි සරසවි බිම මොකක්දෝ අලුත් බවකින් පිරී ගොස් ඇත.ඒ නවක සිසුන්ගේ ආගමනයද,එසේත් නැති නම් රොබරෝසියා මල් වල ලස්සන නිසාදැයි නොදනිමි.මේ කියන්නට යන කතාවේ මම චරිතයක් නොවෙමි.මම කතානායකයාද නොවෙමි.මම කතාව කියාගෙන යන්නා පමණක්ම වෙමි..

එන්න...අපි තවත් චරිතයක් දෙසට හැරෙමු.

ඇය සෙමෙන් සෙමෙන් අඩි තැබුවාය.කොළඹ කෙල්ලෙකැයි කියන්නට සුදුසු සියලු සුදුසු කම් ඇය සතු විය.දෑතේ ඇඟිලි වල සිට දෙපයේ ඇඟිලි දක්වා නේක වර්ණයන්ගෙන් පාට කර තිබේ.දෙතොල රෝස පැහැවී ඇත්තේ තොල් ආලේපන නිසාද එසේත් නොමැති නම් ස්වභාවයෙන්ම දැයි නොදනිමි.නමුත් මට පැහැදිලිව එකක් කිව හැක.කෙල්ල බියවී උන්නාය.සැබැවින්ම බිය වී උන්නාය.

"බලපන්කෝ...අරකි ගස්සන ගැස්සිල්ල.."

"යකෝ මේකි අතේ ඇඟිලි වල ඉදලා @#$%^ වෙනකල්ම පාට කරලද කොහේද"

 අතරින් පතර ජ්‍යෙෂ්ඨ සිසුවෝ මුනු මුනු ගායි..මාගේ භාෂා භාවිතය ගැන මට සමාවන්න...ඔවුහු විශ්ව විද්‍යාල සිසුන්ය.ඉතින් කටවල් වලට සීමා මායිම් නැත.

මම දැන් කතාවට ප්‍රවේශ වුනෙමි.කතා නායිකාව ඔබට හදුන්වා දුන්නෙමි.ඇයගේ නම නොදැන සිටියාට ඇයගේ හැඩරුව මෙසේ යැයි ඔබ මටත් වඩා හොදින් දැන සිටින බව මා දනිමි.

පේලියට යන නවක සිසුන් අතරේ ඇය කෙසේ හෝ කැපී පෙනෙයි.අනෙක් අය මෙන්ම ඇයද නවක සිසුවෙකුගේ අතෙහි එල්ලීගෙනය.යුවතියට මේවා පුරුදු නැත.ඇය අනෙක් පස සිටි තරුණයා දෙස බැලුවේ ඔහුගේ මුහුනෙන් හෝ ආත්ම විශ්වාසයක් ලබා ගැනීමටය.
සමාවන්න...ඔහු ඊටත් වඩා බිය වී සිටියේය.නවක වදය කාල සීමාව ඇයට නම් සැබැවින්ම ගෙවා දමනු අපහසු වනු ඇත.

"ඒයි...ඔහොම නැවතියල්ලා...."

කොහේදෝ සිට ආ විධානයකින් යුවතිය තැති ගත්තාය.අඩියක් වත් ඉදිරියට නොතබා ඇය සිටි තැනම නතර වූවාය.තරුණයාවද අතින් ඇද නතර කර ගත්තාය.

"උඹලා දෙන්නට හෙන හදිස්සියි නේද?"

උපැස් යුවලක් පැලඳ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා ඇය දෙස බලාගෙනම සිටියාය.මාද එතැන සිටියා නම් කරන්නේ ඒ දෙයමය.ඇය දෙස බලා සිටියාට පාඩු වෙන්නේ නැත.යුවතිය එතරම් පියකරුය.
මෙතෙක් වේලා ඇයට 'ඇය' යැයි කියා ආමන්ත්‍රනය කර මට එපා වී ගොස්ය.එන්න...අපි ඔවුන්ගේ නම් දැන ගනිමු.

"ඒයි....ඔය අතින් අල්ලන් ඉන්න එකීගේ නම මොකක්ද?"

 උපැස් යුවල දෑතට ගනිමින් ගොරෝසු කට හඩින් ජ්‍යෙෂ්ඨ සිසුවා විමසුවේය.ගොරෝසු කටහඬ ඔහු මවා ගත් එකක්ද එසේත් නොමැතිනම් සැබෑවටම ඔහුගේ කට හඬදැයි මම නොදනිමි.මේ කතාව ගැන මම දැන සිටින අංශුමාත්‍රයට වඩා වැඩි යමක් ඔබට කීමටද බලාපොරොත්තු නොවෙමි.

