Thursday, 27 December 2012

නිවාඩුව - අයියේ! නායකත්ව පුහුනුවට යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "


නිවාඩුවට ගෙදර ඇවිල්ලාත් දැන් දවස් සෑහෙන ගානක්ය.
මේ දවස් වල ගෙදර එකම යුද්ධයකි,පොඩි මල්ලී නායකත්ව පුහුණුවට යාමට සූදානමින් සිටී.උගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ලොකු අයියා වන මාය.ලොකු අයියා වීමේ වාසිය එයයි.පුහුණුවට ගෙනයන්නට ඕනෑ සියලු බඩු භාන්ඩ ආදිය ගැන විස්තර අසා ගන්නේ මගෙන්ය.
 එකක් අසාගෙන තව විනාඩි කිහිපයකින් පොර දිව එයි..

"ඕයි...සපත්තු ගන්න ඕන මොන පාටද?"

"සුදු පාට...ගෑල්ලමයි දාන ජාතියේ ඒවා"

"තොගේ @#$%^&*(*&^%" (සංකේතාත්මකව පොර පිලිතුරු දෙයි )

ආයේ තව විනාඩි කිහිපයකින් නැවත දිව එයි...

"ඕයි උඹ මගේ අලුත්ම ඩෙනිම කැම්පස් එකට ගෙනිච්චා නේ..ඒක කෝ? " (පිසාච අඩවියේ පිසාචයා ඒ ඩෙනිම දැනටමත් අඳිනවා ඇතැයි මම සිතමි)

"ඒක දාලා ආවා"

"තොගේ #$%^&*()"  (නැවතත් ඒ සංකේත ටිකමය..)

ආයේ විනාඩි කිහිපයකින් දිව එයි!

"ඕයි යට ඇදුම් කීයක් ගෙනියන්න ඕනද? "

"උඹට නම් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ..."

"තොගේ @#$%^(_)(*&^%$ " (නැවත පෙර සංකේත ටිකමය )

පොඩි මල්ලීට මගෙන් ප්‍රශ්න අසා ඇති වන්නේ නැත.මටද උත්තර දි ඇති වන්නේ නැත.
පැත්තක් ගැනීමට නොහැකිව චූටි මල්ලී තනිවම සිනා සෙයි.උගේ සිනහව තවම හෙන ලාමකය.
 මා ගෙදර සිටියේ නැති දවස් කිහිපයට ඌ ටිකක් මහත් වෙලාය.පාට වැටිලාය.

පොර සිනහ සෙමින් මා අසලට පැමිනේ.චූටි මල්ලී සිනාහසීම මාගේ සිනහාසීමට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

"ලොකු අයියේ!! ෆේස් බුක් එකේ ඔයා ගෑල්ලමයෙක් එක්ක ඉන්නවා දාලා තිබ්බ ෆොටෝ එක මම අම්මට පෙන්නුවා"

අහෝ අයියනායක දෙයියනේ! අයියලාට මෙසේ වින කරන මල්ලිලා සිටීද.වයට අවුරුදු 12ක ඇට්ටරයෙක් කරන වැඩද මේ..

ගෙදර ආවාට වඩා හොස්ටල් එකේම සිටින්නට සිතෙන්නේ මේ වෙලාවටය.

කම්මැලිකම නිසා ගෙදර සිටින්නට සිත දෙන්නේද නැත.කරන්නට කිසිම දෙයක් නැති කමන් නිසා කොට කලිසමකුත් ඇදගෙන ගාල්ල පැත්තට බඩ ගෑවෙමි.

ගාල්ලත් වෙනස් වෙලාය.බස් නැවතුම් පලට හේත්තුවී විනාඩි කිහිපයක් සිටියෙමි.කොහේදෝ සිට සුලං රැල්ලක් පැමිනෙයි,දෑසත් වසාගෙන උඩු සුලඟට ඉව ඇල්ලුයෙමි.
නැවත දෑස් විවර කරද්දීම ඇය මා දෙස බලා සිටියාය.මම සලිත උනෙමි.මේ දිනවල ශුවර් එකට උල්කාපාතයක් පෘතුවිය අසලින් හෝ යනවා විය යුතුය.

