Saturday, 9 February 2013

එයා තාම චුටි කෙල්ලෙක්(පස්වන කොටස) - "මම ඔයාට ආදරෙයි.මාව බදිනවද?"

ඉර බැසයමින් තිබේ..හන්තාන කන්ද දෙසින් ඉර බැසයන එන හැටි කියා ඔබව අමුතුම අලුත්ම ලෝකයකට රැගෙන යාමට මට උවමනා නැත.කෙදිනක හෝ ඔබත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිනියහොත් ඒ ලස්සන ඔබගේ දෑසින්ම දැක ගත හැකි වනු ඇත.හැකි පමන ඉක්මනින් මේ කතාව ලියා අවසන් කිරීම මගේ එකම අරමුණ වී තිබේ.විශ්ව විද්‍යාලය තව දින කිහිපයකින් පටන් ගනු ඇත.ඉන් පසු මෙම කතාව ලියාගෙන යෑම ඉතාමත් අපහසු වනු ඇත.

පස්වරු හයත් පසු වී තිබේ.
එන්න...අපි හෙමිහිට කතානායිකාවන්ගේ කාමරයට රිංගමු.සමාවන්න.දැන් මේ කාමරයට හොරෙන් රිංගිය යුතු නැත...අපි කාමරයට ඇතුලු වෙමු..යුවතියන්ගේ කාමරය දැන් අපේ කාමරයකටත් වඩා හුරු පුරුදු වී තිබේ.

කාමරයට ඇතුලු වූ වහාම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් කනේ තබාගෙන කාමරයේ ඒ කොනටත් මේ කොනටත් ඇවිදියි.කලවා යන්තම් වැසෙන සේ ඇද සිටි කොටම කොට කලිසම් පොඩියත් සිහින් පටි සහිත ස්කිනියත් ඇයට ක්‍රීඩාශීලී පෙනුමක් ගෙන දෙයි.
රාත්‍රී ඇදුමට මොන ක්‍රීඩාශීලී පෙනුමක්ද...
ඇය වරෙක නොසන්සුන් ශබ්දයක් මුවෙන් පිටකරයි..ඉන් පසු නැවත ජංගම දුරකතනයේ අංක කලබලයෙන් ඔබයි...

මා කතාව පටන් ගත් දිනයේදීම සුන්දර යුවතියක් ජංගම දුරකතනයත් රැගෙන එහේ මෙහේ ඇවිදියි යැයි කියුවා නම් ඔබ එක් වරම
 "ආ....ඒ නම් තාරිකා" 
යැයි පවසනු ඇත.ඒත් දැන් දැන් කතාව වෙනස් වෙමින් පවතී.ඒ සුන්දර යුවතිය හසිනි බව දෙවරක් නොසිතාම ඔබ පවසනු ඇත.

ජංගම දුරකතනයත් රැගෙන ඇය මේ අමතන්නට උත්සහා කරන්නේ කාටදැයි මා සිතටද සැකයක් දැනේ..

සෑම ප්‍රේම කතාවකම මෙන් කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩයි යන මතය ඇය බිද දමාවිද?

හිතවත් පාඨකය..මගේ සීතටද සියුම් දුකක් දැනේ..නිගමනයකට එලඹීමට පෙර අපි තාරිකා කොහේදැයි සොයා බලමු..කාමරය පුරා සොයා බැලුවද ඇයගේ සලකුණක් වත් නොමැත.

"බාත් රූම් එකේ බැලුවද?"
ඔබ මගෙන් විමසනු ඇත.
ඔබ එය පැවසීමටත් ප්‍රතමයෙන් මා එය පරීක්ෂා කර බැලූයෙමි.කාමරයේ සෑම තැනක්ම යනුවෙන් මා අදහස් කලේ එබැවිනි.

කාමර පරීක්ෂාව අවසන් වෙද්දීම වාගේ දොරට තට්ටු කරනා හඩක් ඇසුනි.අතේ තිබූ ජංගම දුරකතනය ඇද මෙට්ටය මතට අත හැර දැමූ හසිනි , වහ වහා දිව ගොස් දොර විවෘත කලාය.එලවලු පිරවූ මලු දෙකකුත් අත් දෙකේ රදවාගෙන තාරිකා දොර ඉදිරිපිට සිටියාය.

"කොහේද බන් ගියේ..මම දැන් පැය භාගෙක ඉදලා කෝල් කරනවා උඹට..ෆෝන් එකත් ඕෆ් කරගෙන.."

එසේ නම් ඇය කලබලයෙන් මෙන් ඇමතුම් ලබා දී ඇත්තේ තාරිකාටය.දැන් නම් හිතේ සතුටින් කතාව ලියාගෙන යෑමට හැකිය. 

එලවලු මලු දෙක වරක් ඔසවා හසිනි ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් තාරිකා කාමරයට ඇතුලු වූවාය.

"යන දේවස්තානෙක කෝල් කරලා යන්න එපැයි හරකියේ.තව ටිකක් බලලා මම වෝඩ්න් මැඩම්ට කියන්න ඉදියේ "

"මම උදේ කිව්වනේ බන් හවස එලවලු ගේන්න යනවා කියලා"

"එලවලුවක් ගැන නම් කිව්වේ නෑ..නිර්මාලයා ගැන නම් උදේ කියලා ගියා වගේ මතකයි"

"අනේ මේ නිකන් ඉදපන් කතා හදන්න නැතිව.උගේ හිතේ ඔහොම මගුල් විකාර නෑ.."

"හ්ම්ම්ම්...කැරට් , ලීක්ස් ....යකෝ මේවා ගන්න වෙච්චර වෙලා යනවද? නුවර ටවුමේ උඹ කැරට් වැව්වද? "

එලවලු මල්ල අවුස්සමින් තාරිකා ඇසුවාය.

"තනියම නෙමේ බන් ගියේ..නිර්මාල් එක්ක ගියේ..ඌටත් මොනාද බඩු වගයක් ගන්න ඕන කිව්වා.උගේ බඩු තෝරන්න ගිහින් තමා මෙච්චරම වෙලා ගියේ.."

"ආයි අෆ්ෆා....මුන් දැන් සවාරිත් යනවනේ..ඔහොම්ම හනිමුන් එකත් පලයන්..අපිට කියන්නවත් එපා.."

"අනේ නිකන් කතා හදන්නේ නැතුව ඉදපන්..හොදටම මහන්සියි බන්..මම යනවා වොශ් එකක් දාගන්න...ඔය ටවල් එක මෙහෙට දාපන්"
තුවාය ඉල්ලා සිටිමින් තාරිකා තම අත දිගු කලාය.

හසිනි මොහොතකට නැවතුනාය..ඉන් පසු තාරිකා දෙසට වේගයෙන් දිව ආවාය...

ඇය දිව එද්දීම තාරිකා දකුණු අත එක් වරෙම පසුපසට කර හංගා ගත්තාය..එම අතේ කුමක් හෝ හොරයක් තිබේ.එය අප දැන ගත යුතුමය.
මම ඔබට නැවත මතක් කරමි.කාමරය තුලට ආවාට යුවතියන්ගේ අතින් ඇල්ලීමට අපට අවසර නැත.ඉතින් හසිනි අත අල්ලාගෙන හොරය කුමක් දැයි බලාගන්නා තුරු අපිට ඉවසා සිටිය යුතුවේ.

"පෙන්නපන්...පෙන්නපන් අත..." 
එසේ කෑ ගසමින් හසිනි , තාරිකාව ඇද මත පෙරලා ගත්තාය.ඉන් පසු පිටුපසට කල අත අඹරවා ඉදිරියට ගත්තාය.

ඇයගේ අතේ රෝස පැහැ අත් පලදනාවකි.එහි තැනින් තැන පබලු අල්ලා තිබේ.මට නම් එහි ලස්සනක් නොපෙනේ..නමුත් හසිනිට නම් එය හිතට අල්ලා තිබෙන සෙයකි..

"නිර්මාලයා නේද දුන්නේ..ඇත්ත කියපන්...නැතිනම්.." 
අඹරවා අල්වාගත් අත වම් පැත්තට කරකවමින් හසිනි කෑගැසුවාය.

"ආ...ආ....ඔව් ඔව්...අත ඇඇරපන්....කියන්නම්..." 
තාරිකා පින් සේන්ඩු වූවාය,

"'හරි දැන් කියපන්..."
අඹරවා  තිබූ දෑත නිදහස් කරමින් හසිනි ඇද මත හරි බරි ගැසූ වාඩි වූවාය.

"ඔරලෝසු කනුව යට උමග තියෙන්නේ.."

"ඔව්..ඉතින්.."

ඒකේ තිබුණ කඩේක මේක තිබුනේ..මම එතනින් නිකන් යන ගමන් නිර්මාල්ට කිව්වා මේ බ්‍රේස්ලට් එක ලස්සනයි කියලා..එච්චරමයි කිව්වේ...ඊට පස්සේ.."

"හෝව් හිටහන්....ඉතුරු ටික මම කියන්නම්"
 හසිනි මැද්දට පැන්නාය..
මම දැන් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියමි.ඒ ඇයගේ හැටිය..මීට පෙර දිනක කවුදෝ කෙනෙක් ඇයට පන්ඩිත කෙල්ල යැ‍යි නොකියන ලෙස ඉල්ලා සිටියාය.ඉතින් පාඨකය, ඇය පණ්ඩිත කෙල්ලක් නොවේ.

"උඹ එලවලු මාකට් එකේ එලවලු තෝරන අතරේ ඌ උඹටත් හොරෙන් ගිහිල්ලා ඔය බ්‍රේස්ලට් එක අරගෙන ඇවිල්ලා උඹේ අතින් අල්ලලා....." 

එසේ කියමින් ඇය එක් දණහිසක් නවමින් ඉදගෙන තාරිකාගේ අතින් අල්ලා ගත්තාය.

"තාරි...මාගේ කුලුදුලේ කරනා පස් වෙනි ප්‍රේමය පිලිගන්න ...කියලා බ්‍රේස්ලට් එක උඹේ අතේ බැන්දා"

"අනේ පලයන් යන්න..බැන්දේ නෑ බන්...මට දුන්නා..."

 "හරි හරි...දුන්නත් එකයි බැන්දත් එකයි..හැබැයි මගුල මටත් කියපන් හොදේ.."

"අනේ බයිලා නවත්ත ගනින්..මම යනවා නාගන්න"

තුවායත් කරේ දමාගනිමින් තාරිකා නානකාමරය දෙසට හැරුනාය..

"ඒ..මේ පොඩ්ඩක් ඉදපන්..අද මාර වැඩක් උනානේ..."

"මොකක්ද? උඹ අර උදේ කලබලෙන් කෝල් කරලා හවසට කියන්නම් කියපු සීන් එකද?"

"ඔව් ඔව් බන්..ඒක තමා."

"ඉතින් මොකක්ද උනේ?

"පොට්ටයා මගේ පස්සෙන් ඇවිල්ලා උඹේ ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.."

තාරිකාගේ දෑස් උඩගියාය..නානකාමරය දෙසට තැබූ දෙපය ආපසු ඉබේම හැරුනි.

"ඉතින් උඹ දුන්නද?

"පිස්සුද...මම කිව්වා උඹේ ෆෝන් නම්බර් එක තියෙන්නේ මගේ ෆෝන් එකේ, මම ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කියලා..."

"අම්මෝ.,..ඇති යන්තම් උඹට එහෙම බොරුවක් වත් කියාගන්න මොලේ තිබුනා.."

"මොලේ නෙමේ..හෙට උදේට මම ඉවරයි.."

"ඇයි?"

"මම උඹට කෝල් කරපු වෙලේ , ඌ දැක්කා මගේ අතේ ෆෝන් එක තියෙනවා.."

දහවල් වරුවේ සිදු වූ සියලු සිදුවීම් ඔබත් , මමත් , මලිතුත් , හසිනිත් හොදාකාරවම දනීමු..නොදන්නේ තාරිකා පමනි.ඉතින් හසිනි සියලු විස්තර තාරිකාට පවසන තෙක් අපි පිරිමි නේවාසිකාගාරය වෙත ඉක්මන් ගමනින් ඇවිද යමු..

