Sunday, 21 July 2013

විසේකාර පෙම්වතී (My Girlfriend) - "පට්ට කෑල්ල බං"



සැප්තැම්බර් 30

මට අඩි දෙක තුනක් ඉදිරියෙන් ඇය ගමන් කරමින් සිටියාය.කුමක් හෝ හේතුවකට මම ඇයට වඩා අඩි දෙක තුනක් පසුපසින් ගමන් කලෙමි.
නැත..හේතුවක් නැත..මා සෑම විටම සිටියේ ඇයට පිටු පසිනි..
ඇගටම ඇලුණු ඩෙනිම් කලිසමෙන් ඇයගේ පශ්චාත් ප්‍රදේශය ඉස් මතුවී පෙනේ.ඇය අඩි 5කුත් අගල් 6ක් උස වූවත් දමා ඇති අගල් තුන හතරක් උස අඩි පාවහන් හේතුවෙන් ඇයගේ උස වැඩියෙන් පෙනේ.අමුතු ලෙස පීරා තිබූ කොන්ඩයට දමා තිබූ විලාසිතාව කුමක්දැයි මට තවමත් තේරුම් ගත නොහැකිය.ඉතින් මේ පිරිමි හිත හිරි වැට්ටීම අරුමයක් නොවේ.හිරි වැටුනේ මේ පිරිමි හිතම පමනක් නොවේ.ඇය පසු කර යන හැම පිරිමි හිතක්ම හිරි වැටී ගොස් ඇති බව, ඔවුන් ඈ දෙස බලන බැල්මෙන් වැටහේ..

"පට්ට කෑල්ල බං"

ඇය පසුකරගෙන යන හිරිමල් වයසේ කොලු ගැටයෙකු පවසනවා මාගේ සවනත වැටුනි.
තවත් බලා සිටිය නොහැක..පෙර කියූ අඩි තුන හතරක පරතරය අවම කර ගැනීමට හනි හනිකට මම පා තැබුවෙමි.කලබලයත් , ඉක්මන් ගමනත් නිසා වැරදීමකින් ඇයගේ දකුණු පාදය මත මාගේ වම් පාදය පතිත විය..එසැනි මාවෙත හැරුණු ඇය කට හඩ අවදි කලාය...

"ඌයීයා තාරක...මට රිදුනා"
ඔබගේ හිත්වලද ඇය ගැන බලාපොරොත්තු තිබුනා නම් කරුණාකර ඒවා ඉවත් කරගන්න..ඇය මාගේ පෙම්වතියයි.
මා ඇයගේ පාදය දෙස බැලූයෙමි..රක්ත වර්ණ ගැන්වූ නියපොතු දුඹුරු පැහැ මඩ තට්ටුවකින් වැසී ගොස් තිබුනි.සුදු පැහැති දකුණු කකුල ක්ෂණයකින් අවලස්සන කිරීම හේතුවෙන් මම මටම බැන ගත්තෙමි.

"සොරි නෙත්මි..වැරදිලා පෑගුනේ.."
"මැට්ටා.."

එක් අතක් මාගේ උරහිස මත තැබූ ඇය වම් පාදයට බර දි දකුණු පාදය ඔසවා ගත්තාය.අඩි 6කට වඩා උස තිබීමේ වාසිය එයයි.

"ඉන්නවකෝ හොද වැඩක් කරන්න "

ගමන් මල්ලෙන් එලියට ගත් ටිෂූ කඩදහියකින් දෙපා පිහිදන ගමන් ඇය තොදොල් වූවාය.
පාදය හොදින් පිස දමා ටිෂූ කඩදහිය අසල තිබූ කානුවක් වෙත විසි කල ඇය , මා වෙනතක් බලාගත් සැනෙකින් මාගේ පාදය මත ඇයගේ උස්වූ , වුල් වූත් සෙරෙප්පුව පතිත කලාය.

"ආවු.."

සිතුවාටත් වඩා වැඩි හඩකින් පිටවූ ඒ ශබ්දය වට පිටේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේම දෙනෙත් මා දෙස එල්ලවීමට හේතුවක් විය.
ඇය සිනා සුනාය..මා තුරුලු කරගෙනම සිනා සුනාය..විටෙක ඇයගේ ඔලුව මාගේ උරහිස මත තබාගෙන ඇය සිනාසෙයි.පිරිමියෙක් අඩි 6ක් වත් උස විය යුතුයැයි මම නැවත නැවත ඔබට කියන්නේ එබැවිනි...මේවා මට අමුතු දේවල් නොවීය.ඇය මට කෙලිලොල් ප්‍රේමවන්තියක්ම වූවාය.විසේකාරම ප්‍රේමවන්තියක් වූවාය.