          මාගේ ග්‍රහචාරය සිකුරා දෙසට නිතරම හැරේ..දකින දකින තැන සෙට් වන්නේ ගෑල්ලමයින්ය.පොත් මිටියක් දෑතට තුරුලු කරගෙන සිටි ඇය කවුරුන් හෝ එනතුරා සිටිනවා විය හැකිය. "University Of Ruhuna " ඇය හැඳ සිටි කමිසයේ සදහන් වී තිබුනි.දෙවරක් පමණ වට පිට බැලූ ඇයගේ දෑස් මාගේ දෑස් සමග එකට යා වුනි.ටිකකින් ඇය මා දෙස පිය මැන්නාය.

අහෝ!! දෛවය.... ඔහේ මට කොලොප්පම් කරනවාද?

මා සිනහවකින් ඇයව පිලි ගත්තෙමි...

මා අසලටම පැමිනි ඇය තොදොල් වෙමින් කතා කරන්නට පටන් ගත්තය.

"අයියේ!! මේ බුක් මාර්ක් එකක් අරගෙන අපිට පොඩි සහයෝගයක් දෙනවද? "

ගෙදර අත හැර කොහේ හෝ යාමට මම ඒ මොහොතේම තීරණය කලෙමි.

Thursday, 20 December 2012

අවසාන මොහොත - "මම ඔයාට ආ........"


මෙය කීමට තිබුනේ බොහෝ කලකට පෙරය.සමහර විට ඇයව හදුනා ගත් දිනයේදීමය.නමුත් මේ අවසාන මොහොතේ ඇය කුමක් සිතාවිද.
උල්කාපාතයක් පොලව මතට කඩාගෙන පතිත වනවාට වඩා කම්පනයක් ඇයට දැනෙන්නට ඉඩ ඇත.
සත්තයි...මා එය එදා කියූවා නම්....
ඔව්....
එසේ නම් ලෝක විනාශය ඇයට අරුමයක් නොවන්නට ඉඩ තිබුනි.ඒ කම්පනය ඇයට තවත් එක විහිලුවක් වන්නට ඉඩ තිබුනි.නමුත් කාලය ගත වී අවසානය.
ඇයගේ දෙතොලෙහි වෙවුලන ස්වභාවය අගල් පහලවක් තරම් කුඩා වූ පරිඝණක තිරය මත දී වුවත් පැහැදිලිව දැක ගැනීමට හැකිය.ස්කයිප් ඔස්සේ සම්භන්ධ වී සිටින කී දහසක් දෙනෙකුගේ දෙතොල් මේ අයුරින් වෙවුලනවා ඇතිද.?
දෙවියනේ...ඇයගේ දෙතොල හන්තාන කන්ද මුදුනේ සීතල මිහිදුම් අතරේ තනි වූවෙකුගේ මෙන් සුදු මැලි වී ඇත.සමහර විට ඇය බියෙන් තැති ගෙන ඇත.

"තව කොච්චර වෙලාවක් අපිට ඉතුරුයිද?"'

සැලෙන දෙතොලෙන් ඇය විමසුවාය.

"මම දන්නේ නෑ නිර්මාණි.සමහර විට තව පැයක්.."

ඇය අත් ඔරලෝසුව දෙස දෙනෙත් යොමු කලාය.

"හ්ම්ම්ම්ම්ම්..පැයක්...මේ පැයට ඔයා මොනවා කරන්නද හිරූශ.විනාස වෙලාම යද්දෙන්.."