නිතර නිතර රාමනාදන් ශාලාවේ යුවතියන්ගේ කාමරයේම රැදී සිටි නිසා අක්බාර් ශාලාවත් දැන් නුහුරුය.කෙසේ හෝ නිර්මාල්ගේ කාමරය සොයාගෙන අපි එයට ඇතුලු වෙමු..

අපි කාමරයට ඇතුලු වෙද්දීත් කාමරය ඇතුලත කතාවක් සිදුවෙමින් පවතී.

"රුපියල් 100ක් ඉවරයි එහෙනම්" 
කාමරය තුල සිටි මිතුරා නිර්මාල්ගෙන් අසයි..

"100 වගේද බන් මේක ගොඩ ගියොත්"

"දැන් බලපන්..මුලින් ඔය අතේ බදින මල ඉලව්ව..පස්සේ සෙන්ට් බෝතල්..පස්සේ ඇදුම්...දවල් කෑම..කෙල්ලෙක් එක්ක යාලු උනාම ඔය දේවල් වලට බජට් එක වෙන් කරන්න වෙනවා.රුපියල් විසි පහේ කෑම එක කාලා ඉන්න අපිට මොන බ්‍රේස්ලට් ද බන්" 

ඇද රෙද්ද ගසමින් මිතුරා පැවසුවේය.

"උඹට ඔය ඉරිසියාව තියෙන්නේ..ඔන්න ඔය ලයිට් එක ඕෆ් කරලා නිදාගනින්..හෙට උදේම යන්න තියෙනවා.."

යුවතියන්ගේ කාමරයේ අපි ගත කල වේලාව හොදටම වැඩිය.පිරිමි ලමුන්ගේ දෙබස් වලින් අපට ඇසුනේ අවසාන දෙබ්ස් කිහිපය පමනි..

"ක්ලික්" 
හඩින් පසු කාමරයම අදුරේ වෙලුනි.

දැන් නම් තවත් කොහේ හෝ යන්නට කම්මැලිය.හෙට උදේ වන තෙක් අපිත් කොහේ හෝ වැටී නිදා ගනිමු..
ගැහැනු ලමෝ මෙය කියවයි නම් ඔබට මෙහි නිදා ගැනීමට අවසර නැත.මෙය පිරිමි නේවාසිකාගාරයකි..

පසු දිනයේ සූර්යා අහසේ නැග එද්දීත් පිරිමි ලමෝ දෙදෙන හොදටම නිදිය.තව දුරටත් මෙහි රැදී සිටීමෙන් පලක් නොමැත.එන්න අපි රාමනාදන් ශාලාව වෙත පිය මනිමු.

අපි ඒ දෙසට ඇවිද යද්දීත් තාරිකා සහ හසිනි හාදු වංගුවත් පසු කර තිබුනාය.හසිනි ඇද සිටියේ සුදු පැහැ කමීසයකි.සුදු පැහැය ඇයට හොදින් ගැලපේ.කලු පැහැයද එසේමය.ඇයට ගැලපෙනා ඇදුම් මොනවා දැයි ඔබටම තේරුම් ගැනීමට හැකි වන ලෙස ඇයගේ ඡායාරූපයක් බ්ලොග් අඩවියේම දැමීමට මට සිත් දෙයි.ඇයගේ Facebook Account එකේ ඇය පමනක් තනිව සිටිනා ඡායාරූප කිසිත් නැත.එබැවින් මම එම අදහස අත් හැර ගතිමි.අනික මෙහි ඡායාරූපයක් දැමුවහොත් හොද නැත්තේ ඇයටය.මටත් නොදැනීම මගේ හිතත් ඇය ගැන වද වෙනවා මට හැගේ.
කතාව ගලායන ආකාරය නිසා තාරිකාගේ ඇදුම් පැලදුම් විස්තර කිරීමෙන් මම වැලකී සිටිමි.

"නංගි"

නැවතත් පෙර තිබූ ගොරෝසුකටහඩම පිටු පසින් ඇසුනි.මෙවර එය සැරපරුශ ලෙස ඇසුනේ නැත..එය විදානයක්ද නොවීය..එබැවින් යුවතියෝ දෙදෙන එක තැනම නතර වූවාය.

"උදේ ලෙක්චර්ද?" 
කවදාවත් අසා නොමැති අහිංසක හඩකින් මලිත් ඇසුවේය.

"ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
පිලිතුර හසිනිගෙනි..

උඹෙන් නෙමේ නංගි ඇහුවේ..මම ඇහුවේ තාරාවගෙන් 

 "ඔව් ජ්‍යේෂ්ඨතුමා.."
 තාරිකාද පිලිතුරු දුන්නාය,

 "අනේ මේ..දැන් සාමාන්‍ය කතාවක් යන්නේ...ජ්‍යේෂ්ඨතුමා කෑලි ඕන නෑ..."

"නියපොතු වල පාට මැකුණද?"

"ඔව් ජ්‍යේශ්ඨතුමා.."

"අයියේ කියපන් බන්...සාමාන්‍ය කතාවක් යන්නේ.."

"ඔව් අයියේ..."

"ඒවා මකන් එන්න කිව්වේ උඹලා එක්ක තරහට නෙමේ බන්..මේකට එන්නේ සාමාන්‍ය අම්මා තාත්තගේ එව්වෝ.නිකමට හිතපන්..උඹ මේකප් දාලා මාල දාලා මාර පොශ් විදිහට ආවට පස්සේ මේකප් දාන්න තියා දවල්ට කන්නවත් සල්ලි හොයාගන්න අමාරු අම්මා තාත්තගේ එකාට දුක හිතෙනවා නේද? "

"ඔව් අයියේ.."

"අන්න ඒකයි එහෙම එන්න කිව්වේ...නැතුව තරහකට නෙමේ.."
 මලිත් එසේ පවසමින්ම හසිනි දෙස හැරුනේය.

"මම උඹෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුවේ මේ ටික කියන්න..මේක උඹලට කිව්වේ නැති නම් හිතයි අපි මහා යක්කු ජාතියක් කියලා" 

"දැන් පලයල්ලා"

එම විදානයත් සමගම යුවතියෝ දෙදෙන ආපසු හැරුනෝය.පියවරක් ඉදිරියට තබද්දීම 

"ඔහොම නැවතියල්ලා.."

යුවතියෝ නැවතුනෝය.අහිංසක මලිත් ගේ කටහඩ වෙනුවට වෙනත් කටහඩක් ආදේශ වී තිබුනි..

"පෙන්නපන් උඹේ අත" 
තාරිකා දෙසට අත දිගු කරමින් මලිත් තර්ජණය කලේය,

තාරිකා බියෙන් අත දිගු කලාය.ඇයගේ අතෙගි තිබූ රෝස පැහැති අත් පලදනාව තම අතින් අල්ලා ගත් මලිත් තාරිකාගේ දෑස දෙස එක එල්ලේ බැලුවාය.උපැස් යුවල නිසා මලිත්ගේ දෑස තාරිකාට එක එල්ලයේ නොපෙනේ..නමුත් උපැස් යුවල පිටුපස ඇති දෑස් කෝපයෙන් දිලිසෙනු ඇතයි ඇයට සිතුනාය.

එක පාරක් නිදහස දුන්නාම තොපි එනවද මේක කෝලම් මඩුවක් කරන්න..ගලවපිය තොගේ අතේ තියන බලු පටිය...

"උඹට හෙන ආතල් ඇති නේ නංගි..උඹලා හෙන පොශ් කෙල්ලෝ නේ.." 
අත් පලදනාව තම අතට ගනිමින් මලිත් පැවසුවේය.

තාරිකාගේ දෑසේ පනින්නට ඔන්න මෙන්න පොරකන කදුලු බිදු දෙකකි.මා කතාව ආරම්භයේත් ඔබය යමක් කියූවෙමි..
සත්තකින්ම යුවතියට මේවා හුරුපුරුදු නැත..

"ඉක්මන්ට යන්න ඕන නේ උඹලට..හිටපල්ලකෝ.."

මලිත් කිහිප වරක් වට පිට බැලුවේය.ඉන් පසු නැවත කතා කරන්නට පටන් ගත්තේය.

"මේ පාරේ ඇවිදගෙන එන හැම කොල්ලා ගාවටම ඔලුව පහත් කරගෙන ගිහින් මම මේ කියන හැම අකුරක්ම අඩු කරන්නේ නැතුව කියපන්.ඇහුනද උඹට?"

"ඇහුනා ජ්‍යේශඨතුමා..."

"ගිහින් පද්ද පද්ද කියපන්..මෙහෙම...."

එසේ කියමින් මලිත් තාරිකාගේ දෑස් දෙස බැලුවේය..යුවතිය හඩන්නට ඉකිබිදිමින් මලිත් දෙස බලා සිටී..

"මම ඔයාට ආදරේයි...මාව බදිනවද?"

ඉන් පසු තත්පර තුන හතරක නිශ්ෂබ්දතාවයකි..

"හරි දැන් මට කියපන්.."

යුවතිය ගොලු වී සිටියි.මලිත් ඇය දෙස කන්නට මෙන් බලා සිටියි..කිසිත් කරන්නට නොහැකි තැන ඇය එම වචන කිහිපය කියන්නට තීරණය කලාය.

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?" 
යුවතිය කට පාඩමෙන් මෙන් කියාගෙන ගියාය..

"යකෝ උඹ කවද හරි ආදරේ කරන්නේ පිදුරුතලාගල කන්දටද?..හැගීමෙන් කියපිය"

"මම ඔයාට ආදරෙයි...මාව බදිනවද?.." 

යුවතිය එවර නම් හැගීමෙන් කියුවාය.කොතරම් හැගීමෙන් කියුවාදැයි කිවහොත් මලිත් ඇය දෙස තත්පර පහකට වැඩි කාලයක් නිසලව බලා සිටියේය..
සිතුවිලි දැහැනෙන් මිදුනු ඔහු ඉන් පසු කතා කලේය..

"ආන්න හරි...දැන් ඕක කිය කිය පලයන්...එකෙක්ට හරි කියන්නේ නැතුව ගිහින් තිබුනොත් බලා ගමු.."

යුවතියෝ දෙවන වරටද ආපසු හැරුනෝය..

"ඒයි උඹ කොහේද හැරෙන්නේ...උඹට යන්න කිව්වේ නෑ.."

ඒ තර්ජනය හසිනිටය....

හසිනි සහ මලිත් තනිකරමින් තාරිකා ගියේය.
ඇය පසුකර යන සියලු පිරිමි ලමෝ සිනහසෙමින් යනු පමනක් ඈතට පෙනුනි..

"උඹ අල්ලගන්න තමා ඉදියේ..උඹ ඊයේ ෆෝන් එක හොස්ටල් එකේ දාලා ආවා කිව්වා නේ.."

 හසිනි උඩ ගොස් බිම වැටුනාය..තාරිකාට වඩා යමක් ඇයට සිදුවීමට යන බව ඇයට ඉවෙන් මෙන් වැටහුනාය..

ඇයට සිදුවන්නේ කුමක්ද..මෙම කතාව කියවන ඔබ , මා එය පවසන තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිනවා ඇත..නමුත් සමාවන්න..එය මම සහ හසිනි පමනක් දැන සිටීම ප්‍රමානවත්ය.කතාව කියනවා යැයි ඔබට පොරොන්දු වූවාට කතාවේ හැමදේම ඔබට පවසන බවට මම පොරොන්දු නොවුනෙමි.ඉතින් අද කතාව මම මෙතැනින් නවත්වමි.මේ කතාව ලියන්නේ මමය.ඉතින් මා ලියන්නේ මට වුවමනා කරනා දේවල් පමනි..

