Tuesday, 8 January 2013

එයා තාම චූටි කෙල්ලෙක්( පළමු කොටස ) - "සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"




රොබරෝසියා ගස් වල මල් පිපී ගෙන එමින් තිබේ.පේරාදෙණි සරසවි බිම මොකක්දෝ අලුත් බවකින් පිරී ගොස් ඇත.ඒ නවක සිසුන්ගේ ආගමනයද,එසේත් නැති නම් රොබරෝසියා මල් වල ලස්සන නිසාදැයි නොදනිමි.මේ කියන්නට යන කතාවේ මම චරිතයක් නොවෙමි.මම කතානායකයාද නොවෙමි.මම කතාව කියාගෙන යන්නා පමණක්ම වෙමි..

එන්න...අපි තවත් චරිතයක් දෙසට හැරෙමු.

ඇය සෙමෙන් සෙමෙන් අඩි තැබුවාය.කොළඹ කෙල්ලෙකැයි කියන්නට සුදුසු සියලු සුදුසු කම් ඇය සතු විය.දෑතේ ඇඟිලි වල සිට දෙපයේ ඇඟිලි දක්වා නේක වර්ණයන්ගෙන් පාට කර තිබේ.දෙතොල රෝස පැහැවී ඇත්තේ තොල් ආලේපන නිසාද එසේත් නොමැති නම් ස්වභාවයෙන්ම දැයි නොදනිමි.නමුත් මට පැහැදිලිව එකක් කිව හැක.කෙල්ල බියවී උන්නාය.සැබැවින්ම බිය වී උන්නාය.

"බලපන්කෝ...අරකි ගස්සන ගැස්සිල්ල.."

"යකෝ මේකි අතේ ඇඟිලි වල ඉදලා @#$%^ වෙනකල්ම පාට කරලද කොහේද"

 අතරින් පතර ජ්‍යෙෂ්ඨ සිසුවෝ මුනු මුනු ගායි..මාගේ භාෂා භාවිතය ගැන මට සමාවන්න...ඔවුහු විශ්ව විද්‍යාල සිසුන්ය.ඉතින් කටවල් වලට සීමා මායිම් නැත.

මම දැන් කතාවට ප්‍රවේශ වුනෙමි.කතා නායිකාව ඔබට හදුන්වා දුන්නෙමි.ඇයගේ නම නොදැන සිටියාට ඇයගේ හැඩරුව මෙසේ යැයි ඔබ මටත් වඩා හොදින් දැන සිටින බව මා දනිමි.

පේලියට යන නවක සිසුන් අතරේ ඇය කෙසේ හෝ කැපී පෙනෙයි.අනෙක් අය මෙන්ම ඇයද නවක සිසුවෙකුගේ අතෙහි එල්ලීගෙනය.යුවතියට මේවා පුරුදු නැත.ඇය අනෙක් පස සිටි තරුණයා දෙස බැලුවේ ඔහුගේ මුහුනෙන් හෝ ආත්ම විශ්වාසයක් ලබා ගැනීමටය.
සමාවන්න...ඔහු ඊටත් වඩා බිය වී සිටියේය.නවක වදය කාල සීමාව ඇයට නම් සැබැවින්ම ගෙවා දමනු අපහසු වනු ඇත.

"ඒයි...ඔහොම නැවතියල්ලා...."

කොහේදෝ සිට ආ විධානයකින් යුවතිය තැති ගත්තාය.අඩියක් වත් ඉදිරියට නොතබා ඇය සිටි තැනම නතර වූවාය.තරුණයාවද අතින් ඇද නතර කර ගත්තාය.

"උඹලා දෙන්නට හෙන හදිස්සියි නේද?"

උපැස් යුවලක් පැලඳ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා ඇය දෙස බලාගෙනම සිටියාය.මාද එතැන සිටියා නම් කරන්නේ ඒ දෙයමය.ඇය දෙස බලා සිටියාට පාඩු වෙන්නේ නැත.යුවතිය එතරම් පියකරුය.
මෙතෙක් වේලා ඇයට 'ඇය' යැයි කියා ආමන්ත්‍රනය කර මට එපා වී ගොස්ය.එන්න...අපි ඔවුන්ගේ නම් දැන ගනිමු.

"ඒයි....ඔය අතින් අල්ලන් ඉන්න එකීගේ නම මොකක්ද?"

