Sunday 29 May 2011

අපිත් කුජීත මෙගා ටෙලියක් හදමු!!........


                 කොහොමද ළමා..යි ..අද මම කියලා දෙන්නේ අපි කාටත් වැදගත් දෙයක්..අද බලමු කොහොමද අවම පිරිවැයකින් සුපිරියට හිට් වෙන මෙගා ටෙලියක් හදන්නේ කියලා...
              මුලින්ම අපි ටෙලියට හොද තිර රචනයක් හොයා ගන්න ඕන.ඒක කොරන්න හරිම ලේසියි..ඔය බෝක්කුවක් අස්සේ ඉන්න ගමේ කොල්ලෙක්.එහෙම නැති නම් ඔය මලගෙවල් වල පාලු මකන්න ඉන්න අංකල් කෙනෙක් අල්ල ගත්ත නම් හොද තිර පිටපතක් ගන්න පුලුවන්.
                  හැගීම් අවුස්සන හිරි ඔතප් බිදෙන කිතිකැවිලා යන තිර පිටපත් ආදරය ගැන වෙනව නම් හොදයි.ඕන නම් කෙල්ල දුප්පත් කරලා කොල්ලා පෝසත් කරන්න පුලුවන්..එහෙම නැති නම් කොල්ලා දුප්පත් කරලා කෙල්ල පෝසත් කරන්න පුලුවන්..කොයි විදිහට ලිව්වත් කතාවේ දුෂ්ඨ චරිතයක් නම් ඉන්නම ඕන.ඒක කොල්ලෙක් වගේ කෙල්ලෙක්,එහෙම නැති නම් මැරයෙක් වගේ කොල්ලෙක් ගන්න පුලුවන්.ඒක කරන්න නම් බාර් එකක් අස්සටම යන්න වෙනවා.
                            අපි දැන් බලමු මේ කතාවට නලු නිලියන් තෝරාගන්නා ආකාරය.ඔබ ලියන කතාවේ කෙල්ල පෝසත් නම් කිසි ප්‍රශ්නයක් නෑ.කෙලින්ම යන්න පොලීසියට.ගිහින් පොලිස් පොත පෙරලලා බලන්න ඇදුම් කඩේකින් ඇදුම් හොරකම් කරපු කෙල්ලක්ගේ නමක් තියෙනවද කියලා.එහෙම තියනව නම් හිත හිත ඉන්න එපා.කෙල්ල හොයාගෙන ගිහින් චරිතෙට අඩගහන්න.
            පෝසත් කෙල්ලට සැට් වෙන දුප්පත් කොල්ලා හොයාගන්නේ කොහොමද? ඒක ඕනම අධ්‍යක්ෂක කෙනෙක්ට එන ප්‍රධාන ගැටලුවක්.ඒත් දැන් ඒකට හිත හිත ඉන්න දෙයක් නෑ.ඔයා යන්න ඕන කෙල්ලෝ ගොඩාක් ඉන්න තැනකට.එතන ඉන්න ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න ගෑනු පහේ පිරිමි චරිතයකට රගපාන්න එන්න කියන්න.මෙතනදි මතක තියාගන්න ඕන මූලිකම දේ තමයි කොල්ලා වගේ ඇදගෙන ඉදියට ඌ අමු ගෑනියෙක් වීම.
 ඔය කතා කරේ පෝසත් කෙල්ල සහ දුප්පහ් කොල්ලා ඉන්න කතාවකට චරිත තෝරාගන්නා ආකාරය ගැන.කෙල්ල දුප්පත් වෙලා කොල්ලා පෝසත් උනත් ඔය චරිත තෝරන විදිහම අනුගමනය කරලා ඔයාලට හොද නලු නිලි දෙපලක් හදාගන්න පුලුවන්.
මීලගට තමයි මෙගා ටෙලියක් හිට් කරගන්න පුලුවන් වෙන චරිතය..ඒ කියන්නේ ටෙලියේ ජෝකර් ගේ චරිතය තෝරාගන්න යන එක..ඒක ටිකක් අවදානම්.මොකද සමහරු ජෝක් කරාට ඒක ජෝක් එකක් කියලා අනිත් අයට නොතේරීම.මේ ජෝකරෙගේ චරිතය එක එක ආකාරට ටෙලියට දාගන්න පුලුවන්..කෙල්ලගේ ගෙදර වැඩකාරයා,කොල්ලාගේ තාත්තා එහෙමත් නැති නම් කොල්ලගේ මාමා ඒත් නැති නම් කඩේක වැඩ කරන එකෙක් හරි කමක් නෑ.පුරුෂ ජෝකර් චරිතයක් නම් ඒකට පුරුෂ ගතියක් ගෑවෙන්නවත් බෑ..
ඔය වගේ මූලික චරිත හොයා ගත්තයින් පස්සේ තමා ඉතුරු චරිත හොයන්න ඕනා.කොල්ලගේ යාලුවා,කෙල්ලගේ යාලුවා චරිත දෙක කොහේ හරි පාක් එකකට ගිහින් අස්සක ඉන්න කපල් එකක් උස්සගෙන ආව නම් ගැලපෙනවා.මොකද කතාවේ අන්තිමට උන් දෙන්නත් ජෝඩු වෙන නිසා.
               කතාවේ දුෂ්ඨයා විදිහට ගන්න එකාට තියන්න ඕන මූලික සුදුසුකම තමා මැරකම.නිතරම දුෂ්ඨයා බලන්න ඕන කෙල්ලගේ දේපල ටික ගන්න එක.
                   ඔය විදිහට චරිත තෝරගතයින් පස්සේ අල්ලපු ගෙදර,ඊට එහා ගෙදර සහ ඉස්සරහා ගෙවල් වලින් අනිත් පිරිස හොයා ගන්න පුලුවන්.ඔන්න දැන් අපි ටෙලියට ඕන ගොඩක් අය හොයාගෙන ඉවරයි.දැන් අපිට ඕන සල්ලි ටිකක් විතරයි.ඒක මාලයක් හරි කරාඹු දෙකක් හරි උකස් තියලා හොයාගන්න පුලුවන්.එහෙම බැරි නම් කෙලින්ම යන්න දුරකතන ජාල ආයතනයකට හරි බීම බෝතල් කොම්පැනි එකකට හරි.එතනින් ඔයාට ඕන අනුග්‍රහය හොයාගන්න අමාරුවක් වෙන්නේ නෑ.
මෙගා ටෙලිය 7.30 ටයිම් එකට හරි 8.30 ටයිම් එකට හරි දාගන්න පුලුවන් උනොත් ඔයා ගොඩ ගියා කියලා හිතා ගන්න.
දැන් ඉතින් ඔයාලා හැමෝමලට ඔයාලටම කියලා මෙගා ටෙලියක් හදා ගන්න පුලුවන්.තියන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න.මේ පියවරවල් ඒ විදිහටම කරොත් ඔයාලට අචාර්‍ය්‍ය පට්ටමක් හරි දේශමාන්‍ය පට්ටමක් හරි දාගන්නත් පුලුවන්,...
ඉතින් ඔයාලජ ජය වේවා!!!! 
මේ පාඩම ඔයාලට ගෙන ආපු මම 
           රත්ගමයා සර් (බී ඇස් සී ඉන් මෙගා ටෙලි ඩ්‍රාමා)

Thursday 26 May 2011

වචන වැඩි වූ ආදරේ............

