Thursday 27 December 2012

නිවාඩුව - අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "


නිවාඩුවට ගෙදර ඇවිල්ලාත් දැන් දවස් සෑහෙන ගානක්ය.
මේ දවස් වල ගෙදර එකම යුද්ධයකි,පොඩි මල්ලී නායකත්ව පුහුණුවට යාමට සූදානමින් සිටී.උගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ලොකු අයියා වන මාය.ලොකු අයියා වීමේ වාසිය එයයි.පුහුණුවට ගෙනයන්නට ඕනෑ සියලු බඩු භාන්ඩ ආදිය ගැන විස්තර අසා ගන්නේ මගෙන්ය.
 එකක් අසාගෙන තව විනාඩි කිහිපයකින් පොර දිව එයි..

"ඕයි...සපත්තු ගන්න ඕන මොන පාටද?"

"සුදු පාට...ගෑල්ලමයි දාන ජාතියේ ඒවා"

"තොගේ @#$%^&*(*&^%" (සංකේතාත්මකව පොර පිලිතුරු දෙයි )

ආයේ තව විනාඩි කිහිපයකින් නැවත දිව එයි...

"ඕයි උඹ මගේ අලුත්ම ඩෙනිම කැම්පස් එකට ගෙනිච්චා නේ..ඒක කෝ? " (පිසාච අඩවියේ පිසාචයා ඒ ඩෙනිම දැනටමත් අඳිනවා ඇතැයි මම සිතමි)

"ඒක දාලා ආවා"

"තොගේ #$%^&*()"  (නැවතත් ඒ සංකේත ටිකමය..)

ආයේ විනාඩි කිහිපයකින් දිව එයි!

"ඕයි යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "

"උඹට නම් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ..."

"තොගේ @#$%^(_)(*&^%$ " (නැවත පෙර සංකේත ටිකමය )

පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත.
පැත්තක් ගැනීමට නොහැකිව චූටි මල්ලී තනිවම සිනා සෙයි.උගේ සිනහව තවම හෙන ලාමකය.
 මා ගෙදර සිටියේ නැති දවස් කිහිපයට ඌ ටිකක් මහත් වෙලාය.පාට වැටිලාය.

පොර සිනහ සෙමින් මා අසලට පැමිනේ.චූටි මල්ලී සිනාහසීම මාගේ සිනහාසීමට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

"ලොකු අයියේ!! ෆේස් බුක් එකේ ඔයා ගෑල්ලමයෙක් එක්ක ඉන්නවා දාලා තිබ්බ ෆොටෝ එක මම අම්මට පෙන්නුවා"

අහෝ අයියනායක දෙයියනේ! අයියලාට මෙසේ වින කරන මල්ලිලා සිටීද.වයට අවුරුදු 12ක ඇට්ටරයෙක් කරන වැඩද මේ..

ගෙදර ආවාට වඩා හොස්ටල් එකේම සිටින්නට සිතෙන්නේ මේ වෙලාවටය.

කම්මැලිකම නිසා ගෙදර සිටින්නට සිත දෙන්නේද නැත.කරන්නට කිසිම දෙයක් නැති කමන් නිසා කොට කලිසමකුත් ඇදගෙන ගාල්ල පැත්තට බඩ ගෑවෙමි.

ගාල්ලත් වෙනස් වෙලාය.බස් නැවතුම් පලට හේත්තුවී විනාඩි කිහිපයක් සිටියෙමි.කොහේදෝ සිට සුලං රැල්ලක් පැමිනෙයි,දෑසත් වසාගෙන උඩු සුලඟට ඉව ඇල්ලුයෙමි.
නැවත දෑස් විවර කරද්දීම ඇය මා දෙස බලා සිටියාය.මම සලිත උනෙමි.මේ දිනවල ශුවර් එකට උල්කාපාතයක් පෘතුවිය අසලින් හෝ යනවා විය යුතුය.