 උපැස් යුවල දෑතට ගනිමින් ගොරෝසු කට හඩින් ජ්‍යෙෂ්ඨ සිසුවා විමසුවේය.ගොරෝසු කටහඬ ඔහු මවා ගත් එකක්ද එසේත් නොමැතිනම් සැබෑවටම ඔහුගේ කට හඬදැයි මම නොදනිමි.මේ කතාව ගැන මම දැන සිටින අංශුමාත්‍රයට වඩා වැඩි යමක් ඔබට කීමටද බලාපොරොත්තු නොවෙමි.

පිලිතුරු දීම වෙනුවට නවක සිසුවා බිම බලා උන්නේය.සැබැවින්ම ඔහු ඇයගේ නම දැන සිටියේ නැත.

"චික්...මෙහෙමත් මෝඩයෙක්....කෙල්ලෙක් අතේ එල්ලිලා ඉන්නවා.. ඒකිගේ නමවත් දැනගෙන නෑ..."
මා එතැන සිටියා නම් ඒ දෙබස අනිවාර්‍යයෙන්ම මාගේ මුවින් ද පිට වෙනු ඇත.

"උඹ දන්නේ නැද්ද මේකිගේ නම? නම අහන්න උඹට ලැජ්ජද , නැති නම් මේකි උඹට කිව්වේ නැද්ද?"

යුවතිය දෙසට හැරුනු ජ්‍යෙෂ්ඨ සිසුවා ඇයව පුරුදු සම්ප්‍රදායෙන් ඇමතුවේය.
 "ඒයි මෙහේ බලපන්....මූ නම ඇහුවම උඹ නම කිව්වේ නැද්ද?"

කොහෙන් හෝ කැරකැවී කුමක් හෝ ගිනි ගෙඩියක් පාත් වෙන්නේ තම හිසට බව යුවතිය දැන සිටියාය.දෑස් වල බිමට පනින්නට ඔන්න මෙන්නව ඇති කඳුලු කැට දෙකකි.ඒවා දැන් වැටෙයි දැන් වැටෙයි යැයි ඇය බියෙන් උන්නාය..

"අයියේ...මම නම ඇහුවේ නෑ එයාගෙන්" තම ආත්ම ශක්තිය වදන් වලට පෙරලාගත් තරුණයා පැවසීය.

"අනේ....හැබෑට....ඇහුවේ නැද්ද? උඹේ නම මොකක්ද කියපන්කෝ ඉස්සෙල්ලා.."

"මම නිර්මාල්"

 "තොට කොන්ද පණ නැද්ද මේකිගෙන් නම අහන්න..උඹ අවුරුදු හතරක් මේකිත් එක්ක ඉගෙන ගන්නවා..නමක් දන්නේ නැතුව....දැන්ම අහගනින් නම.."

"තාරි"

තරුණයා නම අසන්නට පෙර ඇය පිලිතුරු දුන්නාය...

"අඩෝ.......මේකිගේ නම "තාරි" ලු බන්.... "

එම වදන් ජ්‍යෙෂ්ඨ සිසුවාගෙන් පිට වෙනවාත් සමඟම කොහේදෝ සිට පැමිණි තවත් සිසුන් පිරිසක් ඔහු වට කරගත්තෝය..

"ඒ...තාරි....ඇයි අනේ අකුරු දෙකේ නමක්..? "

"උඹගේ උප්පැන්න සහතිකේ නම ලියන්න තිබුනේ පොඩි ඉඩක්ද?"

"තාරි කියන්නේ තාරාවගේ ගෑනු සතා වෙන්න ඇති...උඹේ අතේ එල්ලිලා ඉන්න එකා තාරාවද?"

 එකිනෙකා පරයමින් කෙරෙන ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නිමක් නැති නොහොබිනා විහිලු ඉවසාගෙන සිටීමට තරම් ඇයගේ සිත හැඩ ගැහී නොමැත.ඇය කොළඹ කෙල්ලෙකි.මේ රළු පරළු ගති කොහෙත්ම ඇයට හුරු නැත.මා පෙර කියූ කඳුලු කැට එකක් පසුපස එකක් ඇයගේ දෙනෙතින් කඩා වැටෙන්නට විය.යුවතිය හැඬුවාය.ඉකි ගසා හැඬුවාය...නමුත් විහිලු කොලොප්පන් වල නම් නිමක් නැත.