"ආ...මෙන්න..."

තවත් ටුෂූ කඩදහියක් මාවෙත දිගු කරමින් ඇය පැවසයි.
මම මගේ දෙපා දෙස බැලූවෙමි..පෙරේදා අලුතෙන් පටියක් දැමූ නිසා රබර් සෙරෙප්පු කබල් දෙකේ වෙනසක් නොපෙනෙයි.
මා ජීවිතයේ සැබෑ තතු දැන දැනත් නෙත්මි මට ආලය කලාය..කැම්පස් වචන වලින් කිවතොත් ඇය මට බොක්කෙන්ම ලව් කලාය..
විශ්ව විද්‍යාලීය ජීවිතයේ මේ තාක් ගතකල අවුරුදු දෙක ඇතුලත ඇයගේ ආදරයේ අඩුවක් දක්නට නොලැබුනි.මම ඇයට කිසිදු තහංචියක් නොදැම්මෙමි.එසේයැයි කියා ඇය ඒ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේම නැත.මගේ හිතටත් වඩා මම ඇයගේ සිත විශ්වාස කලෙමි.එය අයිතිව තිබුනේ මටම පමනක් බව ,මම හොදාකාරව දනිමි.ඉතින් ඔබලා ඉරිසීයා නොකරන්න..ඇය මාගේ විසේකාර පෙම්වතිය වූවාය.
අඩුවක් තිබුනා නම් තිබුනේ ඇයගේත් මගේත් සමාජීය මට්ටමය.ඇය ඉහල පන්තියක එකියක් වූවාය.
එම වාක්‍යය තුල මා පහල පන්තියක එකෙක් බව ද ගැබ්ව තිබේ.එය සදහන් නොකලත් මාදෙස බලන්නෙකුට එය හොදින් වැටහේ.නෙත්මි ඒ කිසිවක් නොසැලකුවාය.ඉතින් ඒ ගැන මම තවත් හිතන්නේ කුමකටද?

------------------------------------------------

"ලොකු පුතේ......තාරක..."

මම කාමරයේ දොර රෙද්ද දෙස බැලූවෙමි..එය මෑත් කරමින් අම්මා කාමරයට ආවාය.

"පාඩම් කරනවද.."

"හ්ම්ම්ම්ම්"

කෙදිරියකින් පමනක් මම පිලිතුරු දුන්නෙමි..

"කවද්ද ආයේ යන්නේ?"

කතාවට මගෙන් ආරම්භයක් නොමැති තැන ඇය නැවත පැනයක් විමසුවාය.

"කැම්පස් එකටද?"

"හ්ම්ම්ම්ම්.." 
එවර කෙටි පිලිතුර ඇයගෙනි..

"අනිද්දා උදේම යන්න ඕනේ අම්මේ..එක්සෑම්  එක ඊලග සතියේ පටන් ගන්නවා.."
"හ්ම්ම්ම්ම්ම්"

දෙවරක් පමන මාගේ හිස අත ගෑ ඇය යන්නට හැරුනාය..මම නැවත පොත දෙසට ඔලුව හරවා ගත්තෙමි..

"ලොකු.."
"හ්ම්ම්ම්.."

ඔයා ලග රුපියල් 2000ක් විතර ගන්න නැද්ද පුතේ."

මාගේ මුහුණ දෙසවත් නොබලා ඇය විමසුවාය.සමහර විට කෙලින්ම මගෙන් විමසන්නට ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.තැනින් තැන ඉරීගොස් තිබූ ගවුම් රෙද්දකින් මසා නිමකල ඇයගේ ඇදුම , තව තවත් පරන වීගොස් යැයි මට සිතේ..දැනට මාස කිහිපයක සිටම ඇය දහවල් කාලයේ ගෙදර වැඩ කරනා විට හැදගෙන සිටින්නේ එම ඇදුමමය.ඇරත් ඇයට ඇදුම් තුන හතරකට වඩා නොතිබූ බව මම හොදාකාරවම දනිමි..