-------------------------------------------------------------------------------------

මතකය - 

කැම්පස් පටන් ගන්නේ 18 වෙනිදා උනාට ගෙදර ඉදලාම දැන් ඇති වෙලා.හැමදාම ඒකාකාරීව ජීවිතේ ගෙවන්න බෑ.ඕන දෙයක් කියලා හිතලා මම අදම කැම්පස් යනවා කියලා හිතාගෙන අල්මාරිය ඇරලා අදින්න ඇදුම් තුන හතරක් අරන් නවලා ඇද උඩින් තිබ්බා.ඇදුම් දාන්න බෑග් එක හොයනකොටයි තේරුනේ බෑග් එක මේසේ උඩ නෑ.ම්ට හොදට මතකයි ඊයෙත් බෑග් එක මේසේ උඩ තිබුනා කියලා.අම්මා හෝදන්න දාලද දන්නෑ..

ඉක්මනට ඉක්මනට අම්මා ගාවට දුවලා ගියා.බෑග් එක හේදුවට කමක් නෑ බෑග් එකේ පොඩි pocket එකේ shipper එක අම්ම ඇරලා බැලුවොත්.එහෙම උනොත් විනාසයි.

හිතුවා වගේම බෑග් එක රෙදි වැලේ වේලෙන්න දාලා..
දන්න හැම දෙයියෙක්වම සිහි කර කර ගිහින් බෑග් එක වැලෙන් අර ගත්තා..ඉස්සෙල්ලාම අත ගියේ පොඩි pocket එකට..

හුටා...

හිතුවා වගේම මෙච්චර කල් පරිස්සම් කරපු දේ එතන නෑ..
හිතේ සැකේ යන්න දෙපාරක් තුන් පාරක් බෑග් එක එහාට මෙහාට පෙරලා පෙරලා බැලුවා.

"මොකක්ද හොයන්නේ?  , මේකද?"

පිටිපස්සෙන් ආපු සද්දයක් නිසා මම හැරිලා බැලුවා...

අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.. රෝස පාට ඇට ඇට තියෙන බ්‍රේස්ලට් එකත් අතේ තියාගෙන අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා..

"ඔය මොකක්ද?.ඕකක් නෙමේ මම හෙව්වේ...මේක ඇතුලේ මම කරපු Assignment එකක් තිබුනා.ඒක දැන් නෑ...අම්මා හෝදද්දී ඒක අයින් කරාද?"

අතේ පැලවෙන කෙබ්බයක් දෙපාරක් හිතන්නේ නැතුවම මම ඇදලා ඇරියා.
 
"ඔය පොඩි පොකට් එකේ කොහොමද Assignment එකක් දාන්නේ.."
හුටා..
එතකොට තමා මටත් ඒක මතක් උනේ..දැන් දීපන්කෝ උත්තර..

 "නෑ නෑ...Assignment එකක කටු සහහන් වගයක්.."

කටුසටනක් නෑ තිබුනේ නෑ.මේන් මේක නම් තිබුනා..."

බ්‍රේස්ලට් එක මගේ ඇස් ඉස්සරහ එහාට මෙහාට වැනෙනවා...දෛවයත් කොලොප්පම් කරන්නේ මටම නේ..

"ඕක ෆැකල්ටියේ කාගේ හරි කෙල්ලෙක්ගේ වෙන්න ඇති.ට්‍රිප් යද්දී බෑග් මාරු කරගන්නව නේ..එතකොට අමතක වෙන්න ඇති."

මුලින් කියපු බොරුත් බොරු වෙන විදිහේ බොරු ටිකක් ඇදලා බාලා වැඩේ හොදටම නෝන්ඩි වේගෙන එනකොට බ්‍රේස්ලට් එකත් අරගෙන මම පැනගත්තා.

බඩු ටිකත් ලෑස්ති කරගෙන එලියට අඩිය තියද්දිම චූටි මල්ලී පන්ති ඇරිලා ගෙදර එනවා..

"කොහේද යන්නේ?"

"මම යන යන තැන තොට කියන්න තෝ ජනාඪිපතිතුමාද?"

"ඔව් ඒ වගේ...කැම්පස් එකට නේ යන්නේ?"

"ඔව් කැම්පස් එකට තමා "

"ඉතින් අයියේ 18 නේ කැම්පස් පටන් ගන්නේ...දැන්ම යන්නේ මොකො? "

"තොට නෑනා කෙනෙක් ගේන්න යන්නේ"

 එහෙම කියාගෙනම මම ඉස්සරහට ගියා...
ඇයි වදේ..අපි යන තැන් දැන් අම්මට , තාත්තට අමතරව මල්ලිලාටත් කියන්න වෙලානේ.

"මේ...ලොකු අයියේ..."

මම හැරිලා චූටි මල්ලි දිහා බැලුවා.. 

"කවුද නෑනා..? හසිනි අක්කද? තාරිකා අක්කද?  " 

"හසිනි අක්කා

මම එහෙම කියන්න හිතලත් කට වහගෙන එතනින් මාරු උනා.කොච්චර කරත් චූටි මල්ලිට නෝන්ඩි වෙන්න බෑ නේ..ඕක තමා කියන්නේ බ්ලොග් එකක කතාවක් ලිව්වත් ඒක මල්ලිලට අහු වෙන්න ලියන්න එපා කියලා..

කොච්චියෙන්ම කොළඹට ගිහිල්ලා වෙනදා වගේම බදුල්ලේ කෝච්චියේ එල්ලුනා..බදුල්ල කෝච්චිය කියන්නේ මතක ගොඩක්.ඔව්..මේක තමයි ඒ කොච්චි පෙට්ටිය..

Welcome එක , එහෙමත් නැත්නම් Social එක ජූනියර් බැජ් එකට දීලා හරියටම සතියකට විතර පස්සේ , ඒ කියන්නේ එයා මට ආදරෙයි කියලා සතියකට පස්සේ දවසක් වෙනකල් මගේ මතකය දුවලා ගියා..

"
මේක මතකද? "
සාක්කුවේ තිබුන බ්‍රේස්ලට් එක අතින් අරගෙන මම ඉශාරගෙන් ඇහුවා..

එයාගේ තිබුනේ හිස් බැල්මක්..ඒ බැල්ම දිහා එක එල්ලේ බැලුව නම් මට තේරුම් ගන්න තිබුනා එයා මට කරන්නේ ආදරයක් නෙමේ කියලා..ඒත් ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් මට තිබුනේ නෑ.ඇස් දිහා බැලුවහම මතක් උනේ සජිනිව..ඉතින් මම බ්‍රේස්ලට් එක දිහාම බලාගෙන ඉදියා..
"මතකයි අයියේ.."

"දැන් ඉතින් මේක මගේ ලග තියාගෙන ඉදලා වැඩක් නෑ නේ..ඕන්න දැන් ඒක නියම අයිතිකාරි ලගටම ගියදෙන්..කෝ දෙන්න අත...ගලව ගත්තේ මම නේ..මමම ඒක දාන්නම්.."

එහෙම කියලා බ්‍රේස්ලට් එකත් එක්ක මම එයාගේ අත දිහාවට මගේ අත දික් කරා..

"නෑ අයියේ..."

අත පැත්තකට අරගෙන එයා කතා කරන්න ගත්තා..ඒක පැත්තකට ගත්තා නෙමේ මගේ අත ගසලා දැම්මා කියලා එදා මට තේරුම් ගන්න බැරි උනා...ඇත්තටම ආදරේ කරද්දී මොන පිරිමිය උනත් සෑහෙන්න බොලද වෙනවලු..ඒ කතාව නම් සහතික ඇත්ත..

"අයියා ඕක තියාගන්න..මාව මතක් වෙන්න හැමදාම ඕක තියාගන්න"

"අනේ පිස්සී...මට ඔයාව අමුතුවෙන් මතක් වෙන්නේ නෑ...මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්වනේ..ඔයා එක මොහොතක් වත් මට අමතක වෙන්නේ නෑ..ඉතින් ඒක නිසා අමුතුවෙන් ඔයාව මතක් කරන්න ඕන නෑ.."

මම හෙන රොමෑන්ටික් ටෝකක් දුන්නා..

"කමක් නෑ අයියා ඕක තියාගන්න..මම වෙන එකක් ගන්නම්.."

"ආ...නියමයි අදහස...මම මේක තියාගන්නම්...ඊට පස්සේ ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්..එතකොට හරි නේ වැඩේ..."

"හ්ම්ම්ම්ම්..හරි.." 
එයා එච්චරමයි ඒ ගැන කිව්වේ...

කෝච්ච්චිය ගැස්සෙද්දී ආයේමත් මම පියවි ලෝකෙට ආවා.නුවර යන්න තව පැය දෙකක් විතර යනවා..බෑග් එක ඇරලා laptop එක අරගෙන අද කතාවේ මතකය කියන කොටස ලිව්වා..පැය දෙක ඇතුලතම ඒ කොටස ලිව්වා.ඔයාලා බලනවා ඇති මේ පොඩි කොටස ලියන්න පැය දෙකක් යන්නේ කොහොමද කියලා.

ඒත් මේ පොඩි කොටස මට මතක කන්දක්...මේ ලියපු හැම වචනයකම තියෙන්නේ ඒ මතකය..

ගෙදර ඉදිය නම් එක පාරක් අඩලා විනාඩි ගානකින් ලියලා දාන්න තිබුනා..ඒත් මේක කොච්චිය..ඒකෙත් තුන් වෙනි පන්තිය.මගේ ඉස්සරහා ශීට් එකේ තව තුන් දෙකෙන් මූනට මූන බලන් ඉන්නවා..මම කතාව ලියන්නත් ඕන..හැගීම් හංග ගන්නත් ඕන..මේක මහා ගින්දරක්... 

Wednesday, 6 February 2013

එයා තාම චූටි කෙල්ලෙක්(හතරවන කොටස) -" එයාට උදේම Lecture එකක් ජ්‍යෙෂ්ඨතුමා.."




රාමනාදන් ශාලාවේ කාමර අංක 3342 ඉදිරිපිට ගැහැණු ලමෝ දෙදෙනෙක් බර කතාවකය.ගැහැණු ලමෝ දෙදෙනෙක් යැයි කියූ පමණින් ඔබ ඔවුන්ව හසිනි සහ තාරිකා යැයි නම් කරනු ඇත.මේ කතාව දැන් මටත් වඩා ඔබට සමීප වී හමාරය.සතියක් කතාව පමා කලහොත් මටත් වඩා තැවෙන පිරිසක් සිටියි..දිනපතා මේ කතාව ලිවිය නොහැක..මෙය ගොත ගොතා ලියන කතාවක් නම් ඕනෑම වෙලාවක අවසන් කල හැකිය.නමුත් අවාසනාවකට මෙය වර්ථමානයේදී ද සිදුවෙමින් පවතින කතාවකි...

මා පෙර කියූ ගැහැණු ලමෝ දෙදෙනාගේ දෙබස් වලින්ම අපි අද කතාව ආරම්භ කරමු.කොට කලිසමක් හා එයටම සරිලන සැහැල්ලු කමිසයකින් එකියක් සැරසී සිටියාය.කොණ්ඩය කරල් දෙකකට ගොතා තිබේ.අතරින් පතර රෑනෙන් මිදුනු කොණ්ඩා ගස් කිහිපයක් යුවතියගේ නළල මත වැටී ඇත.මුහුනේ පණ්ඩිත සිනහවකි. මා මීට පෙර මෙසේ වර්ණනා කලේ තාරිකා ගැන පමණි . මොකක්දෝ හේතුවකට දැන් දැන් හසිනි ගැනද වර්ණනා කිරීමට සිදුවී ඇත.

"ඒ කියන්නේ ඌ උඹේ ඇඟිලි දිහා කලින්ම ඉඳන් බලන් ඉඳලා?" 
කොණ්ඩ කරලක් කරකවමින්ම හසිනි ඇසුවාය.

"හ්ම්ම්ම්.වෙන්න ඇති.." 
 පිලිතුර තාරිකාගෙනි..