පිලිතුරු දීම වෙනුවට නවක සිසුවා බිම බලා උන්නේය.සැබැවින්ම ඔහු ඇයගේ නම දැන සිටියේ නැත.

"චික්...මෙහෙමත් මෝඩයෙක්....කෙල්ලෙක් අතේ එල්ලිලා ඉන්නවා.. ඒකිගේ නමවත් දැනගෙන නෑ..."
මා එතැන සිටියා නම් ඒ දෙබස අනිවාර්‍යයෙන්ම මාගේ මුවින් ද පිට වෙනු ඇත.

"උඹ දන්නේ නැද්ද මේකිගේ නම? නම අහන්න උඹට ලැජ්ජද , නැති නම් මේකි උඹට කිව්වේ නැද්ද?"

යුවතිය දෙසට හැරුනු ජ්‍යෙෂ්ඨ සිසුවා ඇයව පුරුදු සම්ප්‍රදායෙන් ඇමතුවේය.
 "ඒයි මෙහේ බලපන්....මූ නම ඇහුවම උඹ නම කිව්වේ නැද්ද?"

කොහෙන් හෝ කැරකැවී කුමක් හෝ ගිනි ගෙඩියක් පාත් වෙන්නේ තම හිසට බව යුවතිය දැන සිටියාය.දෑස් වල බිමට පනින්නට ඔන්න මෙන්නව ඇති කඳුලු කැට දෙකකි.ඒවා දැන් වැටෙයි දැන් වැටෙයි යැයි ඇය බියෙන් උන්නාය..

"අයියේ...මම නම ඇහුවේ නෑ එයාගෙන්" තම ආත්ම ශක්තිය වදන් වලට පෙරලාගත් තරුණයා පැවසීය.

"අනේ....හැබෑට....ඇහුවේ නැද්ද? උඹේ නම මොකක්ද කියපන්කෝ ඉස්සෙල්ලා.."

"මම නිර්මාල්"

 "තොට කොන්ද පණ නැද්ද මේකිගෙන් නම අහන්න..උඹ අවුරුදු හතරක් මේකිත් එක්ක ඉගෙන ගන්නවා..නමක් දන්නේ නැතුව....දැන්ම අහගනින් නම.."

"තාරි"

තරුණයා නම අසන්නට පෙර ඇය පිලිතුරු දුන්නාය...

"අඩෝ.......මේකිගේ නම "තාරි" ලු බන්.... "

එම වදන් ජ්‍යෙෂ්ඨ සිසුවාගෙන් පිට වෙනවාත් සමඟම කොහේදෝ සිට පැමිණි තවත් සිසුන් පිරිසක් ඔහු වට කරගත්තෝය..

"ඒ...තාරි....ඇයි අනේ අකුරු දෙකේ නමක්..? "

"උඹගේ උප්පැන්න සහතිකේ නම ලියන්න තිබුනේ පොඩි ඉඩක්ද?"

"තාරි කියන්නේ තාරාවගේ ගෑනු සතා වෙන්න ඇති...උඹේ අතේ එල්ලිලා ඉන්න එකා තාරාවද?"

 එකිනෙකා පරයමින් කෙරෙන ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නිමක් නැති නොහොබිනා විහිලු ඉවසාගෙන සිටීමට තරම් ඇයගේ සිත හැඩ ගැහී නොමැත.ඇය කොළඹ කෙල්ලෙකි.මේ රළු පරළු ගති කොහෙත්ම ඇයට හුරු නැත.මා පෙර කියූ කඳුලු කැට එකක් පසුපස එකක් ඇයගේ දෙනෙතින් කඩා වැටෙන්නට විය.යුවතිය හැඬුවාය.ඉකි ගසා හැඬුවාය...නමුත් විහිලු කොලොප්පන් වල නම් නිමක් නැත.

ඔබ මා විහිලු වලට සවන් දෙන අතරවාරයේ පටලවාගෙන සිටි දෑතක් එකිනෙකට තදින් වෙලී ගොස් තිබුනි..

"ජෝඩු වෙන්න කලින් අඳුරගෙන ඉදපන් යකෝ...දැන් පලයල්ලා..ගිහින් අනිත් උන්ට එකතු වෙයන්..."
දෑතට ගත් උපැස් යුවල නැවත පලඳා ගනිමින් ජ්‍යෙෂ්ඨ සිසුවා  විධානය දුන්නේය.