        මේක මීට සතියකට විතර කලින් one zero zero අඩවියට ලියපු එකක්.ඒ දවස් වල බ්ලොගර් වල අලුත්වැඩියා කටයුතු උන නිසා ටික දෙනෙකුට මේක මග ඇරෙන්න ඇති කියලා හිතනවා..ඒක නිසා ආයේ ඒකේම රිපීට් පාරක් දානවා..

  -----------------------------------------------------------------------------------------

ආදරනීය වස්තු,

මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..

අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..

ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.

සීය ගණින අපි
 
ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.

Sunday 22 May 2011

අසමජ්ජාතියෝ දෙන්නෙක් සහ කොන්දොස්තර මහත්මයෙක්..........



එක එක ජාතියේ කොන්දොස්තරලා අතරේ වෙනස්ම කොන්දොස්තර කෙනෙක් ඊයේ මට හමුවුනා
     ඊයේ දිලුම් අයියගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ගෙදර එන්න කොටුවට එනකොට වෙලාව 11 ත් පැනලා.ගොඩක් පරක්කු උන නිසා ඉක්මනින් ගිහිල්ලා නවත්තලා තිබුන මාතර කොළඹ බස් එකේ නැග්ගා.බස් එක ගමන පටන් ගන්නේ රෑ 12ට.මහන්සි වැඩි කමටද කොහේද ටිකක් විතර නින්ද ගියා.බස් එක නැවතුම් පලෙන් යන්න පිටත් වෙනකොටම වගේ පිටිපස්සේ ආසනය පැත්තෙන් කෙනෙක් කෑ ගහනවා ඇහුනා.


"අයියේ..බස් එක පොඩ්ඩක් නවත්තන්න..මේ ශීට් එකේ හිටපු දෙන්නා නෑ"

බස් ඩරයිවර් මහත්තයත් බස් එක ටික ටික හෙමීට ඉස්සරහට ගෙනිච්චා.ගෙනිහින් කලර් ලයිට් ඉස්සරහ නැවැත්තුවා.ඒ වෙලාවේ කහ පාට විදිලි බුබුල නිවි නිවී පත්තු වෙනවා.ඒක නිසා එතන නවත්තන එකේ ප්‍රශ්නයක් තිබුනේ නෑ.ටික බලන් ඉදියා.ඒත් ඒ දෙන්න නෑ.ඒත් ආසනේ බෑග් තියලා එහා පැත්තේ ඉදපු කෙනාටත් කියල තමා ගිහින් තියෙන්නේ.විනාඩි 10ක් විතර බස් එක නවත්තගෙන ඉදියා.ඒත් ඒ ගියපු දෙන්නා නෑ.බස් එකේ ඉදපු අයට ටිකක් විතර කේන්ති ගිහින්.මගේ ඉස්සර ශීට් එකේ ඉදපු මහත්මයෙක් කොන්දොස්තරට කෑ ගැහුවා..
"බස් එක ගන්නවා ඕයි.තව කොච්චර වෙලා ඉන්නද"
එහෙම කරන එක හරි නෑ නේ මහත්මයා.අපි තව විනාඩි දෙකක් බලමු.අපි ඔක්කොටම පරක්කු වෙනවා තමයි.සමහර විට ඒ ආසනේ ඉදපු මහත්වරු දෙන්නා මොකක් හරි ශරීඅර අවශ්‍යතාවයක් නිස එලියට ගියාද දන්නේ නෑ නේ..තව විනාඩි දෙකක් ඉන්න..මම බලලා එන්නම්'
 එහෙම කියපු කොන්දොස්තර මහත්මයා බස් එකෙන් බැහැලා ගියා.ගිහින් විනාඩියක් යන්නත් කලි අර ගියපු මහත්වරු දෙන්න (කතාව අවසානයේ උන්ට මහත්වරු කීම මම ඉල්ලා අස් කර ගනිමි ) එක්කගෙන ආවා.කතාවක් නැතුවම ඒ දෙන්නා බස් එකට නැග්ගා.
ඒ දෙන්නා බස් එකට නගිනකොට එයාල ඉදපු ආසනේ පොඩි බබෙක් එක්ක කාන්තාවක් වාඩි වෙලා ඉදියා.බස් එකට නැගපු ගමන් අරුන් දෙන්නා ඒකාන්තාවට සද්දේ දාන්න ගත්තා.

"ඕක අපි ඉදිපුඉ ශීට් එක කරුණාකරලා නැගිටින්න"

"අපි මොරටුවෙන් බහිනවා එතකල් යන්නද"

කාන්තාව බයෙන් උත්තර දුන්නා.

"නෑ නෑ..ඕකේ වාඩි වෙලා ඉදියේ අපි නේ..මොරටුව නෙමේ කොහේ උනත් කමක් නෑ ශීට් එක දෙන්න..පොඩි එක්කෙනා ඔය වාඩි වෙලා ඉන්න කාගේ හරි උකුලට දෙන්න"


නැගපු උන් දෙන්නා ගේ සද්දේ මුලු බස් එකටම ඇහෙනවා.අර කාන්තාව අසරන වෙලා.බයෙන් බලන් ඉන්නවා..කරන්න දෙයක් නෑ කියලා හිතුනම එයා බබාවත් වඩාගෙන නැගිට්ටා.පොඩි එකා මහ සද්දෙට අඩනවා.මේ කලබලේ අස්සේ තමා කොන්දොස්තර එතනට එන්නේ..
"මහත්මයා මේ..ඔයාල දෙන්නා එනකල් මේ බස් එකේ මිනිස්සු කොච්චර වෙලා බලන් ඉදියද..අන්තිමට ඔයාලව හොයන්න මට අර තොරන ලගටම යන්න උනා ( ප්‍රයිවට් සෑටෑන්ඩ් එකේ ඇති තොරණ).එච්චර දෙයක් මේ මිනිස්සු ඔයාලට කරා.ඒත් ඔයාලා දෙන්නට මේ ආසනේ විනාඩි 20කට මේ නෝනට දෙන්න බැරි උනා.ඔච්චර පහත් තත්වයට පත් වෙන්න එපා.

"මොකක්ද ඕයි කියන්නේ..අපි සල්ලි දීලා බස් එකට නැග්ගේ.වාඩි වෙලා යන්න නැති නම් අපි මේකට නගින්නේ නෑ නේ"

අසමජ්ජාතියෝ දෙන්නගේ සද්දේ හොදටම වැඩ්යි.ඒත් කොන්දොස්තර මහත්මයා නෙමේ සැලුනේ.

"තමුසේලා දෙන්නා කොහේ හැදිච්ච උන් ද දන්නේ නෑ.මෙන්න තමුසෙලාගේ ටිකට් වල සල්ලි.කරුනාකරලා බහිනවා බස් එකන්. සුනිල් අයියේ බස් එක පොඩ්ඩක් නවත්තන්න..බැහලා හොදට වාඩි වෙලා වෙන බස් එකක එනවා."