ඔබ මා විහිලු වලට සවන් දෙන අතරවාරයේ පටලවාගෙන සිටි දෑතක් එකිනෙකට තදින් වෙලී ගොස් තිබුනි..

"ජෝඩු වෙන්න කලින් අඳුරගෙන ඉදපන් යකෝ...දැන් පලයල්ලා..ගිහින් අනිත් උන්ට එකතු වෙයන්..."
දෑතට ගත් උපැස් යුවල නැවත පලඳා ගනිමින් ජ්‍යෙෂ්ඨ සිසුවා  විධානය දුන්නේය.

ඒ වචන ටික මුවින් ගිලිහෙන සැනෙන් නවක යුවල පටලවා සිටි දෑත් තවත් තද කරගනිමින් තම පීඨය දෙසට පිය මැන්නෝය....

"ඒ නංගි...හෙට එනකොට ඔය නියපොතු වල තියෙන ලිප්ස්ටික් ටිකයි තොල් වල තියෙන කියුටෙක්ස් ටිකයි ටිපෙක්ස්ට් කරලා හරි මකන් වරෙන්..නැති නම් කියපන්..අපි හොයලා දෙන්නම්.."

නොසන්ඩාල විහිලු හමුවේ පසු පස හැරීමටවත් පමා නොවූ දෙදෙනා පීඨ පොදු ශාලාවට ඇතුලු වූවෝය.

"ඇති යන්තම් එකකින් බේරුනා"

කතා කරන්නේ කොතනින්දැයි නොදැන සිටි නිර්මාල් යුවතියව කතාවට ඇද ගැනීමට සිතමින් කට හඬ අවදි කලේය.

"මාව බේරගත්තට තෑන්ක්ස් නිර්මාල්...සීනියර්ලා ඇයි දෙයියනේ මගේම පස්සෙන් විතරක් ඇවිල්ලා මටම වද දෙන්නේ"

"ඒ ඔයා ලස්සන නිසා"

තරුණයා ඒ වදන් තුන හිතා මතා කීවාද එසේත් නොමැති නම් ඔහුගේ මුවින් ඉබේ පිට වුනා දැයි මම නොදනිමි.නමුත් දැන් ඔහු එය කියා අවසන්ය..යුවතිය ලැජ්ජාවෙන් රතුවෙලාය..විනාඩියක පමණ නිෂ්ශබ්දතාවය බිඳිමින් නිර්මාල් කතා කලේය..

"ඔයාගේ නම තාරි ද? උප්පැන්නේ තියෙන්නෙත් එහෙමද?"

"නෑ නෑ..ඉස්කෝලේදී හැමෝම කිව්වේ තාරි කියලා..මගේ නම තාරිකා..පුරුද්දට තාරි කියලා කියවුනා."

"ඔයා කොළඹ කොහේද?"

"ඔයා කොහොමද දන්නේ? මම කොළඹ නෙමේ ඉතින්.ගම්පහ...."

"දන්නෙ නෑ....නිකමට හිතුනා...මම ගාල්ලේ..ඒක නෙමේ...හෙට එනකොට නම් අර අත්වල තොල්වල ගාන ඒවා අයින් කරන් එන්න වෙයි..."

"ඒක තමා මමත් බැලුවේ..අත් වල නම් අයින් කරන්න පුලුවන්..ඒත් මම තොල් පාට කරලා නෑ..."
මම සිතුවා හරිය..ඇයගේ දෙතොල්වල තිබුනේ ස්වභාවික රෝස පැහැයක්ය.

ගමන් මල්ල පොදු ශාලාවේ මේසයක් මත තැබූ යුවතිය කෑම පාර්සලය එලියට ගත්තාය.

"මම අද උදේ පාන්දර කෝච්චියේ ආවේ.අම්මා කෑම එකක් හදලා දුන්නා.ඔයා කාලද?."

පාර්සලය දිග හරිමින් ඇය විමසුවේය.

"නෑ...මම කෑම එකක් අරගෙන එන්නම්...එතකල් ඔයා කන්න.."

"එන්න...මේකෙන් කමු.." 
සාමාන්‍ය කතාවකදී නම් ඊලග දෙබස එය බව ඔබ අනුමානයෙන් කියනු ඇත. නමුත් එය එසේ සිදුවූයේ නැත.අප මෙන්ම නිර්මාල්ද එම දෙබස පිටවන තෙක් මදක් බලා සිටියා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.සුන්දර යුවතියකගේ බත්පත බෙදාගෙන කෑමට දෙවරක් සිතන්නේ කවුද..