"වෙන්න ඇති නෙමේ බං...ඒක තමා වෙලා තියෙන්නේ..නැතිනම් අනිත් හැම එකාම දකින්න එපැයි උඹ බ්ලේඩ් එකෙන් නියපොතු හීරුවා කියලා..ඔක්කොමත් හරි..නිර්මාල් දැකපු නැති එක තමා පුදුමේ"

  ඒ අවසාන වචන කිහිපය ඇය කියූවේ අමුතුම තාලයකටය.ඇය එයින් අදහස් කලේ කුමක්දැයි මම තවම නොදනිමි.මායම් හැට හතරින් දහයක් වත් තේරුම් ගැනීමට නොහැකිව හසිනි ගැන හැදෑරීම මෝඩ කමකි.

  පුටුවක් පැත්තකට අදිමින් ඒ මත වාඩි වූ හසිනි තාරිකා දෙස බලා උන්නාය.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත..

"බලමු බලමු...ඉස්සරහට මොකද වෙන්නේ කියලා...අපිත් මේකේ ඉන්නවනේ තාරියෝ..."
 නිෂ්ශබ්දතාවයට හසිනිම පිලිතුරු සැපයුවාය.

කාට කාටත් වුවමනා කර ඇත්තේ තාරිකා සහ නිර්මාල් ජෝඩු කිරීමට මිස තාරිකා සහ මලිත් ජෝඩු කිරීමට නොවන බව හොඳටම පැහැදිලිය.සමහර විට සිදුවිය යුත්තේද එයයි.සැබෑ ජීවිතයේදී සිදුවන්නේද එයයි..ඔබත් කටකාර රස්තියාදුකාර ඉලංදාරියෙකු නම් ඔබ තවමත් තනිකඩව සිටීමට හේතුවද එයයි..ඔබගේ , අහිංසක ,වැදගත් මිතුරන් යුවතියන් දෙතුන් දෙනා සමග මුකුලුවද්දී ඔබ ඒ දෙස බලමින් හූල්ලමින් සිටීමට හේතුවද එයයි.අපි මේ කතා කරන්නේ සුරංගනා කතාවක් නොවන බව මම නැවතත් ඔබට කියමි.මේ කතාව තවමත් සිදුවෙමින් පවතී.ඉදිරියටත් සිදුවෙමින් පවතිනු ඇත. 

තාරිකාලා සහ හසිනිලා නිර්මාල් ගැන වදවෙද්දී රාමනාදන් ශාලාවට කිලෝමීටරයක් පමණ ඈතින් ඇති අක්බාර් පාලමේ බැම්ම උඩට වී ජ්‍යෙෂ්ඨ සිසුවෙක්ද කවුදෝ ගැන සිතමින් සිටියේය.ඔහුගේ තනි රැකීමට දෝ තවත් සිසුවෙක් ඔහුට ඉදිරි පසින් අක්බාර් පාලමේ බැම්ම මත වාඩි වී සිටියේය..

"මම කරපු වැඩේ ගැන මට හෙනම අවුල් බන්" 
පාලමේ බැම්ම තම නියපොතු අගින් සූරමින් මලිත් පැවසුවේය.

 "මොන වැඩේද?"

"අර කෙල්ලට නියපොතු වල පාට මකාගෙන එන්න කිව්ව එක"

 "ඉතින් උඹ ඒකිට සිය දිවි නසා ගන්න කිව්වේ නෑ නේ"

 "ඒ උනාට ඒකි නියපොතු ටික හූරගෙන එයි කියලා කවුද හිතුවේ.ඇඟිල්ලක් එහෙම කැපිලා ගියා නම් කෙලින්ම පොලීසි තමයි"

"උඹට බය පොලීසි යන්න වෙන එක ගැනද නැති නම් ඒ කෙල්ල නියපොතු හූරන් ආපු එකද? ...මචන් මලිත්...ඒ සජිනි නෙමෙයි බන්..දැන් වත් හීනෙන් නැගිටපන්..."

"ඒත් ඒ කෙල්ල සජිනි වගේමයි නිසල්..ඒ ගැන මට කියන්න තේරෙන්නේ නෑ.."

"ඕකෙන් නිදහස් වෙන්න මම උඹට වැඩක් කියන්නම්."

"මොකක්ද?"

"එක්කෝ උඹ අක්බාර් පාලමෙන් බිමට පැනපන් නැතිනම් ඔය පර්ස් එකේ තියෙන සජිනිගේ ෆොටෝ එක කෑලි වලට ඉරලා පාලමෙන් බිමට විසි කරපන්..."

නිසල්ගේ එම වදන ඔවුන් අතර වූ දෙබස අවසාන කිරීමට හේතු විය.

සඳ එලියවත් නැති නිසා මලිත්ගේ මුහුනේ හැඟීම් මොනවාදෝයි බලා ගැනීමට අපට නොහැකිය.ඔහු මොනවා සිතුවාදැයි ද අපි නොදනිමු.නමුත් විශ්වාස කරන්න...ඒ සිතුවිලි සහ හැඟීම් නොබලනා තරමට මේ කතාව සතුටු සිතින් අවසන් කල හැකිය..

මුහුණේ හැඟීම් කියවන්නට උත්සාහ කරනා අතර තුර තරුණයා මොකක්දෝ තීරණයක් ගත්තේය.


වෙනදාටත් වඩා උදෑසනින් රාමනාදන් ශාලාවේ 3342 කාමරයේ විදුලි බුබුලු දැල්වී තිබුනි.හසිනි අවදි වන විටත් තාරිකා ඇඳුම මදිමින් සිටියාය.

"මොකෝ මේ උදේ පාන්දරම කවදවත් නැතුව" 
දෑස අපහසුවෙන් විවෘත කරමින් නිදිගැට කඩමින් තාරිකා ඇසුවාය..

පිලිතුරු ලෙස මද සිනහවකි..

පොරවාගෙන සිටි ඇඳ රෙද්ද ගුලිකර දමා කඩි මුඩියේ නැගිට ගත් හසිනි , කාල සටහන සහිත කොලය පරීක්ෂා කර බැලුවාය..ඇයගේ මුහුණට සිනහවක් නැගුනි.

"ආ...ඒකයි මේ හොරේ...උදේම ලෙක්චර් එකට නිර්මාලුත් එනවා නේ..මම ඒත් බැලුවා උඹට අද මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.."

 "අනේ පලයන් යන්න...එහෙම එකක් නිසා නෙමේ.." 
තාරිකා එසේ පිලිතුරු දුන්නද ඇයගේ හඬේ වරදක් කර අහු වූවෙකුගේ හඬෙහි පවතින ස්වරයක් තිබුනි.

විනාඩි කිහිපයකින් කඩි මුඩියේ හැඳගත් තාරිකා කණ්නාඩි මේසය ඉදිරිපිටට ගොස් දෙවරක් පමණ හැඩ බැලුවාය.වටයක් කැරකුනාය..

"ලස්සනයි ලස්සනයි..ඉක්මණට පලයන්..අරූ බලන් ඇති...මල කෝලම්.."
 ඒ දෙස බලා සිටි හසිනි විහිළුවෙන් කීවාය..

"ඇයි? උඹ එන්නේ නැද්ද? "

"මේ ශෝට් එක ඇඳගෙන දත් මදින්නෙත් නැතුව එන්න කියලද උඹ කියන්නේ..හොඳට තියෙයි අර පොට්ටයට අහු වුනොත් එහෙම"

"හා හා...එන වෙලාවක වරෙන්..මම යනවා.."
 කාමරයේ දොර වසා දමමින්ම තාරිකා පැවසූවාය.

තාරිකා පසු පස යන්නද , නැති නම් කාමරයේ නැවතී සිටි හසිනි මොනවා කරයිදැයි ඔබට පවසන්න දැ‍යි මට සිතාගත නොහැකිය.අවසානයේ ඔබගේ කැමැත්තට ඉඩ දී කාමරයේ නැවතී සිටීමට මම තීරණය කලෙමි. 

තාරිකා කරනා හැමදේම ඔබට පැවසුවද හසිනි කරනා හැම දේම ඔබට පැවසීමට මට ලෝබය.එමනිසා ඔබව කාමරයේ දොරටත් එලියෙන් තබා මම පමණක් කාමරයේ රැඳී සිටිමි.ඇය නැවත එලියට පැමිණි වහා අපි කතාව ආරම්භ කරමු.

 පැය බාගයකට පමණ පසු යුවතිය එලියට පැමිණියාය.දම් පාට උඩු කය ඇඳුමකිනුත් සුදු පැහැ සායකිනුත් ඇය සැරසී සිටියාය.සායේ පැහැයට වඩා ඇයගේ සමෙහි පැහැය සුදු යැයි විටෙක සිතේ..

එන්න...අපි ඇය පසු පසින් යමු.යුවතිය කිසිම කරදරයක් නොමැතිව පාරේ අයිනෙන් හෙමිහිට අඩි තියමින් ඇවිද ගියාය.පෙර තිබූ විසේකාර පණ්ඩිත බව බිඳක් වත් ඇයගෙන් දිස් නොවේ.මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පීඨය පසු කර අඩි දෙක තුනක් වත් ඇයට ඇවිද යෑමට හැකියාව ලැබුනේ නැත..

"ඒයි...පොඩ්ඩක් හිටපන්"

විධානය ගණනකට වත් නොගෙන ඇය ඇවිද ගියාය.දැන් නම් ඇයගේ පණ්ඩිත කම මැනවින් පෙනේ..

"ඕයි...කියන එක ඇහෙන්නේ නැද්ද...ඔහොම නැවතියන්"

කරන්නට කිසිම දෙයක් නැති තැන ඇය පිටිපස හැරී බැලුවාය.කතා කරන්නේ කවුදැයි ඇය හොඳාකාරවම දනී.කාමරයෙන් එලියට බහිද්දී හූනෙක් වත් කෑගැසුවාදැයි ඇය සිහිපත් කලාය.

"උඹේ කන් බීරිද" 
 මලිත් ඇය වෙත ලඟා වෙමින් ඇසුවේය.

නැත කියන්නට මෙන් හසිනි හිස සැලුවාය.

"කෝ උඹේ යාලුවා..?"

"එයාට උදේම Lecture එකක් ජ්‍යෙෂ්ඨතුමා..."

"ලෙක්චර්...ගිලපිය කඩ්ඩ වචනේ..."

"අයියෝ...Sorry Sorry....එයාට උදේම දේශනයක් "

මවාගෙන සිටි සැරපරුෂ බව මලිත්ගෙන් ගිලිහී ගියේය.ඔහු විනාඩියක් පමණ සිනහසුනේය.උපැස් යුවලට යටින් කඳුලුද ගලාගෙන එයි..

පාඨකය..බිය නොවන්න..ඒවා සිනහව නිසා මතු වූ කඳුලු මිස වේදනාව නිසා මතු වූ කඳුලු නම් නොවේය.
"සොරි කියන්නේ සිංහල වචනයක් වෙන්න ඇති නේ..හරි හරි කමක් නෑ...උඹේ යාලුවගේ ෆෝන් නම්බර් එක කියපන්.එයාට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා.."

යුවතිය සිතුවාය..හැකි තරම් කල් අරගෙන සිතුවාය..තාරිකාගේ ජංගම දුරකතන අංකය මොහුට දිය යුතු නැත.කිසිසේත්ම දිය යුතු නැත.ඇය තීරණයක් ගත්තාය..

"මට එයාගේ දුරකතන අංකය මතක නෑ නේ.."

"ඇයි උඹේ ෆෝන් එකේ නැද්ද නම්බර් එක"

"මම ඒක නේවාසිකාගාරයේ දාලා ඇවිල්ලා..."

"ඒකත් එහෙමද..එහෙනම් මට උඹේ නම්බර් එක දියන්"

යුවතිය උඩ ගියාය.මෙය නම් බලාපොරොත්තු නොවූ පැනයකි.තාරිකාව බේරීමට ගොස් තමා උගුලට හසූ වේයැයි ඇය නොසිතුවාය..කුමක් හෝ කල යුතුය..

"අලුතෙන් ගත්තු ජංගම දුරකතන අංකයක් නිසා මට මගේ අංකයවත් මතක නෑ.." 

බොරු කීමට අසාර්ථක උත්සහයක යෙදෙමින් ඇය පැවසුවාය.