"අඩෝ...තෝ දැන ගනින්.තෝ ආයේ **** (ගමක නමක්) පැත්තෙන් බස් එක ගෙනියන්න නෙමේ වල් පරයා"

උන් දෙන්නා කොච්චර සද්දෙට කෑ ගැහුවත් අන්තිමට උන්ට බස් එකෙන් බැහැලාම යන්න උනා.මේක ලිව්වේ ඔබ වෙනුවෙන්..බස් එකේ නම සමරසිංහවීර ට්‍රැවල්ස්..
හැම කොන්දොස්තර කෙනෙක් මේ ඒ වගේ වෙනව නම් කොන්දා කොන්දා කියන්නේ නැතුව කොන්දොස්තර මහත්මයා කියලා කියන්න පුලුවන්..
ඒ සිද්දිය ගැන හිත හිත ගෙදර ආවා.එනකොට වෙලාව පාන්දර තුනයි...

Thursday 19 May 2011

හැරගියා ඔබ අපිව!!



අයියේ,
මතකද එදා සයිබර් සැනකෙලිය...
හිනා වෙවී පැත්තකට වෙලා බලන් ඉදියා...
ඒ හිනාව...
අයේ අපි කවදා දකින්නද....
නිවන් සුව ඔබට!!!!

Wednesday 18 May 2011

පාපැදියෙන් අවසන් ගමනට............



මේ ලිපිය පල වෙලා තිබුනේ ක්‍රීඩා සගරාවේ
...ක්‍රීඩාව කියන්නේ ජීවිතේට වැදගත්ම දෙයක්.ඒ වැදගත් දේ නිසාම මරනයට පත් උන ක්‍රීඩකයෝ අනන්තවත් ඇති..ඒ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතුවා..ඉතින් ඒ ගැන පොඩ්ඩක් දාන්නම්...

1.සෙර්සේ කොපි (ඉතාලිය)



සුපිරි පාපැදි ශූර ෆවුස්ටෝගේ මල්ලීය.සවාරි කිහිපයක් ජයගෙන සිටියේය.ඉතාලියේ තරගයකට සහභාගී වන විට පාපැදියෙන් වැටී අනතුරකට ලක්විය.එසේ වුවත් කිලෝමීටරයක් වූ තරගයේ ඉතුරු ප්‍රමානය නිම කරන ලදී.නමුත් පසුව මිය ගියේය..
උපත - 1923.03.19
විපත - 1951.06.29



2.ස්ටෑන් ඔකර්ස් ( බෙල්ජියම)



1950 සහ 1952 ප්‍රංශ සවාරියේ අනුශූරයාය.එවිට මාර්ග ධාවන ලෝක ශූරයාය.ඇන්ටිවර්ප් ධාවන පථයකදී වූ අනතුරකින් මිය යන ලදී
උපත - 1920.02.03
විපත - 1958.09.01



3.වවුටර් වේලෑන්ඩ්ට් (බෙල්ජියම)




2011 ඉතාලි සවාරියේ තෙවන අදියරේදී කදුකර මාර්ගයකදී සිදුවූ අනතුරකින් මිය ගියේය.ඔහු අනතුරට ලක් වූයේ තරගය නිමවීමට තවත් කිලෝමීටර් 25ක පමන දුරක් තිබියදීය.තරගය ඒ වනවිට ජයගෙන සිටියේ ඔහුය.
උපත - 1984.09.27
විපත - 2011.05.09



4.ටොම් සිම්සන් (බ්‍රිතාන්‍යය)


1965 නාර්ග ධාවන ලෝක ශූරයාය.1967 පැරිස් - නීස් සවාරියේ ශූරයාය.ප්‍රංශ සවාරියේ 13 වන අදියරයට සහභාගී වනවිට හදිසියේ මිය ගියේය..
උපත - 1937.10.30
විපත - 1967.07.13



5.ජින් පියරි මොන්සේරි(බෙල්ජියම)


1970 මාර්ග ධාවන ලෝක ශුරයාය.1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ 06 වැනි තැන හිමි කරගත්තය.ඔහු මිය ගියේ තරගයක් අතරතුරදී මෝටර් රථයක හැපීමෙනි.
උපත - 1948.09.08
විපත - 1971.03.15



6.එමිලියෝ රාවාසියෝ (ඉතාලිය)


එවිට සුප්‍රකට ඉතාලි සවාරියේ පලමු අධියරට සහභාගී වන වන විට බරපතල ලෙස තුවාල සිදුවිය.අනතුරින් සති දෙකකට පසු මිය ගියේය.



7.ඇන්ඩ්‍රෙයි කිවිලෙව් (කසකස්තානය)



පැරිස්-නීස් සවාරියේ දෙවන අදියරේදී අනතුරට ලක් විය.එහිදී හිසට සිදු වූ තුවාල වලින් මිය ගියේය.මේ සිදුවීමෙන් පසු ඇතැම් ප්‍රධාන සවාරි සදහා සහභාගීවන විට ආරක්ෂිත හෙල්මට් පැලදවීම ජාත්‍යන්තර පාපැදි සංගමය ක්‍රීඩකයන්ට අනිවාර්ය කලේය.
උපත - 1973.09.20
විපත - 2003.03.12



8.ඇලෙසියෝ ගැලෙට් (ඉතාලිය)


සුබීඩා නාරන්කෝ පාපැදි සවාරියට සහභාගී වා විට හෘදයාබාධයකට ලක් වීමෙන් මිය ගියේය.ඒ තරගය නිමා කිරීමට තවත් කිලෝමීටර් 15ක් ඉතිරිව තිබියදීය.මිය යන විට වයස අවුරුදු 37 කි



9.ෆාබියෝ කැසාර්ටෙලී(ඉතාලිය)


1992 බාර්සිලෝනා ඔලිම්පික් මාර්ග ධාවන ශූරයාය.ප්‍රංශ සවාරියේ 15 වන අදියරයේදී අනතුරකට ලක්වීමෙන් පසුව මියගියේය.
උපත - 1970.10.16
විපත - 1995.07.16



Sunday 15 May 2011

ඔබත් පට්ටම බෞද්ධයෙක්ද?.........