මේවා සාම්ප්‍රදායික බොලඳ තරුණයෙකුගේ හා තරුණියකගේ දෙබස්ය.අමුතුවෙන් මේ දෙබස් කතාවේ ලියන්නට ඕනෑ නැත.මේ කතාව කියවන ඔබ මටත් වඩා හොදට ඒ අත්දැකීම විඳ තිබිය යුතුය.

 කැන්ටිම දෙසට යෑමට නිර්මාල් පා එසවූවා පමණි.

"ඒයි....උඹට මූත් එක්ක කෑම එක බෙදාගෙන කන්න ලැජ්ජද?" උපැස් යූවල පැලඳගත් ඔහු නැවත අපගේ කතාවට පැමිනියේය.
"මේ තාරාවි නංගි....මේකේ ඉන්න ඕන නම් ඔය ලොකුකම් ඔක්කොම අත ඇරලා ඉඳපන්.උඹ ගෙදරින් ගෙනාව බත් එක කන්නයි මූ කැන්ටිමෙන් කන්නයි දෙකක් තියෙන්න ඕන නෑ නේ...බෙදාගෙන කාපන්.."

හැරෙමින් තිබූ අඩිය නැවත මේසය දෙසට හරවාගත් නිර්මාල් ජ්‍යෙෂ්ඨ සිසුවාට පින් දුන්නේය.ඉඳලා හිටලා හරි ඔවුන් හොඳ වැඩ කරයි.බත් පත තමන් දෙසටද හරවාගෙන පලමු බත් කට මුව තුලට රුවා ගත්තේය..යුවතිය තවමත් ව්‍යාංජන බත් සමග අනමින් සිටියි.

කවදාවත් කවරෙකුවත් ඇයට උඹ යැයි කියා නැත.ඇයට ඇය ගැනම දුක සිතුනි.ඇයගේ උවමනාවට පේරාදෙණියට පැමිණීම ගැන ඇය සිතෙන් දුක් වූවාය.තාත්තා කිව්ව දේ අහලා ඕස්ට්‍රේලියා ගිහින් ඩ්ග්‍රිය කරා නම් ඉවරයි.. නිර්මාල්ට බත් කවන්න කියලා මට කිව්වොත්...ඇයගේ සිත දෙගිඩියාවකය.

 කෙල්ලෙක්ට කියා කවා ගැනීමේත් මොකක්දෝ අමුතු හැඟීමක් තිබේ.එය වචන වලින් විස්තර කල නොහැකිය.යුවතිය ඒවා දන්නේ නැත.නමුත් නිර්මාල් නම් දන්නා සෙයකි...
පාඨකය....මම ඔබට රහසක් කියමි...එම බත් කටක රස මමද දනිමි..

මදක් බලා සිටි ජ්‍යෙෂ්ඨ සිසුවා නැවත හැරුනේය.

පුදුමය...ඔහු එසේ කිව්වේ නැත.බත් කටවල් මාරුවෙන් මාරුවට කවන්නයැයි ඔහු කීවේ නැත.මා පෙර කියූ සම්ප්‍රදායට කුමක් වීද...දැන් නම් මා සිතේද සැකයක් ඉපදී තිබේ.
කතාවේ පළමු කොටසට ඔබ දැනගත් හරිය බොහෝම ඇතිය.කතාවේ කතා නායිකාවක් සිටියද කතා නායකයෙක් තවත් නොමැති සෙයකි.තීරණය ඇත්තේ මාගේ අතේය..තවත් කිහිප දවසකින් මම එය ලියා දමමි,,,,

-------------------------------------------------------------------------------------------------------

මතකයන් ......