"හ්ම්ම්ම්..ඒකත් එහෙමද...එහෙනම් ඉතින් පලයන්කෝ.."

දෙවියන්ට පින් දී ඇය විනාඩි කිහිපයට එතනින් ඇවිද ගියාය.නමුත් අවාසනාව තවමත් ඇය සමගය..අඩි දහයක් පමණ ඇවිද ගිය පසු ඇයගේ බෑගයේ තිබූ ජංගම දුරකතනය නද දෙන්නට විය.අමතන්නාට සිතින් බනිමින් ඇය වේගයෙන් ඉදිරියට ගියාය.මීටර් 100ක් පමණ ඉදිරියට ගිය ඇය දුරකතන ඇමතුමට පිලිතුරු දුන්නාය..

"හෙලෝ..."

"හෙලෝ තමා..ඉක්මනට වරෙන් ලෙක්චර් එක තව විනාඩි 10කින් පටන් ගන්නවා.."

"ලෙක්චර් එක තමා...තව ඩිංගෙන් මම ගස් යන වැඩක් වෙන්නේ.."

"ඇයි මොකො..?"
"හිටපන් හිටපන්...ඇවිල්ලම කියන්නම්"

ඇමතුම හමාර කර ජංගම දුරකතනය ඇය බෑගය තුලට හොවා ගත්තාය.
ඇති යන්තම් අරූ ෆෝන් එක බෑග් එකේ කියලා දැක්කේ නෑ..යුවතිය දෙවියන්ට පින් දුන්නය.
 නමුත් අවාසනාවට ඇය දුරකතන ඇමතුමේ සිටිද්දී උපැස් යුවලක් පැලඳ සිටි සිසුවෙක් බයිසිකලයක නැගී ඇය පසු කර ගොස් තිබුනි...

මලිත් එක්වරම , තාරිකාගේ ජංගම දුරකතන අංකය ඉල්ලා සිටියේ ඇයි දැයි ඔබට ගැටළුවක් වනු නොඅනුමානය.මීට පෙර රාත්‍රියේ අක්බාර් පාලම උඩ දී ඔහුගේ සිතුවිලි හිතමතාම මම ඔබට නොපැවසුවෙමි.එන්න...පෙරදා රාත්‍රියේ මලිත් ගේ සිතුවිලි දැන ගැනීමට මෙය හොඳම වෙලාවයි...
තාරිකා සම්බන්ධයෙන් මොකක්දෝ අමුතුම හැඟීමක් තම සිතේ ඇති වේගෙන එන බව මලිත් දැන හුන්නේය.එය ආදරය යැයි වචන වලට හැරවීමට ඔහු තවමත් ඉක්මන් වැඩිය.සියල්ල සිදු කිරීමට පෙර ඔහු තාරිකාගෙන් සමාව ගත යුතුය.ඒත් කෙසේද? .. මුහුණට මුහුණ හමු වී සමාව ගැනීම මේ අවදියේ සිදු නොකල යුතුය.තමා තාරිකාගෙන් සමාව ගත්තා යැයි සැල වුනොත් සම වයස් මිතුරන් සමඟ ප්‍රශ්න ඇති වීමට හොඳටම ඉඩ තිබේ..එසේ නම් කාටත් හොරා තාරිකාගෙන් සමාව ගත යුතුය..නමුත් එය සිදු කරන්නේ කෙසේද?..තාරිකාගේ ජංගම දුරකතන අංකය ලබා ගත හොත්...අවසානයේ මලිත් තීරණයක් ගත්තේය.

පසුදා උදෑසන රාමනාදන් ශාලාව ඉදිරිපිටට ඔහු පැමිණෙද්දීත් තාරිකා රාමනාදන් ශාලාවෙන් පිටත් වී පැය භාගයකටත් වඩා ගත වී ගොස්ය. අවසානයේ ඇයගේ මිතුරිය රාමනාදන් ශාලාවේ දොරටුවෙන් එලියට බසිනු දුටු ඔහු කල යුතු හොදම දෙය ක්‍රියාවට නැගුවේය.එතැන් පටන් සිදු වූ සියල්ල ඔබ දැන් දනී..

නැත...ඔබ නොදන්නා තවත් දෙයක් ඇත..
අක්බාර් පාලමට යටින් ගලාගෙන යන මහවැලි ගඟේ කාගෙදෝ ඡායාරූපයක ඉරී ගිය කොටස් කිහිපයක් දිය සුලි වලට හසු වී ඒ මේ අත කැරකැවෙමින් තිබුනි.

------------------------------------------------------------------
 මතකය -

පෙබරවාරි 18 වෙනිදා ආයේ කැම්පස් පටන් ගන්නවලු.ගෙදර ආවා විතරයි ආයේ කැම්පස් එක පැත්තට යන්න මහාම කම්මැලියි..ඒක කම්මැලි කමකටත් වඩා දුකක් කියලා හිතෙනවා..ඔක්කොම අත ඇරලා දාලා ගෙදරට වෙලා නිදාගන්න තියෙනව නම්,...මම කොට්ටෙකුත් තුරුල් කරන් ඇදට පැන්නා.....

"යූ ආර් මයි පම්කින් පම්කින්...හෙලෝ හනී බනී...."

  අයියෝ....නින්ද යාගෙන එද්දිම ෆෝන් කට්ට කෑ ගහනවා..මේක නම් මහාම වදයක්...ඕනවට එපාවට ෆෝන් එකේ තිරය දිහා බැලුවා...
හුටා.....ඉශාරා......ඒත් කතා කරන්නේ නෑ කියලා කියපු මෙයා මොකද ආයේ කතා කරන්නේ...
ෆෝන් එක ආන්සර් කරනවද නැද්ද කියලා හිත හිත ඉඳපු මම ඕන කජ්ජක් වෙන්න කියලා ෆෝන් එක ආන්සර් කරා...

"ඇයි" 

"ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ සහන් අයියා"

"මට...මට ගිය සතියෙ නම් ලාවට හෙම්බිරිස්සාව හැදිලා තිබුනා.ඊට පස්සේ චංගුමීට කියලා බෙහෙත් ටිකක් ගත්තා...ඒක නිසා දැන් නම් අවුලක් නෑ"

"විහිළු කරලා හැඟීම් හංගන්න හදන්නෙපා අයියේ"

"සමහර හැඟීම් එලියට පෙන්නලා අනිත් මිනිස්සුත් අඬවලා මාත් අඬනවට වඩා ඒවා හංඟගෙනම ඉන්න එක හොඳයි නංගි.ඉතින් කියන්න...ඇ‍යි කෝල් කරේ..."

"ඇයි ‍අයියේ අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ..ඇයි බ්ලොග් එකේ ලියන කතාව ඔයාගෙම කතාව කියලා කිව්වේ..."

"ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඒක මගේම කතාවනේ..."

"ප්ලීස් අයියේ...ඒක නවත්තන්න...."

"ඇයි..? මම බොරුද ලියන්නේ? "

"බොරු නෙමේ...ඒ හැමදේම ඇත්ත...ඒත් ඔයාගේ බ්ලොග් එක කියවලා මට අඬ අඬ ජීවත් වෙන්න බෑ.."

"එහෙනම් ඒක කියවන්නේ නැතුව ඉන්නකෝ නංගි..ඔයා යන්න පොත් කඩේකට..ගිහින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා පොතක් අරන් කියවන්න...කියවලා බෝයි ෆ්‍රෙන්ඩ් කොල්ලටත් කියවන්න දෙන්න..ඊට පස්සේ දෙන්නා එක්ක සතුටින් ඉන්න...හොඳේ....මම තියනවා...බුදු සරණයි"

"අනේ සහන් අයි.."

එහා පැත්තෙන් බෙරිහන් දෙන සද්දේ ඇහුනා..මම මොකටද අප්පා කවුරුවත් කියන මල ඉලව් කතා අහන්නේ..නැද්ද....මේන් මේ විදිහට හිනා වෙලා ඉන්න නේ තියෙන්නේ...

එහෙම හිතලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් හිනා වුනා..චැක්...වැඩක් නෑ...මවා ගත්තු හිනාවක් කියලා පේනවා...

"යූ ආර් මයි පම්කින් පම්කින්...හෙලෝ හනී බනී.."

ආයේ මේ මගුලේ ෆෝන් එක රින්ග් වෙනවා..මේ කෙල්ල මගේ ආදරෙත් ගානකට වත් ගන්නෙ නැතුව මගේ කතාවටත් සීමා දාන්න එනවා..මේ කෝල් එක විතරක් ආන්සර් කරලා නම්බරේ බ්ලොක් කරලා දානවා..එහෙම හිතලා ආයේ ෆෝන් එක ආන්සර් කරා...

"අනේ පින් සිද්ද වෙයි නංගි..ඔයා මොනව කිව්වත් මම ලියන එක නවත්තන්නේ නෑ..ඒක නිසා වද නොදි ඉන්නකෝ.ප්ලීස්.."

"හෙලෝ...සහන් අයියා...මම හසිනි හලෝ...."

හුටා...නම්බර් එක බැලුවේ දැන්... Unknown නම්බර් කියලා වැටිලා තිබුනා..
යකෝ....නම්බරේ දෙන්න බෑ කියපු කෙල්ල මගේ නම්බර් එක හොයාගෙන මටම කෝල් කරනවා...

"සහන් අයියා...ඔයා ලියන කතාව මරු හොඳේ.."

"අනේ මැඩම්...ඔයාගේ බටර් පාර මට එපා හොඳේ

"ඇත්ත කිව්වේ හලෝ...කතාව හොදයි...ඒත්"

"මොකෝ බං ඒත්?, කියන්න එපා ඉතින් ඉශාරා පව්...එයාට පාඩුවේ ඉන්න දෙන්න...ඔයා කතාව ලියන එක නවත්තන්න කියලා..එහෙම උනොත් ඉතින් ඔයාටත් මගෙන් සැර පරුෂ වචන අහගන්නයි වෙන්නේ"

"අනේ නෑ නෑ...ඔයා දිගටම ලියන්න..ඒත් මගේ ගැන අරෙහෙම ලියන්න එපා අයියේ"

"අරෙහෙම කිව්වේ කොහොම?"

"පඩත්තල කෙල්ල, පණ්ඩිත කෙල්ල තව අර අනම් මනම් ලියන්නේ...අනික මම කවදාවත් ඔයාට පොට්ටයා කියලා කිව්වේ නෑ නේ..."

"හරි හරි ඕයි...ඒක නිකන් කතා රසය ඉස්මතු කරන්න ලියන්නේ..නැතුව තමුසෙට අපහාස කිරීමේ අපිරිසිදු චේතනාවෙන් නෙමේ"

"දැනටමත් අපේ ෆැකල්ටියේ හැම එකාම ඔය කතාව කියවනවා..ඉතින් ඔයා ඔය විදිහට මගේ චරිතෙ ඝාතනය කරාම කොල්ලෙක් වත් මගේ දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නේ"

"අනේ ඉතින් ඇහැක් ඇරලා බලන්න මාර ලස්සන කෙල්ල නේ"

"ඇයි ලස්සන නැද්ද?"

"ඇයි..තමුසේ ඉන්න හොස්ටල් එකේ කණ්නාඩියක් නැද්ද? බලනවකෝ හැටි"

"අනේ මේ....යනවා යන්න පොට්ටයා..."

"පොට්ටයා.කවුද යකෝ පොට්ටයා..."

"අනේ සොරි..ඒක හිතලා කිව්වේ නෑ..."

ඊට පස්සේ බ්ලා බ්ලා බ්ලා...

තව මොන මොනවදෝ කතා කරා..විනාඩි පහලවක් විතර..ඒක තමා මම කෙල්ලෙක් එක්ක කතා කරපු දිගම ෆෝන් කෝල් එක.

