Friday, 9 August 2013

---ගීතංජලී - නැණසරට වැයෙන සත්සරය ---



හන්තාන කඳු පන්තියටත් මහවැලි නදී තීරයටත් මායිම්ව පිහිටි සොඳුරු පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය තුල විශ්වීය දැනුම ගවේෂණය කරන්නෝ අපමණ වෙති.දැනුමට සීමා මායිම් නැතුවාක් මෙන්ම දැනුම ගවේශණය කිරීමටද සීමා මායිම් නොමැත.නමුත් මේ සීමාවන් ඉක්මවා යෑමට දැනුම පමනක් ප්‍රමාණවත් වන්නේ නැත.ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක අතර ආර්ථික මට්ටම ප්‍රධාන තැනක් ගනී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පිවිසෙන දහසකුත් එකක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ආර්ථික අපහසුකම් නිසා තම අධ්‍යාපනයට නැවතීමේ තිත තබා විශ්ව විද්‍යාලීය ජීවිතයෙන් සමුගෙන යන්නෝ අපමන වෙති.එසේ අධ්‍යාපනය අත හැර දමා යන තම සහෝදර සිසුන්ට සමු දීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ සිසුන් සූදානම් වූයේ නැත.ඒ වෙනුවෙන් ඔවුන් එකාවන්ව පෙල ගැසුනෝය. විද්‍යාපීඨ සිසු බල පවුර , විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය වටා ඔවුන් එකතු වූහ.මීට සිව් වසරකට පෙර නැණසර ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ වන්නේ එලෙසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ අඩු ආදායම් ලාබී පවුල් වල සිසු දරු දැරියන් තෝරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන දිවියට අත්වැලක් වීමට පසුගිය වසර කිහිපය පුරාවටම , මෙම නැණසර ශිෂ්‍යත්ව අරමුදල මාහැගි කාර්‍යයක් ඉටුකලේය. නැණසර ශිෂ්‍යත්ව අරමුදල හේතුවෙන් පෙර කියූ විශ්වීය දැණුම භාදාවකින් තොරව නිදහසේ , සිත්සේ තරණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ සිසු සිසුවියන්ට අවස්තාව ලැබුනි.

තවත් වසරක් දෙකක් ඇවෑමෙන් පසු නැනසර ශිෂ්‍යත්ව අරමුදල තවත් පියවරක් ඉදිරියට තබා තිබුණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ සිසුන්ගේ අධ්‍යාපනය උසස් කිරීමෙන් පමනක් නැවතී සිටීමට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් සහෝදරත්වය සූදානම් වූයේ නැත.ඒ අනුව ශ්‍රී ලංකාව පුරා පවතින දුශ්කර පාසල් රාශියක් තෝරාගෙන ඒ ඒ පාසල් වෙත ගොස් , ඒවායේ ඉගැන්වීම් කටයුතු වල නිරත වීමට විද්‍යාපීඨ සිසුන් මූලිකත්වය ගත්තෝය.විද්‍යාව , ගණිතය වැනි සාමාන්‍යපෙල විභාගය සඳහා අසීරුයැයි සම්මත විශයන් ඉතා සරල ලෙස කියාදී ගුරු සම්පත් හිඟ මෙම දුශ්කර පාසල් වල දුවා දරුවන්ගේ නැණස පෑදීමට විද්‍යාපීඨ සිසුන් සමත් වූහ. ඒ සියලු කටයුතු මැනවින් කලමණාකරණය කරගෙන සිසුන් මෙහෙයවීට තරම් සවිමත් සිසු බලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයට තිබුනි.නැණසර ශිෂ්‍යත්ව අරමුදල පියවරෙන් පියවර තව තවත් ඉදිරියටම ඇදෙන්නට විය.මෙම ඉගැන්වීම් කටයුතු වල යෙදෙන අතරතුරදී අදාල පාසල්වල ඇති අඩු පහසුකම් පිලිබදව විද්‍යාපීඨ සුසුවෝ නිතර නිතර කතා වූහ. ඔවුහු ඒ පිලිබඳව ශිෂ්‍ය සංගමය දැනුවත් කලෝය.ඒ අනුව නැණසර ශිෂ්‍යත්ව අරමුදල තවත් පුලුල් කරමින් එම පහසුකම් අවම පාසල් සදහා ආධාර උපකාර කිරීමට සියලු කටයුතු සම්පාදනය කෙරුනි.