මෙය ලිවීමට හේතු රැසක් ඇත.ආසන්න පලමු සිදුවීම වූයේ මා හිතවත් මුස්ලිම් මිත්‍රයෙකුගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමයි.බ්ලොග් මිත්‍රයෙකු වෙන යසියා ඇතිලු සැට් එකේ කීප දෙනකු සහභාගී වීමු..
වෙනත් ආගමක් ගැන ලිවීම මට අයිති දෙයක් යැයි නොසිතමි.
ඉදින් මම බුදු දහම ගැන ලියමි.
බුදු දහම නමින් 'මම පට්ටම බෞද්ධ පොරකි" ලෙස සිතාගෙන සිටිනා අය ගැන ලිවීමට මම අදහස් කලෙමි.
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.අද බොහෝ දෙනා අනුගමනය කරන්නේ මේ න්‍යාය බව මනාව බැලු කල පැහැදිලි වේ.වෙනත් ආගමක් සම්භන්ධයෙන් බුදුන්වහන්සේගේ දේශනය කුමක් දැයි මම නොදනිමි.මක් නිසාද මම බෞද්ධයෙක් නොවන බැවිනි.පුදුම නොවන්න..මෙය කියවන ඔබ බෝ දෙනෙකුද බෞද්ධයන් නොවේ..
ඔබ සිරාවට බෞද්ධයෙක් දැයි මගේ සිත ප්‍රශ්න කරයි. හිතෙන් ලැබෙන පිලිතුර හමුවේ මා අම්බානෙක අසරණ වීමි.
සුද්දා සිංහලෙන් කීවොත් මම බෞද්ධයෙකු නොවෙමි.
පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි.
මේ වෙසක් මාසයයි..
හරි හරියට දන්සැල් පැවැත් වේ.දන්සැල් දෙන්නෝ පට්ට බෞද්ධයෝය.ඔවුන් ලබන ආත්මයේ හෝ ඊලග ආත්මයේදී නිවන් ලගාකරගනී.
දන්සැලෙන් කන්නේ අපි වැනි කොල්ලෝ කුරුට්ටෝය.නැතිනම් තුන් වේලම යහතින් කෑමට හැකියාව ඇති සල්ලිකාරයෝය.දන්සැලේ පලමු පිගාන වෙන් වන්නේ ඒ වැනි කෙනෙකුටය.
අසරන දුප්පත් මිනිසාට අවසානයේ කන්නට ලැබෙන්නේ ඔවුන් හැමදාම කන දංකුඩ ටිකය.
නමුත් දන්සැල් දෙන්නෝ පට්ටම බෞද්ධය.
මේ ගැන ලිවීමට බොහෝ දේ ඇත.තවත් අම්බානෙක කරුනු ලියා මටද පට්ට බෞද්ධයෙකු වීමට හැක.මම මගේ හිතෙන් විමසීමි.මම තව දුරටත් පට්ටා බෞද්ධ නොවෙමි.
මීට අවුරුදු දෙකකට පමන පෙර මම මස් මාලු ආහාරයට ගැනීමෙන් වැලකී සිටියෙමි.ගෙදර මට වෙනනම උයන්නේ නැත.සමහර දාට මස් හොද්දක් සමග පරිප්පු ඇත.එදාට මට කන්නට වන්නේ පරිප්පු සහ බත්ය.ඉදින් අපේ ගෙදර මිනිසුන් මස් මාලු කමින් පට්ටා බෞද්ධයෝ වෙද්දී මා විතරක් නිකම් බෞද්ධ වන්නේ කෙසේද?එබැවින් මස් මාලු නොකෑමේ උපවාසය සති දෙකකට හෝ තුනකට සීමා කලෙමි.අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.
ඔබ අවසන් වරට පන්සල් ගියේ කවදාද..සමහර විට මේ ලගදී දවසක් යැයි ඔබ කියනු ඇත.සිරාවටම පන්සල් ගියේ කුමන හේතුවකටද...ඔබ විවිධාකාර පිලිතුරු දෙනු ඇත.බුදුන් කෙරේ ඇතිවන ශ්‍රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..
මාගේ මුස්ලිම් මිතුරාගේ නිවසට ගොස් නැවත එන විට වේලාව රෑ 11 ත් පසු වී ඇත.එන ගමනේදී තවත් මිතුරෙකුගේ පට්ටම දේශනයකටද අවන් දුන්නෙමි.ඒ මිතුරාට අනුව ඔහුට ආගමක් නැත.ඔහුට ආගමක් නැති වීමට ඉදීරි පත් කරන කරුනුද යම්තාක් දුරට සධාරණය.ඔහුට අනුව ඔහු ආගමක් නැති අයෙකි.පන්සලට අවුරුදු ගානකින් ගොස් නැත.මුස්ලිම් මිතුරා අදහන්නේ ඉස්ලාම් ආගමය.ඔහු ඔහුගේ ආගමට අනුව ජීවත් වේ.මම පට්ටම බෞද්ධයෙක්මි.මමත් මාගේ ආගමට අවුව ජීවත් වේ.
නමුත් මොහොතක් සිතා බලන්න.. අපි ආගම මෙය යැයි කියමින් ආගමට පිටින් ජීවත් වන්නෝ නොවේද....?? ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?

Saturday 14 May 2011

චින්තනලා, මංජුලා සහ මාලිංගලා.....


අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත.
මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා ක්‍රීඩකයකු අද වන විට මුල්ලකට දමා ඇත්තේ ඔහුගෙන්
තවත් ගත යුත්තක් නොමැති බැවිනි.
චින්තන ගීතල් විදානගේ රන් පදක්කම රැගෙන එන විටද තත්වය මෙයම විය.පදක්කම රැගෙන ලංකාවට පා නගන විට ඔහුට කාර් ලැබුනේය,ගෙවල් ලැබුනේය ක්‍රීඩා කරන්නටද අම්බානෙක භාන්ඩ ලැබුනේය.ඒවා සියල්ල කටින් ලැබුන දේවල් බව පසුව හොදාකාරවම වටහා ගත හැකියාව ලැබුනි.එදා චින්තන කාර් ,ගෙවල් ඉල්ලුවේ නැත.චින්තන ඉල්ලුවේ හද්දා පිටිසර පොලොන්නරුවට අංග සම්පූර්න ව්‍යායාම් මධ්‍යස්ථානය
ක් පමනි.කාර් ගෙවල් කෙසේ වෙතත් චින්තනට එය ලැබුනෙත් නැත.
අපේ කෙල්ලෝ කොල්ලන් මාස ගනන් මහන්සි වී දහඩිය මුගුරු දමාගෙන දිවා රෑ නොබලා පුහුනු වීම් කර ශ්‍රීලංකාවට ගෙන එන රන් රිදී ලෝකඩ හෝ ඕනෑම ජයග්‍රහනයකදී ගොඩ වඩා ගන්නේ දේශපාලුවෙකි.දිනුවාම අම්මා තාත්තටවත් නැති දරු කැක්කුමක් හැදේ.පලමු මල් මාලය දාන්නේද උන්නාන්සේය.ඒක එතනින් එහාට ගෙනියනවා නම් කමක් නැත.ඒ නමුත් සිදුවන්නේ එච්චරය.ආයේ උන්නාන්සේ එන්නේ තවත් කවුරුන් හෝ පදක්කමක් දිනා ගත් විටය.