සමහර විට කතාවක් ලියාගෙන යද්දී මට වෙච්ච දේවලුත් ලියවෙන වෙලාවල් තියෙනවා.මේ කැම්පස් එක..මේ පරිසරය හැම එකක්ම වගේ මටත් හුරුයි..ඒත් කවුරුවත් හිතන්න එපා මේක මගේ කතාව කියලා.
මගේ කතාව මීට වඩා වෙනස්..කතාව ලියද්දිත් මම මගේ ෆෝන් එක දිහා සිය පාරකට වැඩිය බැලුවා.බලන් ඉඳලා ඇස් දෙකත් රිදෙනවා..ඒත් එයාගෙන් එක මැසේජ් එකක් වත් නෑ... .කණ්නාඩි දෙක දාගෙන බලාගෙන ඉන්න ගියාම තමා වැඩිපුරම අමාරු..සමහරවිට හෙට එයා මට මැසේජ් එකක් දාවි..
ඒ අස්සේ කොහේදෝ ඉදලා එකෙක් දොරට තට්ටු කර කර කෑ ගහනවා....
"අඩෝ....කන්න යන්නේ නැද්ද..."
වෙලාව බැලුවම තමා මතක් උනේ..2ත් පහු වෙලා..පුරුදු විදිහටම කෑම එකකුත් අරගෙන කැන්ටිමේ පුරුදු බංකුවෙන්ම වාඩි උනා..අතින් කන්නත් පුරුදු නෑ වගේ...ආයේ පරන දේවල් මතක් වේගෙන එනවා,, 

වෙන් කලේ සිතකින් නොවේ..
වේදනා හදතුල තියා....
ජිවිතේ සිතුවම් කලේ....
ඔබෙ නම එතැනින් මකා...


Thursday, 27 December 2012

නිවාඩුව - අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "


නිවාඩුවට ගෙදර ඇවිල්ලාත් දැන් දවස් සෑහෙන ගානක්ය.
මේ දවස් වල ගෙදර එකම යුද්ධයකි,පොඩි මල්ලී නායකත්ව පුහුණුවට යාමට සූදානමින් සිටී.උගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ලොකු අයියා වන මාය.ලොකු අයියා වීමේ වාසිය එයයි.පුහුණුවට ගෙනයන්නට ඕනෑ සියලු බඩු භාන්ඩ ආදිය ගැන විස්තර අසා ගන්නේ මගෙන්ය.
 එකක් අසාගෙන තව විනාඩි කිහිපයකින් පොර දිව එයි..

"ඕයි...සපත්තු ගන්න ඕන මොන පාටද?"

"සුදු පාට...ගෑල්ලමයි දාන ජාතියේ ඒවා"

"තොගේ @#$%^&*(*&^%" (සංකේතාත්මකව පොර පිලිතුරු දෙයි )

ආයේ තව විනාඩි කිහිපයකින් නැවත දිව එයි...

"ඕයි උඹ මගේ අලුත්ම ඩෙනිම කැම්පස් එකට ගෙනිච්චා නේ..ඒක කෝ? " (පිසාච අඩවියේ පිසාචයා ඒ ඩෙනිම දැනටමත් අඳිනවා ඇතැයි මම සිතමි)

"ඒක දාලා ආවා"

"තොගේ #$%^&*()"  (නැවතත් ඒ සංකේත ටිකමය..)

ආයේ විනාඩි කිහිපයකින් දිව එයි!

"ඕයි යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "

"උඹට නම් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ..."

"තොගේ @#$%^(_)(*&^%$ " (නැවත පෙර සංකේත ටිකමය )

පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත.
පැත්තක් ගැනීමට නොහැකිව චූටි මල්ලී තනිවම සිනා සෙයි.උගේ සිනහව තවම හෙන ලාමකය.
 මා ගෙදර සිටියේ නැති දවස් කිහිපයට ඌ ටිකක් මහත් වෙලාය.පාට වැටිලාය.

පොර සිනහ සෙමින් මා අසලට පැමිනේ.චූටි මල්ලී සිනාහසීම මාගේ සිනහාසීමට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

"ලොකු අයියේ!! ෆේස් බුක් එකේ ඔයා ගෑල්ලමයෙක් එක්ක ඉන්නවා දාලා තිබ්බ ෆොටෝ එක මම අම්මට පෙන්නුවා"

අහෝ අයියනායක දෙයියනේ! අයියලාට මෙසේ වින කරන මල්ලිලා සිටීද.වයට අවුරුදු 12ක ඇට්ටරයෙක් කරන වැඩද මේ..

ගෙදර ආවාට වඩා හොස්ටල් එකේම සිටින්නට සිතෙන්නේ මේ වෙලාවටය.

කම්මැලිකම නිසා ගෙදර සිටින්නට සිත දෙන්නේද නැත.කරන්නට කිසිම දෙයක් නැති කමන් නිසා කොට කලිසමකුත් ඇදගෙන ගාල්ල පැත්තට බඩ ගෑවෙමි.