          මාගේ ග්‍රහචාරය සිකුරා දෙසට නිතරම හැරේ..දකින දකින තැන සෙට් වන්නේ ගෑල්ලමයින්ය.පොත් මිටියක් දෑතට තුරුලු කරගෙන සිටි ඇය කවුරුන් හෝ එනතුරා සිටිනවා විය හැකිය. "University Of Ruhuna " ඇය හැඳ සිටි කමිසයේ සදහන් වී තිබුනි.දෙවරක් පමණ වට පිට බැලූ ඇයගේ දෑස් මාගේ දෑස් සමග එකට යා වුනි.ටිකකින් ඇය මා දෙස පිය මැන්නාය.

අහෝ!! දෛවය.... ඔහේ මට කොලොප්පම් කරනවාද?

මා සිනහවකින් ඇයව පිලි ගත්තෙමි...

මා අසලටම පැමිනි ඇය තොදොල් වෙමින් කතා කරන්නට පටන් ගත්තය.

"අයියේ!! මේ බුක් මාර්ක් එකක් අරගෙන අපිට පොඩි සහයෝගයක් දෙනවද? "

ගෙදර අත හැර කොහේ හෝ යාමට මම ඒ මොහොතේම තීරණය කලෙමි.

Thursday 20 December 2012

අවසාන මොහොත - "මම ඔයාට ආ........"


මෙය කීමට තිබුනේ බොහෝ කලකට පෙරය.සමහර විට ඇයව හදුනා ගත් දිනයේදීමය.නමුත් මේ අවසාන මොහොතේ ඇය කුමක් සිතාවිද.
උල්කාපාතයක් පොලව මතට කඩාගෙන පතිත වනවාට වඩා කම්පනයක් ඇයට දැනෙන්නට ඉඩ ඇත.
සත්තයි...මා එය එදා කියූවා නම්....
ඔව්....
එසේ නම් ලෝක විනාශය ඇයට අරුමයක් නොවන්නට ඉඩ තිබුනි.ඒ කම්පනය ඇයට තවත් එක විහිලුවක් වන්නට ඉඩ තිබුනි.නමුත් කාලය ගත වී අවසානය.
ඇයගේ දෙතොලෙහි වෙවුලන ස්වභාවය අගල් පහලවක් තරම් කුඩා වූ පරිඝණක තිරය මත දී වුවත් පැහැදිලිව දැක ගැනීමට හැකිය.ස්කයිප් ඔස්සේ සම්භන්ධ වී සිටින කී දහසක් දෙනෙකුගේ දෙතොල් මේ අයුරින් වෙවුලනවා ඇතිද.?
දෙවියනේ...ඇයගේ දෙතොල හන්තාන කන්ද මුදුනේ සීතල මිහිදුම් අතරේ තනි වූවෙකුගේ මෙන් සුදු මැලි වී ඇත.සමහර විට ඇය බියෙන් තැති ගෙන ඇත.

"තව කොච්චර වෙලාවක් අපිට ඉතුරුයිද?"'

සැලෙන දෙතොලෙන් ඇය විමසුවාය.

"මම දන්නේ නෑ නිර්මාණි.සමහර විට තව පැයක්.."

ඇය අත් ඔරලෝසුව දෙස දෙනෙත් යොමු කලාය.

"හ්ම්ම්ම්ම්ම්..පැයක්...මේ පැයට ඔයා මොනවා කරන්නද හිරූශ.විනාස වෙලාම යද්දෙන්.."

යටි අරමුණක් ඇතිව ඇය එල්ල කල වදන් හදවත මතම පතිත විය.උල්කාපාතය...නුඹ මෙතරම් ප්‍රමාද වන්නේ මන්ද...මේ පැය ඉවසාගෙන සිටීමට නොහැකි හැටි..
මාස තුනක් තිස්සේ ආදරය කියා ගත නොහැකිව සිටි මම පැයකින් කුමක් කරන්නද?
ලෝකය...උඹ විනාශ වී යද්දෙන්...
තවමත් ගැහෙන දෙතොල් පෙති...ඒවා කෙතරම් සීතල ඇද්ද...සමහර විට ලෝක විනාශයෙන් පසු ඉතිරිවන අවසාන ජීවී සුසුම් පොද වාතලයට එක් කරන සීතලද පරාද වනු ඇත.ඒ දෙතොල සිප ගන්නට ඇත්නම්...
එසේ නම් ලෝකය,උඹ මේ දැන්මම විනාස වී යද්දෙන්..