මේ ලිපිය මංජුගෙන් ඇරඹුවද ගමේ මනුස්සයා ගැන නොලිව්වොත් එයද අඩුපාඩුවක් වනු ඇත..
ඉතින් ලසිත් මාලිංග දෙසට හැරෙමු.,
රත්ගම එක්ස්ප්‍රස් එහෙමත් නැති නම් සුද්දාට අනුව ස්ලින්ගා මලින්ගා යනුවෙන් හදුන්වන මාලින්ගටද වන්නේ කාගේවත් බයිටට් එකක් වන්නටය.සහතිකවම මාලිංගට පාදයේ
ආබාධයක් තිබුනි.ජනාධිපතිතුමාගේ ඩොක්ටර් අංකල්ගෙන් බෙහෙත් ගත් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකි ලෙසට සනීප වූවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තරම් සනීපයක් නැති බව ඔහු එක් වරක් දෙවරක් නොව කීප වරක්ම මාධ්‍යට ප්‍රකාෂ නිකුත් කලා හොදට මතකය.අදාල බලධාරීන්ට මාලින්ග සමග මුල සිටම ප්‍රශ්න තිබූ බව කියවේ.මාලිංගගේ කොන්ඩය ගැන විනය පරීක්ෂන කරන්නට ගිය හැටිද අමතක නොවේ.ක්‍රීඩකයන් අදින පලදින විදිහෙන් රටක කීරිතිනාමයට හානියක් වන බව සැබැවි.නමුත් ඒසේ හානියක් වන්නේ නොගැලපෙන විලාසිතා හෝ පරුශ හැසීරීම් නිසා බව අදාල බලධාරීන්ට චූටි මොල වලට නොවැටහීම දුකට කාරනයකි.
පිටිය මැදදී නිතරම සිනහවෙන් සිටිනා (හතරේ එකක් ගැහුවත් හිනා වෙන ක්‍රීඩකයකි) ක්‍රිකට් විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූ මාලිගේ කොන්ඩය අපේ එවුන්ට ප්‍රශ්නයක් ය.හර්බුජාන්ලා ,රිකී පොන්ටින්ග්ලා , ශෝන් ටේට් ලා එක්ක තැබූ විට මාලිගේ හැසිරීම අංක 1 ට පවතී
.රත්ගම සිටින්නේ මැරයන්ම පමනක් නොව වැඩකරුවන්ය යන්නට මාලිංග හොද උදාහරණයකි.ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන විවිධ ප්‍රශ්න තිබුනත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සුවිශේෂය.
ටෙස්ට් ක්‍රිකට් වලින් සමු ගැනීමට තීරනය කිරීම ඔහු දේශද්‍රෝහියෙකු කිරීමට මූලික හේතුව කර ගත් පාලක මන්ඩලය රටට ආතල් දෙන ප්‍රකාශ නිකුත් කරේ කිසිදු වගක් නොදැනය.පාදයේ ආබාධය නිසා ශ්‍රීලංකා ක්‍රිකට් සමග තිබූ ගිවිසුමද අවලංගු කර දැමූ පුද්ගලයින්ම අද කියන්නේ මාලිංගට පාදයේ ආබාධයක් නොමැති බවය.IPL සල්ලි නිසා ටෙස්ට් ක්‍රිකට් අත අරින්නට තරම් මාලිංග ගුනමකුවකු නොවන්නේ එබැවිනි.අනෙක් අතට මාලිංගගේ රස්සාව ක්‍රිකට් ගැසීමයි.සල්ලි හොයන්නේ ක්‍රිකට් වලින් නම් තවත් ටෙස්ට් ක්‍රීඩාකර ආබාධ නිසා බන්කුවට වී තරුන ක්‍රීඩකයෙකුගේ අවස්තාව කා දමනවාට වඩා මාලිංග ක්‍රියා කල ආකාරය අගනේය.පාලක මන්ඩලයට දුක ඇත්තේ මාලිංග යෑම ගැන නොවන බව සැබෑව. සියලුම ක්‍රීඩකයන් කලින් ගෙන්නා ගැනීමට පොර ටෝක් දුන්නාට සිංහ නාදය හකුලව ගන්නට ඔවුන්ට සිදු වුනේ පෙර කල වැරදි බැවින් බව අද සියලු දෙනාම දනී.අන්තිමට රත්ගම මාලිංග ,පොලොන්නරුවේ චින්තන සමග පමනක් නොව කන්ද උඩරට මංජු සමගද අපේ රටේ ජනතාව එකතු වී සිටින්නේ ඔවුන්ට ඇති සැබෑ ආදරය නිසාය..එය දේශපාලුවන්ගේ සල්ලි මලු වලට යට නොවන ආදරයක් බව පුන පුනා කීමටද උවමනා වන්නේ නැත.
ඉතින් මාලිංග...
ඔබේ යෝකර් පන්දුවෙක් එක්දින සහ 20-20 කඩුලු බිද වැටෙන හැටි නැරඹීමට රත්ගමයා තවමත් සූදානම්ය.
ඔබලාට ජය!!!!

Monday 9 May 2011

කුරුටු ගෑවෙමි...........



ආදරණීය වස්තු,

මතකද...
ඉස්සර අපි පන්ති ගියපු දවස්
මහා හයියෙන් වහින කොට
චූටිම චූටි කුඩයක් යටට වෙලා
මාව තෙම්මන්නේ නැතුව එක්කගෙන ගිය හැටි....
අදත් ඒ විදිහටම වහිනවා
ඒත් කුඩේ යටින් යන්න අපි දෙන්නා නෑ

මතකද...
පන්තියේ ඉස්සරහම පේලියට වෙලා ප්‍රශ්න වලට
උත්තර හොයපු හැටි..
වැරදුන ප්‍රශ්න දෙන්න එක්ක විසදපු හැටි
අදත් මට ඒ වගේම ප්‍රශ්න තියෙනවා
ඒවා විසදන්න ඔයා ලග නෑ

මතකද....
අවුරුද්දට ඇදුම් ගන්න අපි දෙන්න
ගොඩාක් දුර ගිය හැටි.
මගේ අතේ එල්ලිලා විකාර ගොඩාක් කියවපු හැටි
අදත් කට්ටිය ඇදුම් ගේනවා
අතේ එල්ලා යන්න ඔයා ලග නෑ

මතකද....
වස්තුට මතකද
අපි දෙන්න ගොඩා..ක් ආදරේ කරපු හැටි..
දවසක් නොදැක ඉන්න තරම් බැරි උන හැටි..
ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
ඒත් ආදරේ දෙන්න මට බෑ....

Sunday 8 May 2011

රත්ගමයාගේ වර්ඩ්කප් ගමන (අවසානය)..