යටි අරමුණක් ඇතිව ඇය එල්ල කල වදන් හදවත මතම පතිත විය.උල්කාපාතය...නුඹ මෙතරම් ප්‍රමාද වන්නේ මන්ද...මේ පැය ඉවසාගෙන සිටීමට නොහැකි හැටි..
මාස තුනක් තිස්සේ ආදරය කියා ගත නොහැකිව සිටි මම පැයකින් කුමක් කරන්නද?
ලෝකය...උඹ විනාශ වී යද්දෙන්...
තවමත් ගැහෙන දෙතොල් පෙති...ඒවා කෙතරම් සීතල ඇද්ද...සමහර විට ලෝක විනාශයෙන් පසු ඉතිරිවන අවසාන ජීවී සුසුම් පොද වාතලයට එක් කරන සීතලද පරාද වනු ඇත.ඒ දෙතොල සිප ගන්නට ඇත්නම්...
එසේ නම් ලෝකය,උඹ මේ දැන්මම විනාස වී යද්දෙන්..

"හිරූශ"

"හ්ම්ම්ම්ම්ම්ම්ම්"

"ඔයාට මොනව හරි කියන්න්න තියෙනවද...සමහර විට මේ අන්තිම විනාඩි කිහිපයේදී වත්.."

ඔව්...කියන්නට දහසකුත් දේ තිබේ..ඒත්....මේ අන්තිම විනාඩි කිහිපය?? පිස්සෙක්....මාස හතරක් තුල නොකී දේ අවසාන විනාඩි කිහිපයේ කියන්නේ කෙසේද...
විනාඩි කිහිපයක නිහැඩියාවක්...

"හිරූ....ඔයාට මතකද ඒ දවස...අපි දෙන්නා මුලින්ම හම්බුන දවස.."

ඇය අතීතයට යන්නේ මන්ද...අවසාන මොහොතේදීත් ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ ඒ දෙය නොවේද...

දෙයියනේ මම ආදරෙයි....මම ආදරෙයි.....මම ඒක කියන්න ඕන...සිත මටම අවනත නැත...දා බිදු නලලත මතින් නැගේ...ලෝක විනාශය නිසාද ඒසේත් නැති නම්....

"මතකයි....එදා ඔයා කතා කරේ වචන කොච්චර අඩුවෙන්ද නිර්මානි...මම පිස්සෙක් වගේ කියෙව්වා...තේරුමක් නැති දාහක් දේ මම කියෙව්වා..."

"ඔව්...ඔයා මොනවාදෝ කියෙව්වා...මම ඒ හැම දේම අහගෙන ඉදියා...ඒත් අද??"

"අද මොනවා කියවන්නද...මාස හතරක් තිස්සේ කියවලම වචන හිදිලා..."

"වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ...ඔයාට කවදාවත් කතා කරන්න වචන නැති වෙන්න විදිහක් නෑ...ලෝකේ තියෙන හැම වචනයක්ම ඔයා කියවන්න ඇති මේ මාස හතරට..ඒත් එකම එක වචනයක් ඇර.."

නැවතත් ඒ නිශ්ශබ්දතාවය,...දෙවියනේ....මේ දැන්ම උල්කාපාතය කඩාගෙන වැටේ නම්....

වට පිටාව අදුරු වීගෙන යන හැටියකි..ඉදගෙන සිටින් පුටුවද ඒ මේ අත සෙලවේ...දෙවියනේ...මේ අවසානය විය යුතුය...

පරිඝනක තිරයෙන් ඇගේ දෙනෙත් දිස්වේ....කදුලු කැට කඩා හැලෙමින් පවතී...මා මෙය කිව යුතුය....

"නිර්මානි......මම ඔයාට ආදරෙයි....මම ඔයාට ආදරෙයි...."
 