Saturday, 19 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්(තෙවන කොටස) - "ඒයි...තාරවා..ඔහොම නැවතියන්"

හන්තාන දෙසින් උදෑසන හිරු කිරණ විශ්ව විද්‍යාල භූමියට වැටෙමින් තිබුනි.කියවන ඔබට නම් මෙය කතාවේ අලුත් කොටසකි.තාරිකාට නම් එය එසේ නොවුනි..ඇය බියෙන් තැතිගෙන තිබුනි.වෙනදාට හිමිදිරි උදයේම අවදිවන ඇය , අද අවදි වූයේ හසිනිගේ කෑ ගැසීම හමුවේය.

"තාරිකෝ....නැගිටපා...න්...."

 ඔළුවේ සිට පොරවාගෙන සිටි රෙද්ද දෑතින්ම ඇද දමමින් හසිනි කෑගැසුවාය.මේ කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය.කතාවේ චරිතයක් නිසා ඇය ගැන ලියමි. නැතිනම් මෙවැනි පණ්ඩිත කෙල්ලන් මම ගණනකටවත් නොගනිමි...

හිරු එලියට එකවරම දෑස නිරාවරණය වූ නිසාදෝ තාරිකා දෑස් පුංචි කර වටපිට බැලුවාය.

යුවතියක් උදෑසනම අවදිවනු ඔබ දැක තිබේද? පිලිතුර "ඔව්" නම් ඇයගේ කොණ්ඩය අවුල්වී ගොස් තිබිය යුතුය,දෑස් යට ගොස් මුව දෙපස සුදුමැලි වී තිබෙනු ඔබ දකින්නට ඇත.පිලිතුර "නැහැ" නම් ඔබ වාසනාවන්තය...ඒ දසුන එතරම්ම බියකරුය..
එම හැඟීමෙන්ම අපි තාරිකා දෙස බලමු...

සමාවන්න..කතාව ලියනා මටද වැරදී තිබේ...සෑම යුවතියක්ම එසේ නොවේ යැයි කිව යුතුය..ඇයගේ කොණ්ඩය පිළිවලය...දෑස් දීප්තිමත්ය... යුවතිය පියකරුය..නින්දෙන් අවදිවෙද්දී පවා ඇයගේ වෙනසක් නැත.එය ස්වභාවික සුන්දරත්වය විය යුතුය...ඊට වඩා දෙයක් මම නොදනිමි..ගෑණු ළමෝ සම්බන්ධයෙන් මම වියතෙකු නොවෙමි...වල්පල් දෙඩෙව්වා හොඳටම ඇතිය..අපි කතාවට යමු...

"මොකො...ගෙදර කියලා හිතුවද..ඉක්මණට නැගිටලා මූණ සෝද ගනින්..."

තාරිකා සිනහසෙමින්ම ඇඳෙන් බිමට පැන්නාය..
"මූණ සෝදගන්න කලින් ඇඟිලි සෝදන් ඉන්න වෙයි."

මේසය මත තිබූ කුඩා කුප්පියක් අතට ගත් ඇය එයින් ටිකක් රෙදි කැබැල්ලකට ගෙන නියපොතුවල තවරා තදින් පිරිමදින්න වූවාය..

"ඕයි මැට්ටි...ඔච්චර තදට උලන්න ඕන නෑ..."
නැවතත් පණ්ඩිත කටින් පණ්ඩිත වදනක් පිටවුනේය..

"බෝතලේ අන්තිම ටික තියෙන්නේ...අත් දෙකේම යවන්න පුළුවන් වේවිද දන්නෑ.."
 තාරිකා බියෙන් පිලිතුරු දුන්නාය...

විනාඩියක් දෙකක් පමණ යුවතියෝ ඔවුනොවුන්ගේ වැඩ වල නිරත වූවෝය.
"හරියන්නේ නෑ හසිනි...ඇඟිලි හතරක ඒවා යවන්න බෑ...බෝතලේ ඉවරයි"
උත්සාහය අත හරිමින් ඇය කීවාය...

"අද නම් උඹ ඉවරයි තාරි....අර පොට්ටයට අහු නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා එලියට බැහැපන්.."
මාගේ ඉවසීමේ සීමාවක්ද තිබේ..මේ කෙල්ල නම් ඕනෑවට වැඩිය..මම නැවතත් එසේම කියමි.මේ පණ්ඩිත කෙල්ල නම් ඕනෑවට වඩා වැඩිය....කන්ණාඩි දැමූ පලියට ඔහුට පොට්ටයෙකු යැ‍යි කීම කෙතරම් අසාධාරණද??

"ම්ම්ම්ම්...හසී....ඔයා ලඟ බ්ලේඩ් එකක් තියෙනවද?"
මද වේලාවක් කල්පනා කරමින් සිටි තාරිකා ඇසුවාය...

"ඔව්..ඇති...මොකටද?"

"කෝ දීපන්කෝ.."

බ්ලේඩ් තලයත් රැගෙන තුවායත් පොරවාගෙන යුවතිය නානකාමරයට ඇතුලු වී දොර වසා ගත්තාය,..ඇතුලට යාමට අපට අවසර නැත..මම ඔබට නැවත මතක් කරමි..මෙය කාන්තා නේවාසිකාගාරයකි...අප මේ දැනුත් රැදී සිටින්නේ අනවසරයෙනි.ඉතින් අපි නාන කාමරයක් ඇතුලට කෙසේ රිංගමුද...

එන්න...අපි ඕනෑ තැනක ඇවිදිය හැකි පිරිමි නේවාසිකාගාරයක් වෙත යමු...

 "එපා වෙනවා බං සපත්තු දාලා ශර්ට් යට කරලා අඳින්න ගියාම..ඒ මදිවට අත් කොට ශර්ට්..තෙල් ගාලා ඔලුව පීරන්නත් ඕන...නිපුන් ,ඔන්න ඔය කලිසම මෙහාට විසි කරපන්."

පාවී ආ කලිසම එක් අතකින් අල්ලා ගත් නිර්මාල් හනි හනිකට එය හැඳගත්තේය.එය ඇදගන්නා තුරු අපි අහක බලා සිටිමු.පිරිමි අපිට නම් ඒ දසුන් ගනන් ගත යුතු නැත.නමුත් මේ කතාව යුවතියන්ද කියවයි.ඔවුන් මේවා දුටුවහොත් හොද නැත්තේ නිර්මාල්ටමය.කලු පාට කලිසමට නිල්පාට අත්කොට කමිසය යට කර තෙල් ඩිංගක් ගා හිසද පීරාගත්තේය. කන්ණාඩිය ඉදිරිපිටට ගොස් වරක් දෙවරක් හැඩ බැලුවේය.කන්ණාඩි පාවිච්චි කරන්නේ යුවතියන් පමණක්ම නොවේ..නැතිනම් පිරිමි නේවාසිකාගාර වල කන්ණාඩි දෙක තුන බිත්ති වල එල්ලා තිබෙන්නට විදිහක් නොමැත.

"ඔක්කොම හරි..දැන් පලයන්කෝ නාදන් එකට කෙල්ලො ටික පරිස්සම් කරගෙන එක්කගෙන එන්න..."

නිපුන් ඇසක් ඉඟිකරමින් පැවසුවේය.නවක වදය කාල සීමාව තුල බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කාලය වන්නේ මෙය බව මම තරයේ විශ්වාස කරමි.. 

හැඳ පැලඳ ගැනීමෙන් පසු අක්බාර් ශාලාවේ රැඳී සිටිය සියලුම පළමු වසර සිසුන් රාමනාදන් ශාලාව වෙත පෝලිමේ පැමිණියෝය.යුවතියකගේ අතින් අල්ලාගෙන පීඨය වෙත පිය නැගීම ඊලඟ කාර්යයයි.පියකරු යුවතියකගේ නම් අත තවත් ඉලංදාරි අතක් සමඟ එකතුවීමට ගතවන්නේ තත්පරයෙනුත් පංගුවකටත් වඩා අඩු කාලයකි.පැමිණ සිටින ඉලංදාරි රැල ඇස් ඒ මේ අත යවමින් ලස්සන ලස්සන යුවතියන් දෙස ඇස් බෝල කරකවමින් සිටියෝය.අවාසනාවකට තාරිකා පියකරු යුවතියක් වූවාය...ඉතින් කුමන කතාද...ඇස් බෝල කිහිපයක් එක එල්ලේම ඇය දෙස යොමු වී තිබුනි.


තාරිකාගේ අතේ නම් කවුරුන් හෝ එල්ලෙනු ඇත.එතෙක් අපි හසිනි සිටින්නේ කොයිබදදැයි සොයමු...ඇයත් කාගේදෝ අතක එල්ලී සිටියාය...හසිනි ගැන සොයා බලනා ඒ සුලු මොහොතට නිර්මාල් තාරිකාගේ අත ගෙන සිටියේය.හසිනි ගැන මෙතරම් උනන්දුවෙන් සොයන්නේ කියදැයි මම නොදනිමි.මේ කතාව අතීතයේදී ලිව්වා නම් හසිනි යනු තාරිකාගේ යෙහෙලිය පමනක්ම යැයි ලිවීමට ඉඩ තිබුනි.ඒත් වර්ථමානය සලකද්දී හසිනි ගැන මොකක්දෝ අමුත්තක් දැනේ.ඇය පියකරුය..හෙන විසේය...දගය...කතාව ලියනා මාගේ සිත ඇද ගැනීමට තරම් හසිනිගේ චරිතය ප්‍රබහල වී තිබේ...ඇය ගැන මීට පෙර සොයා නොබැලීම ගැන මම මටම දොස් පවරා ගත්තෙමි.කතාව අතර තුර මම ඔබට නැවත යමක් මතක් කරමි..සෑම ප්‍රේම කතාවකම මෙන්,මේ කතාවේදේ කතා නායිකාවගේ යෙහෙලිය තනිකඩය...
පාඨකය....අපි තාරිකා ගැන සිතීම අත හැර ඇයගේ යෙහෙලිය ගැන සිතීමට පටන් ගනිමුද??

අපි නැවත නිර්මාල්ලා දෙස හැරෙමු.පලමුව නිර්මාල්ගේ  මුහුණේ මද සිනහවකි, තාරිකාගේ මුහුණෙහි පෙරලා කරන සිනහවක් සේයාවකි.....ඉන්පසු ඉතින් පුරුදු ලෙසම ප්‍රථම හමුවීමේ සුන්දර මතක සටහන් කතා කරනු ඇත..
එය සිදුවීමට පෙර මා ලියන්නේ කෙසේ දැයි ඔබ සිතනු ඇත..මීට අවුරුද්දකට පෙර මමද ඔය සිදුවීම් පෙල ඔය ආකාරයටම පසු කලෙමි..

"ඉතින්...කොහොමද?" 
නිර්මාල් කතාව ආරම්භ කලේය..

"හොඳයි...අදත් අපි දෙන්නා එකට දැක්කොත් මාර වැඩේ නේ.." 
තාරිකා නිර්මාල්ට අකමැතිද? එසේත් නැති නම් එය ප්‍රකාශ කලේ බිය නිසාදැ‍යි මම නොදනිමි...

මහාචාර්‍ය එදිරිවීර සරස්චන්ද්‍ර එලිමහන් රංග පීඨයත් , හාදු වංගුවත් , කලාගාරයත් පසු කරමින් ඔවුන් පාගමනින්ම පීඨය දෙසට ඇවිද ගියෝය.

එකිනෙකා පසුපස එකිනෙකා සේ අතින් අත අල්ලාගෙන ගැහැණු හා පිරිමි ළමෝ දෙසිය ගණනක් පාරේ ගමන් කිරීම වෙන තැනක සිදුවූවා නම් විවිධ අය විවිධ කතා කියනු ඇත.නමුත් මේ කාල සීමාව තුල පේරාදෙණියට විශ්ව විද්‍යාලයට නම් එය අරුම පුදුම දසුනක් නොවීය.

තාරිකාටත් , නිර්මාල්ටත් ඕපාදූප කතා කරන්නට දී මම ඔබට වෙනම දෙයක් කීවේ හිතාමතාමය.ඔවුන්ටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතුය..සමහරවිට ඉදිරියට මෙය ඔවුන්ගේම කතාවක් වනු ඇත...