එක එක විකාර කතා කියලා රට්ටු හිනස්සන එක දැන් ඇති වෙලා තියෙන්නේ..පටන් ගත්තු නිසා කියලම ඉවරයක් කරලා දන්නම් කෝ..මේවා නිසා වැදගත් දෙයක් ලිය උනේම නෑ..
මෙන්න ඉන්දියාවේ ගියපු පලවෙනි කොටස..මෙතනින් ගිහිල්ලා කියවපු නැති අය කියවල එන්න...
රත්ගමයාගේ වර්ඩ්කප් ගමන 1 කොටස

ඔන්න ආන්ටි මිහිරුයි..අංකල් තුල්සියි එක්ක මම යනවා කාර් එකේ..
කාර් එක ගිහිල්ලා නැවැත්තුවා එයාලගේ කිරි කිත්තලා ඉදන් ජීවත් උන මහා ලොකු ගෙදරක් ගාව..
"බහින්න පුතා..ඔන්න අපි ආවා අපේ ගෙදරට"
හානේ....මේක නිකන් හෝටලයක් වගේ නේ...මොනවද ඇන්ටි ගාන තීන්ත..බැබලනවා නිකන් ටජ් මහල වගේ"

බැහැලා ඉතින් සෙරප්පු එහෙම ගලවලා මම ගේ ඇතුලට යන්න ලෑස්ති උනා..
:හෝව් පුතා...ඔහොම ඉන්න"
තුල්සි නැන්දා මහ සද්දෙට බෙරිහන් දුන්නා...ඇයි යකෝ..තියපු අඩිය ආයේ ගන්නද...මමත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා..තුල්සියා ලොකු තැටියකට මදුරු කොයිල් එකක්ද කොහේද ගහගෙන ඇවිලා මගේ ඉස්සරහා හිට ගත්තා..
"අපේ ගෙදරට අමුත්තෙක් ආවම අපි හැමදාම මේක කරනවා..මේ තැටිය මූන වටේ තුන් පාරක් ගෙනියන්න ඕනා..ඊට පස්සේ මේන්න මේ කලේට පයින් පාරක් ගහලා ගෙට එන්න.."
ඉකේ ඇන්ටි..කොල්ලො ගෙට වෙන්නේ නෑ නේ...කෙල්ලො නේ ගෙට වෙන්නේ..අර මල් දාලා නාවන්නේ..."
"අනේ පඩත්තල නොවී ඉදින්..මේ අපේ රට..ආව නම් මේ කලේට ගහපිය"
කොහෙන්දෝ බය හිතෙන කට හඩක් ආවා..
තුල්සියා මගේ මූන වටේ තැටිය ගෙනියන කොට ඒ තාලෙට ගෙදර උන් අත්පුඩි ගගහා වැනෙනවා
"කබි අල්විදා..නා...කෙහෙනා...කබි අල්විදා නා කෙනෙනා...."
තැටියේ වැනෙන තාලෙට සිංදුවත් කියනවා..
තැටි පූජා මුට්ටි පූජා වලින් පස්සේ ඔන්න ගෙදරට ගොඩ වෙන්න චාන්ස් එක ආවා..අම්මේ බලන්න ඕන නේ ගේ...ගෙයක් නෙමේ මාලිගාවක්..
මම ඉගිහින් සැටි එකේ වාඩි වෙනකොටම ස්පෝර්ට් ඩෙක්ස් දෙකක් ගහ ගත්තු ටයිඩ් ශෝර්ට් එකකුයි ස්කිනියකුයි ඇදගත්තු අක්කා කෙනෙක් පඩි පෙල බැහැගෙන එනවා...
අප්පට සිරි...යකෝ මේ මහගෙදර ආච්චියා නේ..වයසටද කෙල්ලේ වැඩ කිව්වලු...
අ...ආච්චි අම්මේ...මම මේ බැලුවා කවුද කියලා....කොහේද මේ යන්නේ..කෙල්ල වාගේ"
කෙල්ල වගේ...වගේ නෙමේ යකෝ..කෙල්ල තමා...මම මේ යනවා තුල්සි දුවගේ පුතාගේ පුතාගේ පුතාගේ පුතාගේ දූගේ පුතාලා දෙන්න එක්ක කොපර කොපර පිපිඤ්ඤා කරන්න..පොඩි උන්ගේ...අනික මෙහේ සෙල්ලම් කරන්න කවුරුත් නෑ නේ මුන්ට"
යකෝ..පුතාගේ පුතාගේ......අම්මෝ....මේ ඉන්නේ හොලමනක්..නැතිනම් මමියක්....මේකේ ඉන්න උන් මැරෙන්නේ අවාරෙටද කොහේද..
එදා දවස බයෙන් බයෙන් මහගෙදර ගෙව්නා...රෑ නිදාගෙන ඊට පස්සේ දවසේ උදේ පාන්දරම ඇහැරෙන කොට මංමෝහන් අංකල්ගේ කාර් එක ගේ මිදුලේ නවත්තලා තිබ්බා..දඩි බිඩි ගාලා අපේ රටේ කොඩියත් අරගෙන මමත් කාර් එකේ නැගලා පිට්ටනියට ගියා..
මම යනකොට මෝහන් අංකල් ඇවිල්ලා සිට් වෙලා ඉවරයි...
"අලෝ...රත්තා...මෙහෙන් වාඩියක් දාමු..මොනවයි බොන්නේ... "
"මට දෙන්න යව්වනයේ පොපියන මෙව්ව එකක්.."
එයින් එකකුත් බොන ගමන් මම නිමමට වගේ මම ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා..කිරි සුදු පුතේ කිව්වලු...යකෝ...මේ ඉන්නේ ඉන්දියාවේ ටීම් එකයි අපේ උනුයි...පිට්ටනිය මැද්දට ඇවිල්ලා පුහුනු වෙනවා...
මමත් ටිකක් ඇහැ දාලා බැලුවා..දෝනියා කරත්ත රෝදයක් වගේ එකක් අල්ලගෙන..ඌට උගන්නන්නේ ගමේ නාකි ඩයල් එකක්...
"ආ..හරි..දැන් මේ විදිහට කරන්න....අල්ලගත්තා කැරකැව්වා ඇරෝ...."
ඌ දෝණිට හෙලිකොප්ටර් ශොට් එක කියලා දෙනවා...ඒ අස්සේ ඩිල්ශාන් කෙල්ලෙක් එක්ක....
"මේ බලන්න ඩිල්ශාන්....ඕ.....ඕ..මෙරි සාර්....අනේ මාත් එක්ක කරන්න ඩිල්ශාන්...."
චිකේ....මේකි සාරිය ගලවගන්න හදනවද...අපෝ..මම අහක බලා ගත්ත...ඊට එහා පැත්තේ මාලිංගයා පොලිස් අංකල් කෙනෙක්ගෙන් බෝල දාගන්න අහගන්නවා...
යකෝ...මෙච්චර හොදට පුහුනු කරද්දි මක්කට පුහුනුකරුවොන්ට ගානක් දීලා තියන් ඉන්නවද දන්නේ නෑ....
කොහොම හරි කාසිය වාසිය දාලා.....ඊට පස්සේ උන දේවල් මම කියන්න ඕන නෑ නේ..ඊ ටික ඔයගොල්ලො දන්නව නේ....ඔන්න ඔහොමයි රත්ගමයගේ ලෝක කුසලාන ගමන ඉවර වෙන්නේ.........