නැණසර ශිෂ්‍යත්ව අරමුදලින් කෙරෙන්නාවූ සත්කාරයන් ක්‍රම ක්‍රමයෙන් පුලුල් වීමත් සමගම ඒ සදහා අවශ්‍ය ආධාර මුදල් ලබා ගැනීමේ අපහසුතාවය විද්‍යාපීඨ සිසුවෝ අත්වින්දහ.කොපමන භාදා පැමිණියද නැණසර ශිෂ්‍යත්ව අරමුදල අත හැර දැමිමට ඔවූහු සූදානම් නොවූවෝය.

'ගීතාංජලී' - නැණසරට වැයෙන සත්සරය සංගීත ප්‍රසංගය , ඒ උතුම් අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ වන්නේ එලෙසය.ගීතාංජලී සංගීත ප්‍රසංගයෙන් ලැබෙන්නාවූ සියලු ආදායම් නැණසර්‍ර ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීමට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මූලිකත්වය ගත්තේය.ඒ අනුව නැණසරට වැයෙන සත්සරයේ තෙවන දිගහැරුම අගෝස්තුමස 14 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී එලි දැක්වීමට සියලු කටයුතු මේ වනවිටත් විද්‍යාපීඨ සිසුන්ගේ අධිෂ්ඨානයන් මල්පල ගන්වමින් සූදානම් කර තිබේ. දිවයිනේ දහසකුත් දරු දැරියන්ගේ අධ්‍යාපන දිවිය ආලෝකමත් කිරීමට ගීතාංජලියේ සත්සරයන් වැයෙනු ඇත. ඒ සත්සර හඩ අතරින් ඇසෙන විශාරද අමරසිරි පීරිස් , විශාරද නිරෝශා විරාජිනී සහ ආත්මා ලියනගේ යන ගායක ගායිකාවන්ගේ සුමිහිරි ගී රාවයෙන් සෙනෙහසේ ලපලු ගංතෙර දෝරේ ගලා යනු ඇත.. අගෝස්තු 14 දින සවස් යාමයේ හන්තානට පායන සදේ ඡායාව ඒ දෝරේ ගලා යන ගං දියෙන් තව තවත් හැඩ වී දිස් වෙනු ඇත. ඉතින් ඒ පුර හඳ හැබෑවටම ලස්සනදැයි බැලීමට ඔබ සැමට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ ශීෂ්‍ය සංගමය ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටී.
ඔව්..ඔබත් එන්න...
හන්තානට පායන පුරහදේ ලස්සන විදගෙන යන්න....

           - IRu Liyanage -
( විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් )
 
 

Sunday, 21 July 2013

විසේකාර පෙම්වතී (My Girlfriend) - "පට්ට කෑල්ල බං"



සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.
නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..
ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.
තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"
ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.
මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."
"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.
පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.
ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.
මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.
මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..
විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.
අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.
එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

------------------------------------------------

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.." 
එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම්  එක ඊලග සතියේ පටන් ගන්නවා.."
"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."
"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

-----------------------------------------------------------------------------

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.
ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ  ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.
පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...
නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..
එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..
අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැ‍යි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්‍යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.
සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

--------------------------------------------------

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැ‍යි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.
නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?
මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."
ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."
"තෑන්කියු අනේ..."
"කලවැද්දා.."
"තව ටිකක් තැන්කියු"
"ජිරාෆ්"
"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.."  ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

 ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..
ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 ,  මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.
ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.
ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.
"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."
ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."  
ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."
"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

-----------------------------------------------------------------

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..
ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.." 
ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..
සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.
අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

 මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."
ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."
ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..
දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...
  
   නිමි.
 

  (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )
      

Sunday, 28 April 2013

චූටි මල්ලීගේ ප්‍රේමවන්තිය - "මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."