ගාල්ලත් වෙනස් වෙලාය.බස් නැවතුම් පලට හේත්තුවී විනාඩි කිහිපයක් සිටියෙමි.කොහේදෝ සිට සුලං රැල්ලක් පැමිනෙයි,දෑසත් වසාගෙන උඩු සුලඟට ඉව ඇල්ලුයෙමි.
නැවත දෑස් විවර කරද්දීම ඇය මා දෙස බලා සිටියාය.මම සලිත උනෙමි.මේ දිනවල ශුවර් එකට උල්කාපාතයක් පෘතුවිය අසලින් හෝ යනවා විය යුතුය.

          මාගේ ග්‍රහචාරය සිකුරා දෙසට නිතරම හැරේ..දකින දකින තැන සෙට් වන්නේ ගෑල්ලමයින්ය.පොත් මිටියක් දෑතට තුරුලු කරගෙන සිටි ඇය කවුරුන් හෝ එනතුරා සිටිනවා විය හැකිය. "University Of Ruhuna " ඇය හැඳ සිටි කමිසයේ සදහන් වී තිබුනි.දෙවරක් පමණ වට පිට බැලූ ඇයගේ දෑස් මාගේ දෑස් සමග එකට යා වුනි.ටිකකින් ඇය මා දෙස පිය මැන්නාය.

අහෝ!! දෛවය.... ඔහේ මට කොලොප්පම් කරනවාද?

මා සිනහවකින් ඇයව පිලි ගත්තෙමි...

මා අසලටම පැමිනි ඇය තොදොල් වෙමින් කතා කරන්නට පටන් ගත්තය.

"අයියේ!! මේ බුක් මාර්ක් එකක් අරගෙන අපිට පොඩි සහයෝගයක් දෙනවද? "

ගෙදර අත හැර කොහේ හෝ යාමට මම ඒ මොහොතේම තීරණය කලෙමි.

Thursday, 20 December 2012

අවසාන මොහොත - "මම ඔයාට ආ........"


මෙය කීමට තිබුනේ බොහෝ කලකට පෙරය.සමහර විට ඇයව හදුනා ගත් දිනයේදීමය.නමුත් මේ අවසාන මොහොතේ ඇය කුමක් සිතාවිද.
උල්කාපාතයක් පොලව මතට කඩාගෙන පතිත වනවාට වඩා කම්පනයක් ඇයට දැනෙන්නට ඉඩ ඇත.
සත්තයි...මා එය එදා කියූවා නම්....
ඔව්....
එසේ නම් ලෝක විනාශය ඇයට අරුමයක් නොවන්නට ඉඩ තිබුනි.ඒ කම්පනය ඇයට තවත් එක විහිලුවක් වන්නට ඉඩ තිබුනි.නමුත් කාලය ගත වී අවසානය.
ඇයගේ දෙතොලෙහි වෙවුලන ස්වභාවය අගල් පහලවක් තරම් කුඩා වූ පරිඝණක තිරය මත දී වුවත් පැහැදිලිව දැක ගැනීමට හැකිය.ස්කයිප් ඔස්සේ සම්භන්ධ වී සිටින කී දහසක් දෙනෙකුගේ දෙතොල් මේ අයුරින් වෙවුලනවා ඇතිද.?
දෙවියනේ...ඇයගේ දෙතොල හන්තාන කන්ද මුදුනේ සීතල මිහිදුම් අතරේ තනි වූවෙකුගේ මෙන් සුදු මැලි වී ඇත.සමහර විට ඇය බියෙන් තැති ගෙන ඇත.

"තව කොච්චර වෙලාවක් අපිට ඉතුරුයිද?"'

සැලෙන දෙතොලෙන් ඇය විමසුවාය.

"මම දන්නේ නෑ නිර්මාණි.සමහර විට තව පැයක්.."

ඇය අත් ඔරලෝසුව දෙස දෙනෙත් යොමු කලාය.

"හ්ම්ම්ම්ම්ම්..පැයක්...මේ පැයට ඔයා මොනවා කරන්නද හිරූශ.විනාස වෙලාම යද්දෙන්.."

