Monday 8 October 2012

සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි.........



"ලොකු පුතා.."

අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
 මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්? 
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.

"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ" 

අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..

"යන්න දුව අයියා එක්ක"

ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.

 ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..

දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.

 "ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."

මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.

"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ" 

මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.

"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"

සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය

පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.

"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"

ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
 සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැත සිහියට පැමිනිය යුතුය..

"අයියා.."

"ම්ම්ම්ම්"

"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"

දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..

"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"

අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.

"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"

හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.

"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."

ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.

"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"

ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!

"කෝ බලන්න..."

මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!

"ඒ ටිකත් එතනම තියන්න.."

"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."

"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."

ඇය ගැස්සුවේය..

"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"

මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..

"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"

"අයියා?"


ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි

"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"

ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.

ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....