පේරාදෙණිය හන්දියෙන් උදෑසන 5.20ට මාතර බලා ධාවනය වන දුම් රියට හනි හනිකට ගොඩ වී ගෑල්ලමයෙක් ලග ආසනයක පස්චාත් භාගය ස්තාන ගත කර වාඩි වී සුව නින්දකට සැරසුනා පමනි.අලුතෙන්ම මිලදී ගත් මාගේ ජංගම මෙව්වා එක එහා පැත්තේ සිටි ගෑල්ලමයාගේද නින්ද කඩමින් දෙදරා ගියේය.ඇය එක් වරක් මා හට ඔරවා ඉවත බලාගත්තාය.මම කුප්ප ලෙස සිනා සුනෙමි.
දුරකතන තිරයේ දිස් වන පරිදි ඇමතුම අම්මගෙනි.පුතෙකු ගෙදර එද්දී හැම අම්මා කෙනෙක්ටම එය ඉවෙන් මෙන් වැටහේ.අපේ අම්මාටද එසේමය.මා අද ගෙදර එන බව අම්මාට නොකිවෙමි.ඇයව පුදුමයට පත් කිරීමට සිතා ගෙනෙ සිටියද වැඩේ කචල් වෙන හැඩය.දැන් ඉතින් ඇමතුමට පිලිතුරු දී මා ගෙදර එන බව පැවසිය යුතුය.

"හෙලෝ අම්මා..."
 ඔබන තිරයේ ඇති Answer බොත්තම ඔබමින්ම මම ඇමතුමට පිලිතුරු දුන්නෙමි..

"හෙලෝ ලොකු අයියේ.."

තූ....නෙද්දකින්ය...මේ උදේ පාන්දර ඇමතුම චූටි මල්ලී ගොබිලයාගෙනි..චූටි කාලයේ සිටම මේකාට , කලිසමේ චූ කර ගැනීම නිසා තිබූ නින්ද නොයෑමේ රෝගය නැවත ඉස්මතුවී ඇද්දැයි මට සැකයක් තිබේ.නැති නම් උදෑසන 5.20 ට ලොකු අයියලාට කෝල් කරන චූටි මල්ලිලාත් අද කාලයේ සිටීද?

"මොකෝ උගුඩුවෝ...තොට නින්ද යන්නේ නැද්ද මේ උදේ පාන්දර මිනිස්සුන්ට වද දෙන්නේ..."

මාගේ ආසනයේ සිටි කෙල්ල දෙනෙත් ලොකු කරගෙනම මා දෙස බලාගෙනම සිටී.මා ඇය දෙස බැලූ විටම ඇය තව තවත් ජනේලය දෙසට වූවාය.

"හෙලෝ අම්මා කියලා අම්මලාට උගුඩුවෝ කියලා බනින පුතාලත් අද කාලේ ඉන්නව නේ..." මේ ඇයගේ සිතුවිලි වල ශිෂ්ඨ සංශිප්තයයි.

මම නැවත පෙර කියූ කුප්ප සිනහවෙන්ම ඇයට සංග්‍රහ කලෙමි. 

"ලොකු අයියේ...ඔයා ගෙදර එන්නේ කවද්ද ?"

"මේ එනගමන් තමා යකෝ ඉන්නේ...රෙද්ද...තෝ නිසා නිදාගන්නත් නෑ..."

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අයියා තමා විසදන්න ඉන්න එකම එක්කෙනා..."

"නෙද්දකින් හාල්පාරුවා...මම ඒත් බැලුවා , ලොකු අයියා , ඔයා , වගේ හෙන හැගීම් දනවන වචන වලින් මට කතා කරද්දී මොකක් හරි බටර් පාරකට තමා සෙට් වෙන්නේ කියලා...කියපන්..මොකක්ද වෙන්න ඕන?"

 මේකාට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ද ගැටලුවක් නොවිය යුතුය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් මාගේන් උදව් ඉල්ලන්නේ නැත.එසේ නම් මෙම ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීගේ ජංගම දුරකතනයටය..එයත් දැන් පාවිච්චි කරන්නේ නවීන පන්නයේ ඔබ ඔබා කතා කරන ජංගම දුරකතනයකි.