"එච්චර සල්ලියක් කොහේද අම්මේ.සර්ලා පන්ති පටන් අරන් දැන් ටික දවසක් නිසා පෝස්ටර් ගහන්න දෙන්නේ නෑ. මහපොල සල්ලි වලින් තමා මෙච්චර දවසක් කෑවේ.කොහොම හරි මමත් class එකක් කරන්න හිතන් ඉන්නවා.ඒකත් ඉතින් කවද්ද කියන්න බෑ."

"හ්ම්ම්ම්ම්...මම හිතුවා මහපොල සල්ලි කීයක් හරි ඇති කියලා."

"අනේ නෑ අම්මේ...මොකටද?"

"මල්ලිට, දොස්තරලා ලියන පොත් වගයකුයි පෑන් වගයකුයි ගන්න ඕනලු..පලවෙනි අවුරුද්ද නිසා ඔක්කොම අලුතෙන් ගන්නෝන කියන්නේ.."

දොර රෙද්ද මෑත් කරමින් ඇය යන්නට සැරසුනාය.සමහර විට මගෙන් මුදල් ඉල්ලීම ගැන ඇයට ලැජ්ජා සිතෙන්නට ඇත.

"මම කිව්වා අයියට කෝල් එකක් දීලා අහන්න කියලා.හෙට අනිද්දට කෝල් එකක් එයි.සල්ලී කීයක් හරි හොයා ගන්න පූලුවන් උනොත් ඌට දෙන්න පුතේ.."

"බලමු අම්මා..මම මොනවා හරි කරන්න බලන්නම්.."

දොර රෙද්ද වැසෙනවාත් සමගම මම මුදල් පසුම්බිය අතට ගත්තෙමි.කොල ගොඩක් අස්සට වන්නට දමා තිබූ රුපියල් දෙදහසේ කොලය අතට ගෙන මම නැවත පොත දෙස බැලුවෙමි..

-----------------------------------------------------------------------------

අවසානයේ මම සියල්ල අහවර කර ගත්තෙමි...දැන් මුලු මුදලම සම්පූර්ණ වනු ඇත.
ගමන් මල්ල තුල ඔබාගෙන සිටි අවසාන පෝස්ටරයත් තාප්පයේ අලවා හමාර කල මම ඩෙනිම් කලිසමේ ඉහිරී ගොස් තිබූ පාප්ප ටික දකුණු අතින් ගසා පිස දැමූයෙමි.කෙසේ හෝ මෙම ඩෙනිම තව දවස් 5ක් වත් එක දිගට ඇදිය යුතුය.මෙහි කුණු ගෑවුනොත් අදින්නට කලිසමක් නොමැති බව මම දැන සිටියෙමි.

"දිවයිනේ  ජනප්‍රිය දේශක නදීර හෙන්නායක මෙහයවන රසායන විද්‍යා නව පන්ති ආරම්භය"

පොල්ගෙඩි අකුරින් පෝස්ටරයේ ලියා තිබූ වදන් කිහිපය අඩි විස්සක් තිහක් ඈතට ගිය පසුවද පෙනේ.
පාර අයිනට වන්නට නවතා තිබූ බයිසිකල් කටුවට නැගී නැවත වරක් පොස්ටරය කියවා බැලූවෙමි...
නදීර හෙන්නායක වෙනුවට තාරක ගුණවර්ධන නම පෝස්ටරයෙන් මතුවී මැකී යයි..
එය තනිකරම සිහිනයක් යැයි වටහා ගැනීමට මට හොදටම ඕනෑකම ඇත.නමුත් කෙදිනක හෝ එය සැබෑවක් වුවහොත්..
අනුන්ගේ පෝස්ටර් ඇලවීමෙන් මා ලද විශාලතම ආත්ම තෘප්තිය එයයි. මේ පෝස්ටර් ඇලවීමත් සිහින දැකීමත් ,විශ්ව විද්‍යාලට පැමිණි දින සිටම ඒකාකාරව සිදු කෙරේ.වෙනසක් වූවා නම් සිදු වූයේ පෝස්ටර් ඇලවීම වෙනුවෙන් වෙනුවෙන් ගෙවන මුදලේ පමනි..

බයිසිකලය මත නැගි මම තවත් පැය භාගයකට පමන පසු ටියුශන් පන්තිය ඉදිරියට පැමිනියෙමි.තට්ටු කිහිපයක උස ගොඩනැගිල්ල පැත්තකට වන්නට තිබූ මාර ගසට බයිසිකලය හේත්තු කෙලෙමි.