"ඒයි...තාරවා....ඔහොම නැවතියන්"
 සමාවන්න...මෙය ඔවුන්ගේම කතාව වීම ගැන සැක සහිතය..

කොහෙන්දෝ පැමිණි කටහඬක් තරුණ යුවල එක තැන නතර කිරීමට සමත් විය..මලිත් හෙවත් පොට්ට ජ්‍යෙෂ්ඨ සිසුවා ගැන අපට අමතකම වී ගොස් තිබුනි..මෙම කතාව ඔහු නැතිව ලියන්නට බැරුවා සේය.

මලිත් , නිසල් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙක් තරුණ යුවල වට කර ගත්තෝය.

"ඒයි...කෝ උඹේ අත් වල සායම් ටික මකාගෙන ආවද?"
 එකෙක් තාරිකා දෙස රෞද්‍ර බැල්මක් හෙලමින් ඇසීය..

ඔව් කියන්නට මෙන් තාරිකා දෙවරක් හිස ඉහල පහල ගෙනිච්චාය...

"උඹේ නෝන ගොළුයිද? " 
එවර බැල්ම එල්ල වූයේ නිර්මාල් වෙතටය..

මේ බිය ජනක අවස්ථාවේ වුවත් තාරිකාට තමාගේ "නෝනා" යැයි ඇමතීම ගැන නිර්මාල් , හිත ඇතුලෙන් මොකක්දෝ ආශ්වාදයක් වින්දේය..එය කොලු කමද එසේත් නොමැතිනම් වෙනත් හැඟීමක්ද යන්න පැවසීමට මම තවමත් ඉක්මන් වැඩිය.

"මකාගෙන ආවා" 

නිර්මාල් අපහසුතාවයට පත් වී සිටිනු දුටු නිසාදෝ තාරිකා කතා කලාය..

"කෝ පෙන්නපන්" 
එවර නම් මලිත් කතා කලේය...

දෑත පෙන්නන්නට වෙන්නේ තමා අප්‍රිය කරනම ජ්‍යෙෂ්ඨ සිසුවාටය...ඔහු දෑතින් අල්ලා බැලුවොත්!! තාරිකා කිලිපොලා ගියාය..

"මොකද බකමූණියෙක් වගේ බලන් ඉන්නේ..අත් දෙක පෙන්නපන්.."

යුවතිය හිතට වීරිය ගෙන දෑතම මලිත් දෙසට දික් කලාය..

"ඒ..මේකි මකාගෙන ඇවිල්ලා...අන්න එහෙම ඉඳපන් මේකේ ඉන්නව නම්.." 
තාරිකාගේ දෑත් දෙස බලමින් නිසල් පිලිතුරු දුන්නේය...

අනෙක් අයට නොපෙනුන කුමක් දෝ දෙයක් , උපැස් යුවලක් පැලඳ සිටි දෑසක් දුටුවේය.එය ඔහුගේ හිත පතුලටම කිඳා බැස්සේය..සමහර විට...ඔව්..සමහර විට අද හවස ඔහු එය යුවතියට පවසනු ඇත..මම ඉක්මන් නොවී ඉඳිමි...

"ඒ තාරාවා නංගි...ඔය කණ්නාඩි දාන ජ්‍යෙෂ්ඨතුමාගෙන් අහපන් කෙල්ලෙක්ට, එයාගේ පර්ස් එක ඇතුලට ෆොටෝ එකක් විදිහට යන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියලා " 
එකිනෙකා අපහසුතාවයට පත් කර ගැනීම තම කණ්ඩායම ඇතුලේද සිදුවිය හැකිය. තම සගයන් ඉදිරියේ මලිත්ව අපහසුතාවයට පත් කරනු වස් නිසල් ඇසුවේය.. 

 තාරිකා බිය වී සිටියාය...ඇය එය ඇසුවොත් මලිත්ගෙන් තවත් රැග් වීමට සිදුවනු ඇත..ඇසුවේ නැතොත් අනෙක් පිරිසෙන් රැග් වීමට සිදුවනු ඇත.ඇය අසරණය.අහිංසක යුවතියට මේවා තවත් දරා ගැනීමට හැකියාවක් නැත්තා සේය.

"පිස්සු නැතුව ඉඳපල්ලා...නංගි උඹ පලයන්" 

මලිත් සැබැවින්ම අපහසුතාවයට පත් වී සිටියේය..විහිළුවකට උවත් ගත යුත්තක් තිබේ..නමුත් සජිනි ගේ ඡායාරූපය විහිළුවට ගැනීම ඔහු නොරිස්සුවේය...ඔහුටත් නොදැනිම දකුණු අත පසුම්බිය කරා ඇදී ගියේය.

"නෑ නෑ...උඹලා කොහේවත් යන්නේ නෑ...අහපන්!! දැන්ම අහපන්,,නැතිනම් අපි අස්සවන්නම්.."
අනෙක් සිසුන්ද නිසල්ට සහයෝගය පලකිරීම උදෙසා යුවතියට තර්ජනය කලෝය..ඇය වඩ වඩාත් නිර්මාල්ගේ දෑත තද කරගත්තාය..කුමක් හෝ කල යුතුය..අවසානයේ එය ඇසීමට තාරිකා තීරණය කලාය...

"ජ්‍යෙෂ්ඨතුමාගේ මුදල් පසුම්බියට ඡායාරූපයක් විදිහට ගෑණුළමයෙක්ට ඇතුලු වෙන්න නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්?"

මට ඔබට එක් දෙයක් කීමට අමතක වී තිබුනි..නවක වදය කාල සීමාව තුල නවක සිසුන්ට ඉංග්‍රිසි වචන කතා කිරීම තහනම්ය..ඉතින් දන්නා සිංහලෙන් කියන දෙයක් කිව යුතුය..

ප්‍රශ්නයට පිලිතුරු ලෙස මලිත් සිනහසුනේය.එය මවා ගත් සිනහවක් බව තාරිකාට පවා තේරුම් ගියාය.හැඟීම් හංගාගෙන සිටීම අතින් නම් ඔහු දුර්වලයෙකි..ආදරයක් සඟවා ගැනීමට නම් ආදරය කර පලපුරුද්දක් තිබිය යුතුය.ඒ අතින් මලිත් පුරුදුකාරයෙකු නොවීය.ඔබටත් මේ ආකාරයටම මතකය ඔච්චම් කර තිබෙනු ඇතැ‍යි මම සිතමි.කුමන සරදම ඉවසුවද මතකයේ සරදම ඉවසා සිටිය නොහැකිය.අමතක කල නොහැකි කෙනෙකු හා සම්භන්ධ සෑම පුංචි දෙයක්ම එක් අවස්තාවකදී කදුලු බිංදු ලෙස ශරීරයෙන් එලියට පනිනු ඇත.එය මතකයේ ස්වභාවයයි..අමිහිරි ප්‍රේමණීය මතකයේ ස්ව්භාවයයි..මේ ලියන මොහොතේ මමද කදුලක් පිස දමමි...ඔබට එය නොපෙනේ..උපැස් යුවලක් පැලදීමේ වාසිය එයයි.

"ආ...එයා කියන එකක් නෑ...මම කියන්නම්...එකම සුදුසුකම තමා මේ ජ්‍යෙෂ්ඨතුමා ඒ ගෑණුළමයට අම්බානෙක ආදරේ කරලා තියෙන්න ඕන..ඒ ගෑණුළමයා ආදරේ කරත් නැතත්,ඒ ගෑණුළමයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉඳියත් , මෙයා එයාට ආදරේ කරලා තියෙනව නම් , පර්ස් එකට ෆොටෝ එකක් විදිහට යන්න පුලුවන්
...හරි...දැන් කියපන් දෙන්නත් එක්කම මම කියපු එක ආයේ සැරයක්" 
නිසල් නැවත විධානයක් දුන්නේය...

තරුණ යුවල අසරණව ගොස්ය..මලිත් ඊටත් වඩා අසරණව ගොස්ය.මොන දෙයක වුවත් අමතක කල නොහැකි දෙය වන්නේ මතකයයි.ඒ මතකය අකුණු පහරක් සේ ඔහු ඉදිරියේ ආලෝකමත් වෙමින් තිබුනි...දැන් ඔහුට තාරිකා පෙනෙන්නේ තාරිකා ලෙස නොවේය..ඇය දැන් ඔහුට සජිනි වූවාය.තාරිකාගේ දෑතේ වෙලී සිටි නිර්මාල් ඔහුට පෙනුනේ.....
සමාවන්න....එතනින් එහාට කතාව ලියාගෙන යාමට මට නොහැකිය....මලිත්ට මැවෙනා රූපයන් මා ඉදිරියේද මැවේ...මා ලියන්නේ මාගේ කතාව නොවන බව පුන පුනා කීවත් යමක් හංගාගෙන ලිවීම අපහසුය..මේ කතාවත් මගේ කතාවත් මටද පැටලීගොස් තිබේ..කතා දෙකම එකක් නම්, එසේ නම් මෙය ලියාගෙන යෑම තවත් අපහසුය..කෙසේ වුවද මා තීරණයක් ගතයුතුය.මේ කතාවන් කාගේ දැයි වෙන් වෙන්ම ඔබට පැවසිය යුතුය.ඔබව තවත් පටලවා දැමීම මට ඇවසි නොවේ.

මතකයන් සියල්ල ඇඳී , මැකී යද්දී තාරිකා සහ නිර්මාල් අදාල ප්‍රකාශය කර අවසන් කර තිබුනි...

"හ්ම්ම්...පලයල්ලා පලයල්ලා...." 
නිසල් හෝ වෙනත් කෙනෙක් කියූ නිසා තරුණ යුවල ඉක්මණින්ම එතැනින් පැනගත්තෝය..

කාලය හෙමින් හෙමින් ගතවුණි...වේලාව අපිටත් හොරා ගොස් තිබේ..දේශන වලට සහභාගී වීම නිසා නවක සිසුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන්ද කාර්යබහුල වී තිබුනි..

හිරු බැස යෑමට ආසන්න වෙද්දී නිර්මාලුත් තාරිකාත් නැවත මුනගැසුනෝය.එය නිර්මාල් කලින්ම සිට සැලසුම් කර තිබුනු නිසාද එසේත් නැතිනම් අහම්බයක්ද යන්න මම නොදනිමි...යුවල විශ්ව විද්‍යාල ක්‍රීඩාපිටිය මායිම්ව ඇති පාරේ වල් පල් දොඩවමින් ඇවිද ගියෝය..

"ඒයි ඔහොම නවතිනවා.."

නැවතත් පෙර පරිදිම විධානයක් ඇසුනි..පෙර පරිදිම නැවතීමක් සමඟ ආපසු හැරී බැලීමක්...ජ්‍යෙෂ්ඨ සිසුන් 10ක් 12ක් දැක ගැනීමේ අරමුණින් පිටුපස හැරී බැලුවද උපැස් යුවලක් පැලඳගත් එක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් පමණක් පිටිපස සිටියේය...

"තමුසෙගේ ඔළුව හොඳ නැද්ද නංගි?"

බිඳක්වත් පමා නොවී මලිත් ප්‍රශ්න කලේය.. මොහු පැමිණ සිටින්නේ උදෑසන සිදු වූ දෙයට පලිය ගැනීමට විය යුතුය..තාරිකා සියලු දෙවි දේවතාවුන්ට පින්දුන්නාය..ඇය ගොලුවූවා නම් යැයි සිතුවාය...මේ මොහොතේම බස් රථයක නැගී ගෙදර යාමට ඇත් නම් යැයි සිතුවාය..ඇයට සිතුනු හැම සිතුවිල්ලක්ම මා දන්නේ කෙසේ දැයි මගෙන් නොවිමසන්න...මා එය ඉදිරියට ඔබට කියමි..එතෙක් ඉවසා සිටින්න...

"කතා කරනවා..."

"මම වැරැද්දක් කරේ නෑ ජ්‍යෙෂ්ඨතුමා..එයාලා මට කරන්න කියපු දේ තමා මම කරේ" 
යුවතිය බියෙන් පිලිතුරු දුන්නාය...නිර්මාල් ඇය අසලින් සිටීම ගැන එක් අතකට ඇය සතුටුවූවාය.