"මේක ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ"

"ඈ..යකෝ තොට තියෙන්නේ ලිංගික ප්‍රශ්නයක්ද? "

කෙල්ල නැවතත් මා දෙස බලයි..රවයි..ඔරවයි...ඉන් පසුව නැගිට හිස්ව ඇති වෙනත් ආසනයකට පියමන් කරයි..මම නැවත අර කුප්ප සිනහව...

 "පිස්සුද ඕයි...මේක මගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්"

මම හිතුවා හරීයටම හරිය..මේක අධ්‍යාපන ප්‍රශ්නයක් නොවේය. 

"අඩේ....කවුද කෙල්ල? " ඉවෙන් මෙන් ප්‍රශ්නය තෝරාගත් මම චූටි මල්ලීගෙන් ඇසූවෙමි.

"කෙල්ල ගැන කියන්නම්...ඉස්සෙල්ලා තමුසේ ඉක්මනට ගෙදර එනවකෝ.."

 "ඉක්මනට එන්න බෑ යකෝ..කෝච්චිය එන වෙලාවට එන්නම්..එතකල් මැරෙන්නේ නැතුව හිටපන්... "

"අනේ මේ ලොකු අයියේ... @$@$#%## "
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ නමය වසරේ ඇම්බිත්ති කොල්ලෝ පාවිච්චි ක‍රන කුනුහර්පයකි.. )

මම ජංගම දුරකතනය විසංදි කලෙමි..

චූටි මල්ලීට කෙල්ලෙක්ට වත් හිත ගොස් ඇද්ද? එය අම්බානෙක පුදුමය දනවන සුලුය..උගේ ලොකු අයියා මමය.එම නිසා එක් අතකට එය පුදුමය දනවන සුලු නැත.පුදුමය දනවන සුලු වන්නේ කෙල්ලෙක්ට හිත යෑමට මෙතරම් ප්‍රමාදවීම ගැනය.හරි නම් උගේ හිත මොන්ටිසෝරියේ සිටම කෙල්ලන්ට යා යුතුය. 
හිතවත් පාඨකය...මම නැවත නැවත ඔබට මතක් කරමි...මම උගේ ලොකු අයියාය..

නුවර සි ගෙදර දක්වා පැමිනෙන අතර මගදී චූටි මල්ලීගෙන් ඇමතුම් 5කි. මා අසලින් ඉවත් වූ ගෑල්ලමයින් ගනන 3කි.

කිසිදු උප්‍රද්‍රවයකින් තොරව ගෙදරට සැපැත් වන විට වේලාව මධ්‍යහන 12ටත් කිට්ටු වී ඇත.

වෙනදා දොරට විසි තිස් වතාවක් පමන තඩි බාන්නට සිදු වුනද අද මට එසේ සිදු වූයේ නොමැත. තඩි බාන්නට අත දිගු කරනවාත් සමගම දොර විවෘත විය...

"අම්මේ.....ලොකු අයියා ඇවිල්ලා...."

 පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය චූටි මල්ලී මුලු ගමටම ඇහෙන පරිද්දින් කෑගැසුවේය..ඉන් පසු වරක් උඩ පැන්නේය...

"කෝ දෙන්න අයියේ බෑග් ටික..මම ගිහින් තියන්නම්..."

මා කියන්නටත් පෙර මාගේ බෑග් සියල්ල උසුලාගත් ඔහු කාමරයට පිය මැන්නේය.

"ඔන්න මම අද අයියා එන නිසා අයියගේ කාමරේ ලස්සනට පිලිවලට හැදුවා.."

උගේ කතාව හෙන සිරාය.කාමරය අම්බානෙක පිලිවෙලය.මාගේ ඇද පට්ටම පිලිවෙලය.මාගේ ඇදට අඩි දෙකක් පමන වන්නට තිබූ පොඩි මල්ලීගේ ඇද නම් ගන්නට දෙයක් නැත.එහි ඇද රෙද්ද පාපිස්සට ගෙන ඇත.පාපිස්ස ඇද රෙද්දට ගෙන ඇත.පොරවන්නට ඇත්තේ මදුරු දැලකි.පොඩි මල්ලී ගැන මට අම්බානෙක දුකක් දැනුනි..