 
"ඕයි....තොට මාන්දමද....නැගිටලා පිටි එක බීපන් හොටු හිවලා..."
හුටා සිදු වූයේ කුමක්ද....ලෝක විනාසය කැන්සල් ද...
ඇද ඉස්සරහා චූටි මල්ලී හිටගෙන සිටී..උගේ අතේ කිරි වීදුරුවකි...
සරමත් කොහෙන්දෝ හොයාගත් මම හනි හනිකට කුක්කු ටික බීවෙමි..
චූටි මල්ලිගේ වෙනසක් නැත..හොද වෙලාවට මම හීනෙන් මුකුත් කියවා නැත..
කිරි වීදුරුවත් රැගෙන චූටි මල්ලී එලියට ගියේය..මම සුසුමක් හෙලුවෙමි..
මොහොතකින් දොර රෙද්ද මෑත් වෙයි...
""ඒ ලොකු අයියේ..."
"මොකො"
"කවුද බන් නිර්මාණි"
යකෝ...ලෝකය විනාශ වෙලාම ගියානම් ....

Monday, 8 October 2012

සමාවන්න ,මම වලත්තයෙකු නොවෙමි.........



"ලොකු පුතා.."

අම්මාගේ හඬින් මම කාමරයෙන් එලියට පැමිණියෙමි.
ඇයව පලමු වරට මා දුටුවේ අදය.ඇය කවුරුදැයි මම ඔබට නොකියමි.අඩුම වශයෙන් ඇයගේ නම මෙය යැයි ද මම නොකියමි.සමහර විට ඇය හැඩය.
නැත.නැත...
ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය.එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය.එම රෝස පැහැය මාගේ පෙම්වතියගේ දෙකොපුල් වල පැහැයට වඩා ටිකක් වැඩිය.දෙතොල් ආලේපන නිසාදෝයි මට සිතේ..
 මේ සියලු දේ නිරීක්ෂණය කිරීමට මට ලැබුනේ තත්පර දහයක්ම පමනි.
තත්පර දහයකට මෙපමන හරියක්? 
සමාවන්න..., හිතවත් පාඨකය..
මම වලත්තයෙක් නොවෙමි.මේ කොල්ලන්ගේ හැටිය.

"මේ ඉන්නේ නිර්මාණි ඇන්ටිගේ දුව.එයා ඔයාගේ පරණ පොත් ටික ඉල්ලගන්න ඇවිත් තියෙන්නේ" 

අම්මා ඇයව හඳුන්වා දුන්නාය. මට වැරදුනේ නැත..නිර්මාණි ඇන්ටී යනු බොරු නමකි.ඔබ කොපමන මගෙන් ඇසුවත් මම ඇයගේ ඇත්ත තතු හෙලි නොකරමි.කතාව පමණක්ම කියමි..

"යන්න දුව අයියා එක්ක"

ඇය රැගෙන යා යුත්තේ මාගේ කාමරයටද? අවුරුදු 18 ක කෙල්ලෙක් මගේ කාමරයට තනි පංගලමේ එක්ක යන්නේ කෙසේද? . අම්මා මා විශ්වාස කරන සෙයකි. නැත...ඇයගේ සිතේ යටි අරමුණක් තිබුනා ද විය හැකිය.

 ඇයගේ අඩුවක් නොමැත.ඇය හැඩය.හැම කෙල්ලෙක්ම වාගේ විලාසිතා වලට කැමතිය.අම්මාද මගේ පැත්තේ නම් මගේද අකමැත්තක් නොමැත.අහෝ..!! මා වලත්තයෙකු වේගන එන හැඩය.සමාවන්න නැගනිය.මට පෙම්වතියක් සිටියි.ඔබට කාමරයට ඒමට පමණක්ම මම ඉඩ දෙමි.මගේ හිතේ ඔබට ඉඩක් නැත..

දොර රෙද්ද මෑත් කරමින් අපි කාමරයට ඇතුලු වූයෙමු.
අඳුරු වී ගොස් තිබූ කාමරයම ඇයගේ ආගමනයත් සමඟම ආලෝකමත් වූවාදෝයි මට සිතේ.

 "ඕන පොත් ටික මේසේ උඩ ඇති.නංගි තෝරලා ගන්න."

මා පැවසීමටත් පෙර ඇය මේසය දෙසට ඇවිදගෙන ගියාය.