යටි අරමුණක් ඇතිව ඇය එල්ල කල වදන් හදවත මතම පතිත විය.උල්කාපාතය...නුඹ මෙතරම් ප්‍රමාද වන්නේ මන්ද...මේ පැය ඉවසාගෙන සිටීමට නොහැකි හැටි..
මාස තුනක් තිස්සේ ආදරය කියා ගත නොහැකිව සිටි මම පැයකින් කුමක් කරන්නද?
ලෝකය...උඹ විනාශ වී යද්දෙන්...
තවමත් ගැහෙන දෙතොල් පෙති...ඒවා කෙතරම් සීතල ඇද්ද...සමහර විට ලෝක විනාශයෙන් පසු ඉතිරිවන අවසාන ජීවී සුසුම් පොද වාතලයට එක් කරන සීතලද පරාද වනු ඇත.ඒ දෙතොල සිප ගන්නට ඇත්නම්...
එසේ නම් ලෝකය,උඹ මේ දැන්මම විනාස වී යද්දෙන්..

"හිරූශ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාට මොනව හරි කියන්න්න තියෙනවද...සමහර විට මේ අන්තිම විනාඩි කිහිපයේදී වත්.."

ඔව්...කියන්නට දහසකුත් දේ තිබේ..ඒත්....මේ අන්තිම විනාඩි කිහිපය?? පිස්සෙක්....මාස හතරක් තුල නොකී දේ අවසාන විනාඩි කිහිපයේ කියන්නේ කෙසේද...
විනාඩි කිහිපයක නිහැඩියාවක්...

"හිරූ....ඔයාට මතකද ඒ දවස...අපි දෙන්නා මුලින්ම හම්බුන දවස.."

ඇය අතීතයට යන්නේ මන්ද...අවසාන මොහොතේදීත් ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙය නොවේද...

දෙයියනේ මම ආදරෙයි....මම ආදරෙයි.....මම ඒක කියන්න ඕන...සිත මටම අවනත නැත...දා බිදු නලලත මතින් නැගේ...ලෝක විනාශය නිසාද ඒසේත් නැති නම්....

"මතකයි....එදා ඔයා කතා කරේ වචන කොච්චර අඩුවෙන්ද නිර්මානි...මම පිස්සෙක් වගේ කියෙව්වා...තේරුමක් නැති දාහක් දේ මම කියෙව්වා..."

"ඔව්...ඔයා මොනවාදෝ කියෙව්වා...මම ඒ හැම දේම අහගෙන ඉදියා...ඒත් අද??"

"අද මොනවා කියවන්නද...මාස හතරක් තිස්සේ කියවලම වචන හිදිලා..."

"වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ...ඔයාට කවදාවත් කතා කරන්න වචන නැති වෙන්න විදිහක් නෑ...ලෝකේ තියෙන හැම වචනයක්ම ඔයා කියවන්න ඇති මේ මාස හතරට..ඒත් එකම එක වචනයක් ඇර.."

නැවතත් ඒ නිශ්ශබ්දතාවය,...දෙවියනේ....මේ දැන්ම උල්කාපාතය කඩාගෙන වැටේ නම්....

වට පිටාව අදුරු වීගෙන යන හැටියකි..ඉදගෙන සිටින් පුටුවද ඒ මේ අත සෙලවේ...දෙවියනේ...මේ අවසානය විය යුතුය...

පරිඝනක තිරයෙන් ඇගේ දෙනෙත් දිස්වේ....කදුලු කැට කඩා හැලෙමින් පවතී...මා මෙය කිව යුතුය....

"නිර්මානි......මම ඔයාට ආදරෙයි....මම ඔයාට ආදරෙයි...."
 
 
"ඕයි....තොට මාන්දමද....නැගිටලා පිටි එක බීපන් හොටු හිවලා..."
හුටා සිදු වූයේ කුමක්ද....ලෝක විනාසය කැන්සල් ද...
ඇද ඉස්සරහා චූටි මල්ලී හිටගෙන සිටී..උගේ අතේ කිරි වීදුරුවකි...
සරමත් කොහෙන්දෝ හොයාගත් මම හනි හනිකට කුක්කු ටික බීවෙමි..
චූටි මල්ලිගේ වෙනසක් නැත..හොද වෙලාවට මම හීනෙන් මුකුත් කියවා නැත..
කිරි වීදුරුවත් රැගෙන චූටි මල්ලී එලියට ගියේය..මම සුසුමක් හෙලුවෙමි..
මොහොතකින් දොර රෙද්ද මෑත් වෙයි...
""ඒ ලොකු අයියේ..."
"මොකො"
"කවුද බන් නිර්මාණි"
යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් ....