"ඇයි තෝ පොඩි අයියගේ ඇද හැදුවේ නැත්තේ.. " 
චූටි මල්ලීට චෝදනා කරමින් මම ඇසුවෙමි.

"ඕකාගේ ඇද හදලා මට මොනවද ලැබෙන්නේ..ඕන් අද එනවා කියලා තිබ්බා ඌත්..මම නම් හදයි උගේ ඇද...හ..."

මූ නම් රට ඇම්ඩෙකි.පොඩි මල්ලීට කෙලවා ලැබෙන ආත්ම තෘප්තිය මා අම්බානෙක විදිනා බව මූ දනී...එක් අතකට පුදුම වන්න දෙයක් නොමැත..මූ මගේම චූටි මල්ලීය..

 "හරි....දැන් කියපන් කවුද කෙල්ල? "

"කෙල්ලෙක් නෑ ඕයි..."

"එහෙනම් යකෝ තෝ දැන් කිව්වේ කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක් කියලා..."

"කෙල්ලෙක් ගැන තමා ප්‍රශ්නේ...මේකයි සීන් එක.. හැමදාම කොච්චියේදී හම්බෙන කෙල්ලෙක් ඉන්නෝ.... "

ඒ වචන කියා අවසන් වීමට පෙර මම , මාගේ ලාබාල කාලයට සිතෙන් පියමන් කලමි..

මා පහ වසරේදී හමු වූ කෝච්චියේ කෙල්ල....
ඇය මා දෙස බලයි...ඉන් පසු සිනා සෙයි..රවයි...අතේ ඇති අපි රජ ඉබ්බෝ ඉස්ටිකර් ඇලවූ පැන්සල් පෙට්ටිය කට කොනකින් හපයි.ඉන් පසු ගස්සා ඉවත බලා ගනී...මා පොඩි කාලේ දැමූ කුප්ප හිනාව දමයි.... රිච්මන්ඩ් කන්ද දුම් රිය පලේදී මාත් සමගම ඇය දුමි රිය වේදිකාවට බසී..වැරදීමකින් ඇයගේ අත මාගේ අත සමග ගැටෙයි.දෑත් ස්පර්ශ වූ ඒ සුලු නිමේශය....ඉන් පසු ඇය සිනා සෙයි...මාගේ කුප්ප සිනාව.... අඩි දහයක් පමන ඇවිද ගොස් ඇය නැවත පසු පස හැරෙයි..මා දිහා බලයි..ගස්සයි....නැවත සිනාසෙයි...මාගේ කුප්ප සිනහව... පසුබිමෙන් මිහිරි හින්දි ගීතයක් ඇසෙයි....

"ඕයි....තෝ අහගෙනද ඉන්නේ...." 
චූටි මල්ලී බෙරිහන් දෙයි....හුටාය,..එම කොටස අතීත කාලයට අයිති වූවකි..මා මේ සිටින්නේ වර්තමානයේය.තත්පර දෙකක මනෝ පාරෙන් පසුව මම නැවතත් චූටි මල්ලීගේ ආදර කතාවටම එන්ටර් වූයෙමි.

 "කවුද #$#%#@ මගේ නම දාලා ඒ කෙල්ලට ලියුමක් දීලා " 
(නැවත පෙර කී සංඛේත කිහිපය )

"ඉතින් මරුනේ ඕයි...කෙල්ල කැමති කිව්වද?"

"කැමති කිව්වා....බම්බුවක් කිව්ව...ඒකි , ඒකිගේ අයියට ගිහින් ලියුම දීලා..අයියා එනවා කිව්වලු සඳුදට මට ගේමක් දෙන්න...ඒකිගේ අයියා හෙන මැරයා ඕයි..අන්තිමට ඉතින් මට මේක කියන්න ඉතුරු වෙලා ඉදියේ තමුසේ විතරයි ලොකු අයියේ...අනේ කියන ඇද රෙද්දක් හදන්නම්... සදුදට මාත් එක්ක කෝච්චියේ යන්න එනවකෝ...ප්ලීස්.. "

හුටාය...
බුදු අම්මෝය....
මෙවන් චූටි මල්ලිලා සතුරෙක්ට වත් ඉන්න එපා කියන්නේ මේකය...මූ හදන්නේ මට හොද හෝටලයකින් ගේමක් සෙට් කරන්නය...මම මාරු විය යුතුය..කන ගුටියක් ඌ තනියෙන් කා යුතුය..අහිංසක පරඩැලක් මෙන් සිටින මම ,මගේ දිවි රැක ගත යුතුය..