ඒ වචන ටික මුවින් ගිලිහෙන සැනෙන් නවක යුවල පටලවා සිටි දෑත් තවත් තද කරගනිමින් තම පීඨය දෙසට පිය මැන්නෝය....

"ඒ නංගි...හෙට එනකොට ඔය නියපොතු වල තියෙන ලිප්ස්ටික් ටිකයි තොල් වල තියෙන කියුටෙක්ස් ටිකයි ටිපෙක්ස්ට් කරලා හරි මකන් වරෙන්..නැති නම් කියපන්..අපි හොයලා දෙන්නම්.."

නොසන්ඩාල විහිලු හමුවේ පසු පස හැරීමටවත් පමා නොවූ දෙදෙනා පීඨ පොදු ශාලාවට ඇතුලු වූවෝය.

"ඇති යන්තම් එකකින් බේරුනා"

කතා කරන්නේ කොතනින්දැයි නොදැන සිටි නිර්මාල් යුවතියව කතාවට ඇද ගැනීමට සිතමින් කට හඬ අවදි කලේය.

"මාව බේරගත්තට තෑන්ක්ස් නිර්මාල්...සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"

"ඒ ඔයා ලස්සන නිසා"

තරුණයා ඒ වදන් තුන හිතා මතා කීවාද එසේත් නොමැති නම් ඔහුගේ මුවින් ඉබේ පිට වුනා දැයි මම නොදනිමි.නමුත් දැන් ඔහු එය කියා අවසන්ය..යුවතිය ලැජ්ජාවෙන් රතුවෙලාය..විනාඩියක පමණ නිෂ්ශබ්දතාවය බිඳිමින් නිර්මාල් කතා කලේය..

"ඔයාගේ නම තාරි ද? උප්පැන්නේ තියෙන්නෙත් එහෙමද?"

"නෑ නෑ..ඉස්කෝලේදී හැමෝම කිව්වේ තාරි කියලා..මගේ නම තාරිකා..පුරුද්දට තාරි කියලා කියවුනා."

"ඔයා කොළඹ කොහේද?"

"ඔයා කොහොමද දන්නේ? මම කොළඹ නෙමේ ඉතින්.ගම්පහ...."

"දන්නෙ නෑ....නිකමට හිතුනා...මම ගාල්ලේ..ඒක නෙමේ...හෙට එනකොට නම් අර අත්වල තොල්වල ගාන ඒවා අයින් කරන් එන්න වෙයි..."

"ඒක තමා මමත් බැලුවේ..අත් වල නම් අයින් කරන්න පුලුවන්..ඒත් මම තොල් පාට කරලා නෑ..."
මම සිතුවා හරිය..ඇයගේ දෙතොල්වල තිබුනේ ස්වභාවික රෝස පැහැයක්ය.

ගමන් මල්ල පොදු ශාලාවේ මේසයක් මත තැබූ යුවතිය කෑම පාර්සලය එලියට ගත්තාය.

"මම අද උදේ පාන්දර කෝච්චියේ ආවේ.අම්මා කෑම එකක් හදලා දුන්නා.ඔයා කාලද?."

පාර්සලය දිග හරිමින් ඇය විමසුවේය.

"නෑ...මම කෑම එකක් අරගෙන එන්නම්...එතකල් ඔයා කන්න.."

"එන්න...මේකෙන් කමු.." 
සාමාන්‍ය කතාවකදී නම් ඊලග දෙබස එය බව ඔබ අනුමානයෙන් කියනු ඇත. නමුත් එය එසේ සිදුවූයේ නැත.අප මෙන්ම නිර්මාල්ද එම දෙබස පිටවන තෙක් මදක් බලා සිටියා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.සුන්දර යුවතියකගේ බත්පත බෙදාගෙන කෑමට දෙවරක් සිතන්නේ කවුද..

මේවා සාම්ප්‍රදායික බොලඳ තරුණයෙකුගේ හා තරුණියකගේ දෙබස්ය.අමුතුවෙන් මේ දෙබස් කතාවේ ලියන්නට ඕනෑ නැත.මේ කතාව කියවන ඔබ මටත් වඩා හොදට ඒ අත්දැකීම විඳ තිබිය යුතුය.

 කැන්ටිම දෙසට යෑමට නිර්මාල් පා එසවූවා පමණි.