"නදීර සර් ඉන්නවද?"

කාඩ් මිටියක් දකුනු අතේ හිරකරගෙන,නිල් පෑනින් මේසයට තට්ටු කරමින් සිටි තරුණයාගෙන් මම විමසීමි.

"ඇතුලේ ඇති" යැ‍යි මුවින් නොකී හෙතෙම දකුණු අත කාර්‍යාල දෙසට දිගු කලේය.

ටියුශන් පන්තියට එන නානා ප්‍රකාර තරුණියන් අතරේ මට ඇයගේ මුහුණ මතුවී පෙනේ.ඇයගේ සිනහවන් මතුවී පෙනේ...සැප්තැම්බර් 30 වීමට තව වැඩි දවසක් නොමැත..නමුත් මා කෙසේ හෝ ඇයව පුදුමයට පත් කල යුතුමය.මාගේ විසේකාර පෙම්වතිය මා පුදුමයට පත්කල යුතුමය.
සමහරවිට මේ ඉතුරු කල රුපියල් දෙදහසක මුදල සෑහීමට පුලුවන.නමුත් එම මුදල මදි වුවහොත්..නැවත ඇයගේ රූපය මතුවී පෙනේ.ඒ සියුමැලි මුහුනට නොගැලපෙන සිනහ හඩක් එක් වරම මතුවේ...ඒ සමගම ශරීරයම සෙලවෙන බවක් දැනේ.

"තාරක...තාරක.."

"සර්"

නදීර හෙන්නායක මහතා මා ඉදිරියේ සිනහ සෙමින් සිටියි.

"මොකො බං..මොනවද හිතන්නේ.."

"මුකුත් නෑ සර්." මම සිනහසෙමින්ම පැවසීමි..

"ඔන්න ඕකනේ මම කැම්පස් කොල්ලොන්ට වැඩ දෙන්න කැමති නැත්තේ.පොඩ්ඩ ඇත්නම් මනෝ ගහනවා..හරි කියපන්..ඔක්කොම ටික ඇලෙව්වද?"

"ඇලෙව්වා සර්..මට දීපු Area එකම Cover වෙන විදිහට ඇලෙව්වා.."

"උඹත් එක්ක ආව අනිත් උන් නම් ගාන අරන් ගියා.උඹ විතරයි එන්න හිටියේ.මම හිතුවා උඹ පෝස්ටර් මිටියත් අරන් මාරු වෙලා කියලා.."

රුපියල් පන්සියයේ කොලය මාගේ අත්ලේ තබමින් හෙතම සිනාසෙමින් පැවසීය.

"හරිනේ...ආයේ වැඩක් ආවොත් මම කෝල් එකක් දෙන්නම්."

"සර්..." යන්නට හැරුනු ඔහු මාගේ ආමන්ත්‍රනයත් සමගම නැවතුනේය..

"මොකෝ ඒපාර"

"පොඩි උදව්වක් ඕනේ..මේ පන්සීයේ කොල හතර අරන් මට දෙදාහේ කොලයක් දෙන්න පුලුවන්ද?"

ඔහුට සිනහ ගියේය..එම සිනහවත් සහිතවම මුදල් පසුම්බිය අතට ගත් හෙතෙම දෙදහසේ කොලයක් පිටතට ගත්තේය.

අවසානයේ පන්සියයේ කොල හතර වෙනුවට දෙදහසේ කොලයක් මා අත්ල මත ගුලි විනි.පසුම්බිය එලියට ඇදගත් මම , එහි තිබූ කොල කෑලි කිහිපයක් අතරට තබා එය සගවා ගත්තෙමි...

--------------------------------------------------

හන්තාන කදු මුදුන මත ඇති දුරකතන කුලුණ දෙස මමත් ඇයත් අක්බාර් පාලම මතට වී බලා සිටියෙමු.අප පසුකර යන ඉන්ජිනේරු පීඨ සිසුන් මට නොදැනෙන්නට ඇය දෙස බලාගෙන යන බව මම හොදා කාරයෙන් දැන වුන්නෙමි.එය මට ආඩම්බරයට කරුණක්ද එසේත් නැතිනම් ඉරිසියා කිරීමට කරුණක් දැ‍යි මම නොදනිමි.