ප.ලි - කතාව ලියල ඉවරයි නේ..පොඩ්ඩක් හරි හිනා ගියාද? එහෙනම් එහෙම උනේ ඇයි කියලා පොඩ්ඩක් හිතුවදප? අපි මේ හිනා වෙන්නේ අපිටම නේද..මේ ලියවිලා තියෙන දේවල් ඔයාලා බැලුවේ නැත්තන් අපිට හිනා යන්නේ නෑ කියලා මම හොදටම දන්නවා..අද අපි රූපවාහිනිය කියන එකෙන් බලන්නේ මේව තමයි..මම කලිනුත් මේ වගේම ලියලා තියනවා..ඒවටත් මේ ටිකම අදාලයි..මතක තියා ගන්න..අපි මේ හිනා උනේ අපිටමයි..මම මේ පහර ගැහුවේ අපිටමයි..අපේ ජීවිත වලටමයි.. ඉතින්,.....ඇති තරම් හිනා වෙන්න...තහනම් නෑ..මොකද අපේ ජීවිත කියන්නේ හිනාවෙන් පිරුනු තැනක් නිසා.... තවත් එක එක විකාර කතා ලියලා ඒකා කාරී වෙන්න මට ඕන තරම් පුපුවන්..මේ සමාජයේ තව හිනා වෙන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා...රැදී ඉන්න..මම හිනාව දෙන්නම්..මොකද....කදුලු වලට කරන්න බැරි දේවල් හිනාවට කරන්න පුලුවන් නිසා.... ජය වේවා!!!

Saturday 7 May 2011

රත්ගමයාගේ වර්ල්ඩ් කප් ගමන (පලමු කොටස)..

ඔන්න කාලෙකට පස්සේ ආවා රත්ගමයා මහතා...

කට්ටිය දන්නේ නැති උනාට රත්ගමයටත් ලෝක කුසලාන අවසාන මහා තරගේ බලන්න යන්න චාන්ස් එකක් ලැබුනා..මෙච්චර කල් කියන්න කියලා හිත හිත ඉදියට කියන්න බැරි උනා නේ...අද කියන්න යන්නේ ඒ කතාව.

කුප්පාභිෂේකයේ පලවෙනියා උනයින් පස්සේ හිතපු නැති විදිහට ජන අප්‍රිය උන රත්ගමයගේ ජංගම දුරකතනයට නම් නිවනක් තිබ්බේ නෑ..

ඔන්න දවසක් එකපාරටම දුරකතනය නාද වෙන්න ගත්තා,

'හෙලෝ....රත්ගමයා කතා කොරන්නේ..ඔය කවුද?'

'ආ...පුතේ....මම මේ මංමෝහන් සිං තුමා කතා කොරන්නේ..උඹ සිරිලංකාවේ හෙන ප්‍රසිද්ධයි නෙව..මමයි අපේ සහෝලා සැට් එකයි හිතුවා උඹවත් ඉන්දියා එකගෙන එන්න මැච් එක බලන්න..මොකද කියන්නේ..'

'අප්පට සිරි අංකල්..මම ඕන වෙලාවක ඔට්ටුයි..ශාරුක් අයියත් එනව නම් බැට් එකයි බෝලෙයි අරගෙන එන්න කියන්න...අපිට ප්ලේන් එකේ යන ගමන් බෝල ගාන්න ඇහැකි..'

'හරි හරි කොල්ලෝ...දැන් 235ක නැගලා කටුනායක හන්දියෙන් බැහපන්...උඹලගේ ලොක්කයි...දියවන්නවේ සැට් එකයි එතන ඇත්තේ

ඔන්න ඔහොම මට ආරාධනාවක් කොරපු එතුමා දු.ක තිබ්බා..

මම දැන් එයාර් පෝට් එකට යනවා..පාර දෙපැත්තේ අම්බානෙක සෙනග.යකෝ...මේ ඉක්මනට මම ඉන්දියාවේ යන සීන් එක ලීක් වෙලා ද...අද කාලේ කොල්ලෙකුට පාරේ බැහැලා යන්න නෑ නේ..ප්‍රේක්ෂක ජනයා මගේ අත්සන ගන්න පොරකනවා..මරා ගන්නවා උන් එතන..

පාර දෙපැත්තේ අනිත් මිනිස්සු කෑ ගහනවා..එක එකා බෝඩ් උස්සගෙන පාර දෙපැත්තේ....මේක හරියට උත්සවයක් වගේ නේ...

" කප් එක අපි ආයෙම ගේමු , රත්ගමයාට ජය වේවා , සයිබර් සැනකෙලියට මෙතනින් යන්න , අපි වවමු රට හදමු , අඩෝ..ලිබියවට අත නොතබනු , සුදු මුහුන දැක ගන්න ඉන්නේ බලා..." වගේ එව්වා තමා ඒ බෝඩ් කෑලි වල ගහලා තිබ්බේ...

කොහොමි කොහොම හරි සෙනග පීරගෙන එයාර්පෝට් එකට යන්න හම්බ උනා..මල කෙලියයි..මම යනකොට නාමල් අයියලා කලින් මෙව්වා එකේ ගිහිල්ලා..ඊලග එක එනකල් මට ටිකක් වෙලා ඉදියා..ඔන්න ප්ලේන් එක ඇවිල්ලා එයාපෝර්ට් එකේ නැවැත්තුවා..කට්ටිය දුවලා ගිහිල්ලා යන්තම් ඒකේ නැග ගත්තා..

පැය දෙකක විතර ගුවන් ගමනකින් පස්සේ අපි ඉන්දියාවට ගොඩ බැස්සා..

එයාර් පෝට් එකෙන් එලියට එනකොට ටිකක් විතර කොට සුදු ඩයල් එකක් පිට්ටුවක් වගේ ගෑනියෙකුත් එක අතක එල්ලගෙන අනිත් අතේ තඩි බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා...

බෝඩ් එකේ සිංහලෙන් ගහලා තිබ්බා "රත්ගමයා මහතා" කියලා...අප්පටසිරි..මේ මගේ නම නේ ඕයි..මම අඩිය තියෙනකොටම මෙහේ කුප්ප කුජීතම වෙලා ගිහිල්ලා..

මමත් පනාව දාගෙන එතැනට් කිට්ටු උනා..ලගට ගියාමනේ දැක්කේ..

සීවර්ම් දෙයියනේ...මේ මිහිර් අංකලුයි තුල්සි ඇන්ටියයි නේ...

අනේ...ආන්ටි තුල්සි...ඔයා තාම ජීවත් වෙනවද..ආච්චි අම්මට තාම පණ තියනවද..."

"අනේ....සුදු පුතා එනකල් මහ ගෙදර අපි හැමෝමලා බලන් ඉදියේ.ආච්චි අම්මා තමා ගහක් ගලක් වගේ ඉන්නේ..දැන් උන්දැට 200ත් පැනලා..කතාවේ තව කොටස් 2000ක් විතර තියේ නේ..එතකල් උන්දැ ඉන්නවා යහතින්..කෝ දෙන්න අනේ ඔය මලු ටික..ඒයි කරන්...මෙන්න මේ මෙව්වා ටික මෙයාගෙ අතින් ගන්න පුතේ.."

එහෙම කිව්ව විතරයි කොට කෙට්ටු ඩයල් එකක් මගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා..

එහෙනම් අපි යමු නේද පුතා..මේ තියෙන්නේ කාර් ගොඩ..ඔයා කැමති පාටක් කියන්න..ඒ කාර් එකේ අපි යමු..

ඈ බොලේ...හරි...අංකල් එහෙනම් පටන් ගන්න....නෑ එක්කෝ මම පටන් ගන්නම්...

ටක් ටක් ටක්......