"ඒක ගැන නෙමේ ඕයි මම අහන්නේ...නියපොතු වලට කරපු දේ ගැන මම අහන්නේ.ඇයි නියපොතු හීරුවේ..?."
 අහා...එසේ නම් මොහු එය නිරීක්ෂණය කර තිබේ..අපිටත් වඩා , කොටින්ම නිර්මාල්ටත් වඩා මේ උපැස් යුවල පලඳින සිසුවා යුවතිය ගැන සංවේදී වී තිබේ..එය එසේ වූයේ පසුම්බියේ වූ ඡායාරූපය නිසාද එසේත් නැති නම් වෙනත් හේතුවක් නිසාද..පිලිතුර මම දනිමි..නමුත් අද කතාවෙන් මම එය ඔබට නොපවසමි...යොවුන් ප්‍රේම කතාවල කුතුහලය තිබෙනා තරමට ඒවා පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී.

"කියුටෙක්ස් Remover එක ඉවර උනා...ඉතින් Blade එකකින් හූරලා යැව්වා.."

 "කියුටෙක්ස් ,Remover , Blade ?? ගිලපන් කඩ්ඩ වචන ටික ඔක්කොම" 
ඇයට බුරුලක් දීමට මලිත් කොහොමටවත් කැමති නැත..ඔහුද ගානකට වැඩිය..මෙවැනි සුන්දර යුවතියකට මේ ආකාරයට කතා කිරීම ගැන ඔහු පසුතැවිය යුතුය.

"නියපොතු ආලේපේන ඉවත්කරණය ඉවර වෙලා තිබුන නිසා මුවහත් තලයකින් ආලේපන ඉවත් කරා"

"අන්න එහෙම වරෙන්..."

මලිත් සිහින් සිනහවක් මුවට නගා ගනිමින් පැවසුවේය..

"යකෝ.මෝඩියේ....කරන්න කියන පලියට හැම වැඩක්ම කරන්න එපා..බ්ලේඩ් එකෙන් හූරද්දී ඇඟිල්ලක් එහෙම කැපුන නම්?..ඔයිට වටා හිතලා වැඩක් කරපන්.නැති නම් අපිටයි පොලීසි යන්න 
වෙන්නේ.හ්ම්ම්ම්....දැන් පලයන්"

 ඔහු එය කීවේ පොලිසි යෑමට බියෙන්ද , එසේත් නැති නම්!!! එය අපිට ප්‍රශ්නයක් වූවාට තාරිකාට නම් ප්‍රශ්නයක් නොවීය..එතනින් ගැලවී යෑම ගැන ඇය දෙවියන්ට පින් දුන්නාය...

මද දුරක් ඇවිද ගිය පසු නිර්මාල් ඇයගෙන් අහන්නේ නැතිවම යුවතියගේ දෑතින් අල්ලා ගත්තේය..ඉන් පසු තම අතින් ඇයගේ දෑඟිලි පිරිමැද්දේය.

"ඔයාට නම් පිස්සු තාරි..මමත් දැනුයි දැක්කේ..." ඇයගේ නියපොතු වලට සිදුවී ඇති දෙය දැකීමට මෙතරම් වෙලා යෑම ගැන නිර්මාල් තමාටම දොස් පවරා ගත්තේය.තමා ඉස්සර වුනේ නම් ඒ ලකුණු ටිකත් වැටෙන්නේ තමාට බව ඔහු දැන හුන්නේය.
තාරිකාට තාරි කියන තරමටත් , ඇයගේ දෑතින් අල්ලන තරමටත් නිර්මාල් දැන් ඇයට ලංවී සිටියේය..කුමක්දෝ හේතුවකට යුවතියද ඒ ගැන කිසිවක් කියුවේ නැත.

මේ කතාව කියවන ඔබ නිර්මාල් , තාරිකාට ලං වීම ගැන දුක් වෙන්නේ මන්දැයි නොදනිමි..හේතුවක් ඇති නම් එය මලිත් විය යුතුය...
නමුත්.....මලිත්??
මලිත් යනු කවරෙක්ද????

 -----------------------------------------------------------------------------------------

මතකය

බඩු ටිකත් පැක් කරගෙන ගෙදර යන්න මම 1.20ට බදුල්ලේ ඉඳලා කොළඹ යන කෝච්චියේ නැග්ගා..මේ කෝච්චියේම මමයි ඉශාරයි එකට ගෙදර ගිය හැටි මතක් වෙනවා..මේවා බ්ලොග් එකේ ලිව්වම හෙට උදේටත් මට කෝල් එකක් ඒවි..ඒත් කරන්න දෙයක් නෑ..මම ලියන්න අරන් ඉවරයි..මීට මාස හතරකට විතර කලින් මේ බදුලු කෝච්චියේම ඉශාරත් එක්ක ගෙදර යන්න ගියපු අන්තිම දවස ගැන මතක් වෙනවා..සමහර විට මේ මතකය කියන කෑල්ල තියෙන්නේ ඒවා ලියන්නම වෙන්න ඇති...

"මොකො නංගි, ප්‍රශ්නේ මොකක්ද...?ස්ටේශන් එකේදි කතා කරෙත් නෑ..කෝච්චියට නැගලා කතා කරන්නෙත් නෑ.." 

 "ලොකු ප්‍රශ්නයක් අයියේ"

"පේපර් එකට එන ප්‍රශ්නයක් නම් කුප්පියක් දාන්නම් කොළඹ යනකල්" පුරුදු විදිහට විහිළුවෙන් මම උත්තර දුන්නා..

"විහිළුවක් නෙමේ අයියේ..ආදරේ නැති කෙනෙක් එක්ක ආදරෙයි වගේ ඉන්න උනොත් මොකද වෙන්නේ?"

එයා අහන්නේම ඔය වගේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්න.

"මම එහෙම ඉඳලා තියෙනවා..කැම්පස් එකට එන්න කලින්...ඒ ගැන මම ඔයාට කියලා තියෙනව නේ නංගි..ඒ හිටපු කෙනාගේ ෆොටෝ එක පර්ස් එකෙන් අයින් කරලා එතනට ඔයාව දැම්මේ මම ඇත්තටම ඔයාට ආදරේ නිසා..."

"ඉතින් එහෙම ඉන්න පුළුවන්ද?, මම් කිව්වේ ආදරේ නැති කෙනෙක්ට ආදරේ වගේ ඉන්න පුළුවන්ද?"

"බෑ...පොඩ්ඩක් වත් බෑ..."

"හ්ම්ම්ම්..මට ඔයාට බොරු කරන්න බෑ අයියේ..අපි ආදරේ කරන්න පටන් අරන් දැනට මාසයක් වෙන්න ඇති...මට තවත් ඔයාට බොරු කරන්න බෑ.."

"බොරු?? මොකක්ද බොරු?" 
බොරුව මොකක්ද කියලා දැන දැනම මම එයාගෙන් ඇහුවා...

"මට ඔයාට ආදරෙයි වගේ රඟපාන්න බෑ සහන් අයියේ.එහෙම කරොත් මට පව්.."

"ආදරේ නෑ....ඒත් එහෙනම් ඇයි මට ආදරෙයි කිව්වේ??"

"දෙයියනේ මම බයෙන් හිටියේ.ඔයා මගෙන් ඇහුවා...මම උත්තර දුන්නා....ඒක මම හිතලා කිව්වේ නෑ..මම බය උනා ඔයාට ඕන උත්තරේ නොදුන්නොත් ඔයා මාව රැග් කරයි කියලා.."

"රැග් කරන්න...ඒත් මම ඔයාගෙන් අහන දවස් වල රැග් එක තිබුනේ නෑ ඉශාරා.."

"හරි දෙයියනේ !! හරි....මම දන්නවා..ඒත් මම බය වුනා."

ඊට පස්සේ එයා මොන මොනවදෝ කිව්වා..මමත් ඔහේ අහගෙන ඉඳියා...සමහර විට එයාට මේ සම්බන්ධේ පටන් අරන් මාසයක් වෙන්න ඇති..ඒත් මට ඒ මාසේ අවුරුදු ගානක් වගේ..ඒ බැඳීම කඩලා දාන්නේ කොහොමද කියලා මම හිතාගන්න බැරුව ඉන්නේ..මොකක් හරි පිනකට මම කන්ණාඩි දෙක දාගෙන ඉඳියේ..ඉතින්...එයා කොහේ මගේ කඳුළු දකින්නද...එයාගේ කතාවේ හැටියට එයා සාධාරණයි..එයාට කරන්න දෙයක් තිබිලම නෑ..ඒත් මාසයක්ම යනකල් ඉඳලා ඒක කිව්වේ ඇයි..?

"ඉශාරා...ඔයා මට ආදරේ කරත් නැතත් මම ඔයාට ආදරෙයි....සමහර විට මම ආයෙත් කතාවක් ලියාවි..ඔයා මගේ කලින් කතාව කියෙව්වනේ..මම ඒක බාගෙට නතර කලේ ඔයා මගේ ජීවිතේට ආපු නිසා..ඒත්...ඔයා ඇවිල්ලා මට අලුත් කතාවක් ලියන්න ඉඩ හදලා දුන්නා...ඔයාට බොහොම පින්..."

කෝච්චියේ ගැස්සිල්ලත් එක්ක මම පියවි සිහියට ආවා..
අද බදුල්ල කෝච්චිය ගැස්සෙනවා වැඩියි..එදත් එහෙමයි...මොනව කරන්නද...ජනේලයක් අයිනට හේත්තු වෙලා මම ඒ දවස ගැන හිත හිත හිටියා..මටත් නොදැනිම මගේ අත පර්ස් එකට ගිහිල්ලා ඒක තිබුන ෆොටෝ එකක් එලියට ඇදලා අරගෙන.ඕනම දේක අමතක කරන්න බැරි දේ තමයි මතකය...

එයා මොනවද ආදරේ ගැන දන්නේ..ආදරේ කරන්න ,එයා තාම චූටි කෙල්ලෙක්...

මම ආදරේ ක‍රන කෙනා මට ආදරේ නැති නම් කඩදාසි කෑලි පර්ස් වල පුරවන් ඉඳලා වැඩක් නෑ...පර්ස් එකේ දාගෙන ඉදපු දෙවනි කෙල්ලගේ ෆොටෝ එකත් කෑලි හතර පහකට ඉරලා ජනේලෙන් එලියට අල්ලගෙන ඉඳියා...හුලං පාරට කෑලි ටික ඔහේ පා වෙලා ගියා...මතකයත් ඒ වගේ පාවෙලා නැති වෙලා යනව නම්....සමහර දේවල් නැවත නැවත සිද්ද වෙනවා වගෙයි..ආයේ පාරක් ආදරේ කරොත් ෆොටෝ කෑලි පර්ස් එකේ දාගෙන මතකය අමතක කරන්න බැරි පිස්සෙක් වගේ විදවන්නේ නෑ.

අද ඉදලා , මේ ලියන කතා දෙක පටලවලා කියවන ඔයාලව අතරමං කරන එකේ තවත් තේරුමක් නෑ..ඉශාරා දන්නවා මම මේ කතාව බ්ලොග් එකේ ලියනවා කියලා.මම හිතුවා මේ කතාව හැමෝගෙන්ම හංගලා එයාගෙනුත් හංගලා ලියාගෙන යන්න පුලුවන් වේවි කියලා.ඉතින් බොරුවට කතා දෙකක් වගේ ලියාගෙන ගියා.මේ කතාව තවත් කාගෙන් වත් හංගන්නේ මොකටද...
ඔව්....මම අද රහසක් කියන්නම්... 
මම ලියන කතා දෙකම එකක්..එයා තාරිකා...නෑ එයා තාරිකා නෙමේ..එයා ඇත්තටම ඉශාරා...
එතකොට මලිත්...ඔව්.ඒ මම තමයි....මලිත් කියන්නේ මම තමයි...