"තමුසෙට පිස්සුද ඕයි...මට සදුදට විභාගයක් තියෙනවා..අගහරුවාදට මැච් එකක් තියෙනවා..කොටින්ම ඉරිදා හවස අපේ කොල්ලෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙන්නත් තියෙනවා.. "
 මම රටේම නැති පච ටිකක් ඇද බෑවෙමි..

"හ්ම්ම්ම්...එහෙනම් ඉතින් මොනවා කරන්නද..මගේ ප්‍රශ්නේ නේ..මමම විසදගන්නම් අයියේ.."

 චුටි මල්ලී හෙන රොමැන්ටික්ය..මගේ හිත වටවල කහට කෝප්පයකටත් වඩා අම්බානෙකට උනු වී ගියෝහුය.චූටි මල්ලී කර බාගෙන කාමරයෙන් එලියට යයි..උගේ ඇස් වල පනින්නට ඔන්න මෙන්න වෙර දරන තඩි කදුලු බෝල දෙකකි..ඒවා දැන් පනී , දැන් පනී යැයි මට සිතේ...
මොනා කරත් පොර මට කතා කලේ උගේ ලොකු අයියා නිසාය.මේ මොහොතේ මම ඌව තනිකර දමා නොයා යුතුය.

"ඒ.....ඔහොම හිටහන්...සඳුදා කීයටද යන්න ඕන.. "

"උදේ උදේ..6.30ට කෝච්චියේ ගිහින් ඔයාට එහෙම්ම නුවර යන්න පුලුවන්..මම ඒවත් ප්ලෑන් කරලයි තියෙන්නේ...අයියගේ සපෝට් එකට මගේ යාලුවෝ දහයක් දොලහක් විතර එන්නම් කියලත් කිව්ව..මම ඒවත් රෙඩි කරා..."

"අඩෝ...තෝ හිතුවද මට එක එකාගේ සපෝට් එක ඕන කියලා...තෝ දන්නෑ යකෝ කැම්පස් එකේ මම දෙන ගේම්...දන්නව නම් ඔහොම දහයක් දොලහක් ලෑස්ති කරන්නෑ...."

"ඔව්..එහෙනම් හැටක් හැත්තෑවක් විතර ලෑස්ති කරනවා... ""

මොකක්ද තෝ කුටු කුටු ගාන්නේ බිම බලන්...තොට සැකද? "

"පිස්සුද අයියේ...මට අයියා ගැන සත පහක සැකයක් නෑ... ඔන්න එහෙනම් සඳුදා උදේ යමු.ගිහින් ඒකිගේ අයියට ඇවිද ගන්න බැරි වෙන්න ගේම දීලා එමු."

ඌ එසේ කියද්දී ඇස් දෙක කාන්තියෙන් බබලයි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන මේවා නේදැයි මටද සිතේ.අහෝ...මාගේ තරුණ කාලයත් ගත වන්නට ඇත්තේ මෙලෙසිනි.මට මා ගැනම සියුම් ලැජ්ජාවත් දැනුනි.එය ලැජ්ජාවකට වඩා යටි බඩට කිතියකි...

සඳුදා දිනය එලබෙන්නට වැඩි කාලයක් ගත නොවිනි.උදෑසන 5ට පමන භූමිකම්පාවක් මෙන් දැනුන චූටි මල්ලීගේ ඇද සෙලවීමෙන් පසු මම ඇහැරුනෙමි..දඩ බඩ ගා මුහුනට වතුර පහරක් එල්ල කරගෙනම ඩෙනිම් කලිසමකින් හා සුදු අත් දිග කමීසයකින් සැරසුනෙමි..

"ඒ..ඕයි....තමුසේ කොහේ යන්නද?"