"ඊට ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ" 

මේසයට මුහුණලා තිබු ජනෙල් පලු තුන අතරින් මැද ජනෙල් පලුව විවෘත කිරීමට ඇය දිග ඇදුනාය.ඇයගේ අත දිග මදිය.ඇය තවත් ඇදුනාය.ඩෙනිම් කලිසමත් බ්ලවුසයත් අතර අඟල් කිහිපයක වෙනසක් තත්පර කිහිපයකට ඇති වුනි.මා කෙතරම් ඒ දෙස බලා සිටියේදැයි මට මතක නැත.කාලය නැවතී ඇති සෙයකි.සමාවන්න...මම වලත්තයෙක් නොවෙමි.මම දුටුව දේ පමණක්ම ලියමි.

"ඔන්න දැන් තමයි මනුස්සයෙකුට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ මේ කාමරේ"

සිහින් සිනාවකින් මුව සරසාගත් ඇය මා දෙස හැරෙමින් පවසයි.
දෙවියනේ!!! ඇය හැඩය..කෙලිලොල්ය.කුලුපගය

පියවර කිහිපයක් පසු පසට අඩි තැබූ ඇය නැවත මේසය අසලට පැමිණියාය.

"මේ පොත් ගොඩේ මම කොහොමද ඕන පොත් ටික තෝරගන්නේ..මේක නිකන් පිස්සන් කොටුවක් වගේ නේ"

ඇය නැවත සිනාසෙයි..මා වහා කන්නාඩිය ඉදිරියට යා යුතුය.මාගේ මුහුනේ ඉරියව් බලා ගත යුතුමය.නැතිනම් ඇය මා ගැන වරදවා සිතනු ඇත.මෙතරම් කුලුපග වන්නට අප පෙර දැන සිටියේ නැත.යුවතියෝ ලැජ්ජාශීලී විය යුතුය.සම්ප්‍රධායද එයයි.ඇය සම්ප්‍රධාය බිඳ දමමින් යයි.කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ මෙවැනි යුවතියක් නොවේද.? ඇය මට නොගැලපෙන්නේද?
 සමාවන්න...මම වලත්තයෙකු නොවෙමි..මට පෙම්වතියක් සිටියි...මම නැත සිහියට පැමිනිය යුතුය..

"අයියා.."

"ම්ම්ම්ම්"

"මම මේ මේසේ ටිකක් පිළිවලකට හැදුවට කමක් නැද්ද?"

දෙවියනේ....ඇය අවසර ඉල්ලනවා නොවේද...?මාගේ ජීවිතයද මේ ලෙසම පිළිවලකට සෑදීමට ඔබට අවසර දෙන්නට පුලුවන් නම්..මම තනිවම සිතුවෙමි...මම ඇයට පිලිතුරක් දිය යුතුය.ඇය මා දෙස බලා සිටී..

"හදන්න හදන්න..ඒත් සමහර පොත් ඒ තැන් වලම ආයේ තිබ්බොත් තමා හොඳ"

අරමුණ ඉටු කරගත් කෙනෙකුගේ මුවෙහි පහල වන සිනා රැල්ලක් ඇයගේ මුව මඬල පුරා පැතිරෙයි.

"එහෙනම් ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න..මගේ මේසේ නෙමේනේ"

හිතුවක්කාරෙට මගේ කාමරයට පැමිනි ඇය , මාගේම පොත් මේසය සෑදීමට මටම ආරාධනා කරන අපූරුව..අම්මාගේ යටි අරමුණ මම තේරුම් ගත්තෙමි.පෙම්වතියක් සිටියාට කම් නැත.මාගේ පොත් මේසය පිළිවලකට සෑදීමට මේ කෙලිලොල් යුවතියට ඉඩ ලබා දිය යුතුය.

"ඔය අයිනේ තියෙන හැම එකම වගේ කැම්පස් එකේ පොත්.ඒවා ඒ අයිනෙම තියෙන්න අරින්න."