"හිරූශ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාට මොනව හරි කියන්න්න තියෙනවද...සමහර විට මේ අන්තිම විනාඩි කිහිපයේදී වත්.."

ඔව්...කියන්නට දහසකුත් දේ තිබේ..ඒත්....මේ අන්තිම විනාඩි කිහිපය?? පිස්සෙක්....මාස හතරක් තුල නොකී දේ අවසාන විනාඩි කිහිපයේ කියන්නේ කෙසේද...
විනාඩි කිහිපයක නිහැඩියාවක්...

"හිරූ....ඔයාට මතකද ඒ දවස...අපි දෙන්නා මුලින්ම හම්බුන දවස.."

ඇය අතීතයට යන්නේ මන්ද...අවසාන මොහොතේදීත් ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙය නොවේද...

දෙයියනේ මම ආදරෙයි....මම ආදරෙයි.....මම ඒක කියන්න ඕන...සිත මටම අවනත නැත...දා බිදු නලලත මතින් නැගේ...ලෝක විනාශය නිසාද ඒසේත් නැති නම්....

"මතකයි....එදා ඔයා කතා කරේ වචන කොච්චර අඩුවෙන්ද නිර්මානි...මම පිස්සෙක් වගේ කියෙව්වා...තේරුමක් නැති දාහක් දේ මම කියෙව්වා..."

"ඔව්...ඔයා මොනවාදෝ කියෙව්වා...මම ඒ හැම දේම අහගෙන ඉදියා...ඒත් අද??"

"අද මොනවා කියවන්නද...මාස හතරක් තිස්සේ කියවලම වචන හිදිලා..."

"වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ...ඔයාට කවදාවත් කතා කරන්න වචන නැති වෙන්න විදිහක් නෑ...ලෝකේ තියෙන හැම වචනයක්ම ඔයා කියවන්න ඇති මේ මාස හතරට..ඒත් එකම එක වචනයක් ඇර.."

නැවතත් ඒ නිශ්ශබ්දතාවය,...දෙවියනේ....මේ දැන්ම උල්කාපාතය කඩාගෙන වැටේ නම්....

වට පිටාව අදුරු වීගෙන යන හැටියකි..ඉදගෙන සිටින් පුටුවද ඒ මේ අත සෙලවේ...දෙවියනේ...මේ අවසානය විය යුතුය...

පරිඝනක තිරයෙන් ඇගේ දෙනෙත් දිස්වේ....කදුලු කැට කඩා හැලෙමින් පවතී...මා මෙය කිව යුතුය....

"නිර්මානි......මම ඔයාට ආදරෙයි....මම ඔයාට ආදරෙයි...."
 
 
"ඕයි....තොට මාන්දමද....නැගිටලා පිටි එක බීපන් හොටු හිවලා..."
හුටා සිදු වූයේ කුමක්ද....ලෝක විනාසය කැන්සල් ද...
ඇද ඉස්සරහා චූටි මල්ලී හිටගෙන සිටී..උගේ අතේ කිරි වීදුරුවකි...
සරමත් කොහෙන්දෝ හොයාගත් මම හනි හනිකට කුක්කු ටික බීවෙමි..
චූටි මල්ලිගේ වෙනසක් නැත..හොද වෙලාවට මම හීනෙන් මුකුත් කියවා නැත..
කිරි වීදුරුවත් රැගෙන චූටි මල්ලී එලියට ගියේය..මම සුසුමක් හෙලුවෙමි..
මොහොතකින් දොර රෙද්ද මෑත් වෙයි...
""ඒ ලොකු අයියේ..."
"මොකො"
"කවුද බන් නිර්මාණි"
යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් ....