 චූටි මල්ලී පාසල් නිල ඇදුමෙන්ම සැරසී මා වෙත දිව විත් අසයි..

"ඇයි අද වලියක් තියෙනෝ කිව්ව නේ..මේ ඒකට යන්න"

"නෙද්දකින්...ඔය ඇදුම නිකන් පන්සල් යන්න වගේ නේ..ඔහොම බෑ ඕයි වලි වලට යන්න..පොඩ්ඩක් ඉන්නවකෝ..." 

එසේ කියමින් චූටි මල්ලී කාමරයට රිංගයි..ඉන් පසුව මොකක්දෝ හැට්ටයක් මෙන් ඇදුමක් උසුලාගෙන විත් මට අන්දවයි...

"අහ්....ඔය තියෙන්නේ....දැන් නම් පට්ට මැර ලුක් එක..රැවුලත් වවන් ඉදිය නම් තමා නියමම මැරයා.හැබැයි කන්නාඩි දෙක තමා අවුල්...කෝ බලන්න..."

එසේ කියමින් පොර කන්නාඩි දෙක ගලවන්නට දිව එයි...

"අඩෝ...තෝ හදන්නේ මාව මරවන්නද...ඕක නැතුව මට පේන්නේ නෑ පොලොස් කොට්ටෝරුවෝ..ඒක නෙමේ...කාගෙයි මේ මැර ඇදුම්...?"

"වෙන කාගෙද..පොඩි අයියගේ තමා..මේ...මම ඕන ආයුධ ටික කලිසම් සාක්කු වලට දැම්මා..චෙක් කරලා බලනෝ..බැරිම උනොත් විතරක් වෙපන් එකක් පාවිච්චි කරනෝ...නැති නම් වෙපන් එකකට යන්න එපා..අතම විතරක් පාවිච්චි කරලා වැඩේ ගොඩින් ඉවරයක් කරගන්න බලමු.,."

මම සාක්කු අත ගා බැලුවෙමි..හුටා...එක සාක්කුවක ඇට බෝල විදින තුවක්කුවකි..අනෙකේ නියපොතු කපන කතුරකි.අස්සටම වන්නට රේසරයකි.."

හ්ම්ම්ම්...16-18 උන්ගේ හීන...මට නැවත සිතුනි...

"තොට කොයින්ද රේසරයක්? තොගේ රැවුල වැවෙන්නේ නෑ නේ..."

"ඕක පොඩි අයියගේ රේසරේ...කියන්නෙපා හොදේ.."

කන්නාඩිය ඉදිරිපසට ගොස් නිකමට වාගේ මම මාගේ මැර පෙනුම දෙස වරක් බලා ගත්තෙමි..ඇට සැකිල්ලක් රෙද්දකි වැසුවාක් මෙන් දිස් වෙයි.අද නම් ඉස්පිරිතාලේ ලගින්න වෙන දවසකි..වෙනදාටත් නැතුව මම බුදු පහනද පත්තු කලෙමි...ඉන් පසුව දකුණු කකුලත් ඉදිරියට තබා ගෙදරින් පිටත් වූයෙමි..

නියමිත වේලාවට විනාඩි කිහිපයක් පමන ප්‍රමාද වී දුම් රිය පැමිනියේය.අපි හනි හනිකට දුම් රියට ගොඩ වූයෙමු
ඉස්සර කාලයේදී මෙම දුම් රියේ අයිතිකාරයෝ අපිය.මෙහි චන්ඩි අපිය..මෙය පාලනය කරන්නෝද අපි වෙමු.දැන් කාලය වෙනස් වී ගොසිනි.දැන් චූටි මල්ලිලාගේ කාලයයි....

දුම් රිය පෙට්ටියේ අයිනටම වන්නට තිබූ ආසනයක ලස්සනම ලස්සන චූටි නංගියෙක් වාඩි වී සිටියාය.පෙනුමෙන් නම් ඇය නමය වසරේ විය යුතුය.කොන්ඩය තනි කරලට ගොතා ඇත.දුම් රියේ වේගවත් ගමන නිසා ඇති වන සුලගින් ඇයගේ බෙල්ල හිර වෙන්නට දමා තිබූ කොල පැහැ ටයි පටිය ඒ මේ අත වැනේ.ටයි පටිය පපුවට තද කර ගැනීමට ඇය විශාල උත්සහයක් ගනී...