ලා නිල් පැහැති පාට කල නියපොතු සහිත අතින් ඇය පොත් එකින් එක එකතු කරයි.ඉන්පසු ඒවා ලමැදට තබා හිරකර ගනී.මේසය උඩ ඇති පොතක් වන්නට ඇතිනම් යැයි මට සිතේ.නැවත පා ඇඟිලි වලින් ඇය ඉස්සෙයි..මේසයේ කෙලවරටම අත දිගු කරයි..ඩෙනිම සහ බ්ලවුසය අතර පෙර පරිදිම හිඩසක්! මා ඒ දෙස බලාගෙන සිටියෙමි.බලා සිටියාට වලත්තයෙකු වන්නේ නැත.මේ මොහොත උපරිමයෙන්ම විඳිය යුතුය.ඔව්...උපරිමයෙන්ම විඳිය යුතුය.

"ඉංග්‍රීසි පොත් වගයක්,මේවා අයියට ඕනද?"

ඇය පොත් වල පිටු පෙරලමින් මගෙන් අසයි..මාගේ ජීවිතය මට ඕනෑ විදිහට හැඩ කරන්න ඔයාට අවසරයි!

"කෝ බලන්න..."

මම ඇයට කිට්ටු වුනෙමි.ඇයගේ අතේ තිබූ පොත ගැනීම අනවශ්‍ය කරුණකි.නමුත් මම එය ගත්තෙමි.හිතා මතාම ඇයගේ අතෙහි මගේ අත වැද්දූයෙමි.එතරම් සිනිඳු බවක් මා මීට පෙර විඳ නැත.ඒ තත්තපරය!!!

"ඒ ටිකත් එතනම තියන්න.."

"ඒ උනාට ඒවා ඉංග්‍රීසි පොත්නේ අයියේ.ඒ ටික වෙනම තියමු."

"නෑ...ඒ ටිකත් කැම්පස් එකේ පොත්..ඒක නිසා එතනින් තියන්නකෝ."

ඇය ගැස්සුවේය..

"පණ්ඩිතයා නොවී ඉන්නෝ හලෝ..මම මේක පිළිවලකට හදලා දෙන්නම්"

මේක හරි වැඩක්ය.මම ඇයට පොත් මේසය හදන්නට කීවේ නැත.ඇයම බලෙන් එය හදන්නට ඉල්ලා ගත්තේය.ඇයටම ඕන පරිද්දෙන් එය සාදාගෙන යන්නේය..මාගේ ජීවිතයත් ඇය මෙහෙම කලොත්...?
ප්‍රශ්නයකි.... පොත් මේසය නම් ඇය ගිය පසු නැවත මට හදා ගත හැකිය...ඒත් ජීවිතය...?
අම්මාගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතුය.මා මේ යුවතියක් සමඟ තනිවම කාමරයට වී සිටීම සිදු නොකල යුතුය...මෙතනින් පැනගත යුතුය..මට පෙම්වතියක් සිටී..මම වලත්තයෙක් නොවිය යුතුය..

"නංගී ඕක හදලා ඕන පොත් ටික අරන් යන්න"

"අයියා?"


ඇය පුදුමයෙන් හා දුකෙන් අසයි

"යාලුවෙක් එනවා කිව්වා ටවුන් එකට.. දැන් මම යන්න ඕන"

ඇයගේ මුහුනේ ඉරියවු වෙනස් වීගෙන එයි..ඒ දෙස මොහොතක් වත් නොබැලූ මම කාමරයෙන් එලියට පැනගත්තෙමි.ජීවිතය යනු හැඟීම් ඔස්සේ ගොස් වරද්දා ගත යුතු නැති දෙයකි.වලත්තයෙකු යනු කැත වචනයක් ද නොවේ..අපි සැවොම කිසියම් මොහොතකදී හෝ වලත්තවේ..එය මෙය යැයි කියන්නේ එහෙමත් එකෙකි.

ජංගම දුරකතනය අතට ගත් මම පෙම්වතියගේ අංකය ඇමතූයෙමි....