"ඒයි....උඹට මූත් එක්ක කෑම එක බෙදාගෙන කන්න ලැජ්ජද?" උපැස් යූවල පැලඳගත් ඔහු නැවත අපගේ කතාවට පැමිනියේය.
"මේ තාරාවි නංගි....මේකේ ඉන්න ඕන නම් ඔය ලොකුකම් ඔක්කොම අත ඇරලා ඉඳපන්.උඹ ගෙදරින් ගෙනාව බත් එක කන්නයි මූ කැන්ටිමෙන් කන්නයි දෙකක් තියෙන්න ඕන නෑ නේ...බෙදාගෙන කාපන්.."

හැරෙමින් තිබූ අඩිය නැවත මේසය දෙසට හරවාගත් නිර්මාල් ජ්‍යෙෂ්ඨ සිසුවාට පින් දුන්නේය.ඉඳලා හිටලා හරි ඔවුන් හොඳ වැඩ කරයි.බත් පත තමන් දෙසටද හරවාගෙන පලමු බත් කට මුව තුලට රුවා ගත්තේය..යුවතිය තවමත් ව්‍යාංජන බත් සමග අනමින් සිටියි.

කවදාවත් කවරෙකුවත් ඇයට උඹ යැයි කියා නැත.ඇයට ඇය ගැනම දුක සිතුනි.ඇයගේ උවමනාවට පේරාදෙණියට පැමිණීම ගැන ඇය සිතෙන් දුක් වූවාය.තාත්තා කිව්ව දේ අහලා ඕස්ට්‍රේලියා ගිහින් ඩ්ග්‍රිය කරා නම් ඉවරයි.. නිර්මාල්ට බත් කවන්න කියලා මට කිව්වොත්...ඇයගේ සිත දෙගිඩියාවකය.

 කෙල්ලෙක්ට කියා කවා ගැනීමේත් මොකක්දෝ අමුතු හැඟීමක් තිබේ.එය වචන වලින් විස්තර කල නොහැකිය.යුවතිය ඒවා දන්නේ නැත.නමුත් නිර්මාල් නම් දන්නා සෙයකි...
පාඨකය....මම ඔබට රහසක් කියමි...එම බත් කටක රස මමද දනිමි..

මදක් බලා සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා නැවත හැරුනේය.

පුදුමය...ඔහු එසේ කිව්වේ නැත.බත් කටවල් මාරුවෙන් මාරුවට කවන්නයැයි ඔහු කීවේ නැත.මා පෙර කියූ සම්ප්‍රදායට කුමක් වීද...දැන් නම් මා සිතේද සැකයක් ඉපදී තිබේ.
කතාවේ පළමු කොටසට ඔබ දැනගත් හරිය බොහෝම ඇතිය.කතාවේ කතා නායිකාවක් සිටියද කතා නායකයෙක් තවත් නොමැති සෙයකි.තීරණය ඇත්තේ මාගේ අතේය..තවත් කිහිප දවසකින් මම එය ලියා දමමි,,,,

-------------------------------------------------------------------------------------------------------

මතකයන් ......

සමහර විට කතාවක් ලියාගෙන යද්දී මට වෙච්ච දේවලුත් ලියවෙන වෙලාවල් තියෙනවා.මේ කැම්පස් එක..මේ පරිසරය හැම එකක්ම වගේ මටත් හුරුයි..ඒත් කවුරුවත් හිතන්න එපා මේක මගේ කතාව කියලා.
මගේ කතාව මීට වඩා වෙනස්..කතාව ලියද්දිත් මම මගේ ෆෝන් එක දිහා සිය පාරකට වැඩිය බැලුවා.බලන් ඉඳලා ඇස් දෙකත් රිදෙනවා..ඒත් එයාගෙන් එක මැසේජ් එකක් වත් නෑ... .කණ්නාඩි දෙක දාගෙන බලාගෙන ඉන්න ගියාම තමා වැඩිපුරම අමාරු..සමහරවිට හෙට එයා මට මැසේජ් එකක් දාවි..
ඒ අස්සේ කොහේදෝ ඉදලා එකෙක් දොරට තට්ටු කර කර කෑ ගහනවා....
"අඩෝ....කන්න යන්නේ නැද්ද..."
වෙලාව බැලුවම තමා මතක් උනේ..2ත් පහු වෙලා..පුරුදු විදිහටම කෑම එකකුත් අරගෙන කැන්ටිමේ පුරුදු බංකුවෙන්ම වාඩි උනා..අතින් කන්නත් පුරුදු නෑ වගේ...ආයේ පරන දේවල් මතක් වේගෙන එනවා,, 

වෙන් කලේ සිතකින් නොවේ..
වේදනා හදතුල තියා....
ජිවිතේ සිතුවම් කලේ....
ඔබෙ නම එතැනින් මකා...