 "ලොකු අයියේ..."

මා කටත් ඇරගෙන සිටිනවා දුටු චූටි මල්ලි මට ආමන්ත්‍රනය කලේය.

"මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."

මම ඒ නංගී දෙටස අත දිගු කරමින් ඇසුයෙමි..

පිස්සුද ඕයි.එයා තරූශි , ඉන්නේ හික්කඩුවේ...තාත්තා බැංකුවක වැඩ කරන්නේ...ඒ කෙල්ලගෙන් මම කලින් ඇහුවා..ඒත් එයා කැමති උනේ නෑ...

"හුටා...මම උඩ ගියෙමි...දැන් හැදෙන පොඩි උන් නම් ගන්නට දෙයක් නැත...අසික්කිතය...කෙල්ල ගැන මට හිත යද්දී මුන් මගුලුත් කතා කර අවසානය.එක් අතකට මූ මගේම චූටි මල්ලීය..ඉතින් පුදුම වන්නට දෙයක් ඇත්තේම නැත...

"එහෙනම් කෝ ඕයි කෙල්ල.."

"ඒකි අද නැද්ද මන්දා...හෙන තාර බැරල් එකක් වගේ කෙල්ලෙක් ඕයි..අම්මපා මගේ නම දාලා ඕකිට ලියුම දීපු එකා අහු උනොත් මම උගේ ඔලුව පලනවා..."

මම නැවත සිනා සුනෙමි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන....


මහත තඩි තාර බැරල් එකක් සොවීමට මාගේ දෑස් දුම් රිය පෙට්ටිය පුරා එහා මෙහා ගියේය..එක් ඇසිල්ලෙක මාගේ දෑස් එක් සුපුරුදු මුහුණක් අසල නතර විය...හනි හනිකට මම ඔහු අසලට පිය මැන්නෙමි...

"අඩෝ...තරිඳු" 
 මම ඔහුව ආමන්ත්‍රණය කලෙමි.
ඔහු පුදුමයෙන් මෙන් පසු පස හැරී මා දෙස බැලුවේය,,

"අප්පටසිරි...රත්තා..." 
 ඔහු පෙරලා මාව ආමන්ත්‍රණය කලේය..

"පන්ති යන කාලේ දැක්කට පස්සේ උඹව ඔය දැක්කමයි බන්...ඉතින් ඉතින්...මොකද දැන් කරන්නේ... "
 මම ඔහු ගෙන් ඇසුවෙමි.

"දැන් ඉතින් ජොබ් එකක් කරනවා බන්...උඹ මොකද කරන්නේ.."
 ඔහු මගෙන් ඇසුවේය.

"මම ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා පව් ගෙවනෝ...ඉතින් ඉතින් අද නිවාඩුද?"
 
"පිස්සුද බන්..මොන නිවාඩුද..පොඩි කේස් එකකට ආවේ..උඹත් සෙට් උන නිසා ගේම ලේසි වෙයි.."

"මොකෝ සීන් එක, වලියක්ද? "

"ඔව් බන්...කවුද #@$#$ අපේ නංගිට ලියුමක් දීලා...ඌයි උගේ අයියයි අද එනවලු මගෙන් ගේම ඉල්ලන්න... #$#%^%^ යවන්නේ #@$#$ දෙන්නට...උන් දන්නෑ මේ තරිඳුවගේ හැටි...."
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ විශ්ව විද්‍යාල මට්ටමේ අසභ්‍ය වචන කිහිපයකි. )

එසේ කියමින් ඔහු මස් කපන පිහියක් වැනි තඩි පිහියක් අතේ තිබූ ටියුලිප් බෑගයෙන් එලියට ගත්තේය,,,

"ඉතින්, උඹ කොහේද මේ යන්නේ..."

 "මම...මේ....මේ....මම..මචන්...මම මේ... කැම්පස් එකට යනවා.. " 

කෙල ගුලි දෙකක් එක විටම ගිල දැමූ මම පැවසූවෙමි.