කවුද ආවේ...

රාස්සයෙක්...

මක්කටද ආවේ...

පාටක් සොයන්න..

මොන පාටද....

"අඩේ....අංකල්..මම ඉස්සර ඉදලාම ආස ලා වම්බොටු ගෙඩිය පීදීගෙන එනකොට එන පාටට..මෙතන එහෙම එකක් නෑ නේ..ඒක නිසා ඔන්න ඔය කැමති එකක යමු අනේ.."

එහෙම කියාගෙනම අපි එතන තිබ්බ කාර් එකට නැග්ගා.. තඩි තුල්සියයි කෙට්ටු මිහිරයි මැද්දේ අහිංසක මම..හිතා ගන්න ඇහැකි නේ වැඩේ...

ඔන්න ඔහොමයි කතාවේ මුල් කොටස ඉවර වෙන්නේ....

ත්ගමයා මහගෙදර ගිය හැටි...ක්‍රිකට තරගය නැරඹූ හැටි වැනි අතිශය ජුගුප්සාජනක සිදුවීම් රැසක් ඊලග පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න,..එතකල් ඉවසලා හිටපියෝ....

Friday 6 May 2011

හිස් අහසෙන් රත්ගමයාට උදව්!!


කට්ටිය බලන්න ඇති එක එක පෝස්ට් විනාඩියෙන් විනාඩිය වැට්ටේ මොකද කියලා..සිංඩි වලත් ටෙස්ටින්ග් පෝස්ට් අම්බානෙක වැටිලා තිබ්බා..මුලින්ම ඒ වැඩෙන් අපහසුතාවයට පත් උන කට්ටිය ඉන්නව නම් එයාලගෙන් සමාව ඉල්ලන්න ඕන..
එක පාරටම දාන දාන පෝස්ට් වැටෙන්නේ නැති ලෙඩක් තිබ්බ නේ බ්ලොග් එකට.පෝස්ට් දැම්මට ඒවා අර කොහේටද වැටෙන්නේ නෑ..කොහොම හරි මේ ලෙඩේට බෙහෙතක් හොයන්න කියලා හිතාගෙන ඉන්නකොට අද හවස් වරුවේ හිස් අහස පැත්තෙන් කෙදිරියක් ඇහුනා...
"ගමයෝ"
මෙහෙ වරෙන් කොලු පැන්චෝ..
මගේත් ඔය වගේ ලෙඩක් තිබ්බ නේ..මම ඕක හදා ගත්තේ මගේම හයියෙන්..උඹට ඒ වගේ හයියක් නෑ නේ සුදු පුතේ..ඉදින් මම හදලා දෙන්න..ඔන්න ඔහොමයි මගේ මේ ප්‍රේමනීය බ්ලොග් කතාවට ටියුෂන් සර් කෙනෙක් එන්නේ. හැබැයි මට කතා කරපු විදිහ නම් ඇල්ලුවේ නෑ ඕන්න
"රත්ගම මලේ..මෙහෙම කරහන්..ඔය ටෙම්ප්ලේට් එක වෙනස් කරලා බලපන්.."
හරි ඔන්න මම ඒක කරා..ඒත් හරි ගියේ නෑ නේ සදරු අයියා...ඔන්න ටෙස්ටින්ග් පෝස්ට් එකක් පබ්ලිශ් උනා..
"හරි ගියේ නෑ නේද මලේ..එහෙනම් අර පබ්ලිශින්ග් කරන එක එවුරිවන් දාපන්න්"
හරි මම ඒකත් කරා..දැන් ටෙස්ටින්ග් පෝස්ට් දෙකයි...
ඔන්න ඔය විදිහටම පෝස්ට් පහක් හයක් වෙනකල් සදරු සර්ගේ එක එක උපක්‍රම පාවිචි කරා..ඒත් බ්ලොග් එක ගොඩ යන පාටක් නෑ...
වැඩක් නෑ සදරු අයියේ..මේක අත ඇරලා දාමු
එහෙම අත අරින්න පුලුවන් ද මලේ...යකඩ බජාර් එකකට නෙලලා ඉන්න මම වගේ කොල්ලෙක් ඉන්නකල්.උඹ මට පාස් වර්ඩ් එක දියන්..මම වැඩේ පටස් ගාල ගොඩ දාල දෙන්නම්"
ඔන්න ඉතින් අන්තිම තුරුම්පුවත් ගැහුවා..පාස් වර්ඩ් එක වෙනස් කරා..වෙනස් කරලා දුන්නා සදරු සර්ට..
මම පැය භාගෙකින් එන්නම්..මට 5.30ට ක්ලාස් එකක් තියෙනවා.ඊට කලින් වැඩේ ගොඩ දාල දෙන්නම්..
එහෙම කියපු සර් තුමා නොපෙනී ගියා..
මමත් ඉතින් සියලු බලාපොරොත්තු සුන් කරගෙන පැත්තකට වෙලා ඉදියා..පැය භාගයක් යන්න හම්බුනේ නෑ ජංගමේට කෝල් එකක්..
"හලෝ"
"හලෝ මලේ"
"ඔව් සදරු අයියා"
"වැඩේ හරි..උඹ ලොග් වෙයන්..මම ලොග් අවුට් වෙන්නම්"
"මොකක්ද සදරු අයියා තිබ්බ අවුල"
"ආ..මේ ෆීඩ් එකක පොඩි අවුලක්"
ඔහොම කිව්වට අපිට ඉතින් තේරෙන එකක් යැ
ඔන්න ඉතින් සතුටු සිතින් මම ලොග් උනා බ්ලොග් එකට..හප්පොච්චියේ...බ්ලොගේ වනසලා පෝස්ට් දාලා නේ..
කමක් නෑ ඉතින් කොහොම හරි ලෙඩේ හදලා නේ..මම ආයෙත් කෝකටත් කියලා ටෙස්ටින්ග් පෝස්ට් එකක් දාලා බැලුවා..අම්මේ....නියමෙට වැඩ..
කොහොම හරි සදරු අයියගේ පැය දෙකක් විතර මේ වැඩේට නාස්ති වෙන්න ඇති..ඔන්න ඉතින් ඒකට ගොඩක් ස්තුති කිව්ව..
ඔය අනිත් බ්ලොග් වල ලෙඩ තියෙනව නම් සදරු අයියටම කියන්න..ඕන ලෙඩකට බෙහෙත් කරනවා..
එහෙනම් මේක මෙතනින් ඉවරයි.ආයේ හිත හිරි වට්ටන කතා රැසකින් ඉස්සරහටත් හමුවෙමු..එතක් සමුගන්නා මා.....
රත්ගමයා මහතා...

රත්ගමයා ගේ නැවත ඉපදීම ...

අදින් පසු මාගේ බ්ලොග් මිතුරු මිතුරියන් සහ මාගේ පාඨකයන්ව කිසිම දිනෙක අත හැර නොයන බවට දිවුරා පොරොන්දු වෙමි ..

මේක දැම්මේ රත්ගමයාගේ අකවුන්ට් එකට ඇතුලු වූ හිස් අහසේ සදරු බව සලකන්න