"අර Tower එක හදන්න ඕන කරන දේවල් කොහොම හන්තාන උඩට ගෙනිච්චද මන්දා"

සෑහෙන්න සංකීර්න ප්‍රශ්නයක් ලෙස ඇය පහු ගිය මිනිත්තු කිහිපයේදීම නොකඩවා මේ ගැනම මගෙන් ඇසුවාය.
නැත...එක් අතකට ඇයට ප්‍රශ්න විය යුත්තේ මේවාය.ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන ඇයට වෙන මොන ප්‍රශ්නද..?
මට සිහින් සිනහවක් මතු වේ..

"මොකො යකෝ හිනාවෙන්නේ..."

ඇය මා කොනිත්තයි...වට පිට යන අය තව තවත් අපදෙස බලයි..

"පිස්සියේ,අනිත් අයට පේනවා..."

"ඉතින් මොකො...මගේ නේ..."

"පිස්සු....මම මගේ විතරයි...මගේ අත..මගේ කට... මගේ..."

"ආ....කට ඔයාගෙද....ඉන්නවකෝ එහෙනම්..."
ඉන් පසු ඇය වටපිට බලයි..පාලම මතින් කිසිවෙකුත් ගමන් නොකරන තුරු හිත තදින් මා දෙතොල සිපගනී.විදුලි දහරාවක් ඇගපුරා ගලාගෙන යන ඒ තත්පර කිහිපය..

"ඇද්ද...දැන් කට මගේ...ම්ම්ම්ම්ම්ම්ම්..අයිස්ක්‍රීම් රසයි..." තම දෙතොල් දිවෙන් පිරිමදිමින් ඇය පවසයි..

ඇයට ආලය කිරීමට හේතු ඇසුවහොත් උඩින්ම ඇති හේතු කිහිපයට මේ විසේකාර බව ඇතුලත් විය යුතුමය.

"අයිස්ක්‍රීම් නෙමේ...ඔන්න ලිෆ්ස්ටික් තට්ටුවයි , මේකප් තට්ටුවයි ගැලවිලා බිමට වැටුනා..දැන් හැටි බලනවකෝ කන්නාඩියෙන්..කබරියෙක් වගේ.."

"ර්‍රර්‍රර්‍රර්‍ර...ඌරා.."
"තෑන්කියු අනේ..."
"කලවැද්දා.."
"තව ටිකක් තැන්කියු"
"ජිරාෆ්"
"හෙහෙ..ඉතින් මොකො ඔයා මේ ඌරා,කලවැද්දා,ජිරාෆ් එක්ක ඉන්නේ.."

"ඉන්නේද.."  ඇය නැවත වට පිට බලයි..ඉන්පසු පෙර කියූ විදුලියක් ගමන් කරන සුලු මොහොතක අත්දැකීම.

"ඉන්නේ ආදරේ නිසා.."

 ඔව්...සැබැවින්ම ඇය මට ආලය කලාය.පුරා වසර දෙකක් මුලුල්ලේ මාහා සිටියේ ඇය සැබැවින්ම මට ආලය කල බැවිනි..
ඉතින් මේ සැප්තැම්බර් 30 වන දින මම ඇයට විශේෂ යමක් දිය යුතුමය.

අහා....සමාවන්න..සැප්තැම්බර් 30 ,  මට එය මීට පෙර ඔබට සදහන් කිරීමට නොහැකි වින..ඇයගේ උපන්දිනය සැප්තැම්බර් 30 වන දිනට යෙදී තිබුනි.
ඉතින් පෙම්වතෙකු ලෙස මම ඇයට කුමක් හෝ විශේෂ දෙයක් ලබාදිය යුතුයමය.
ඔව්...එම විශේෂ දෙය කුමක්දැයි මම මේ වනවිටත් තීරණය කර හමාරය.සැබැවින්ම එය තීරණය කිරීම එතරම් අපහසු වුනේම නැත.

"නෙත්මි.."

"මොකො ඒ පාර"

"දැන් ඔයාට ඉන්න අර ටෙඩිබෙයාර් , බෝනික්කෝ Collection එකේ ඔක්කොම කීයක් විතර ඉන්නවද?"

"අනේ යනවා යන්න විහිලු නොකර..ආයේ ඒක අල්ලගත්තා මට විහිලු කරන්න.
"විහිලු නෙමේ..කියන්න ඉතින්.."

"විසි එකයි"

"ඉතින් තාත්තා මේ අවුරුද්දෙත් උපන්දිනේට එකක් අරන් දෙනවා කිව්වද?"

"පිස්සු...මම දැන් පොඩි එකෙක්යැ..අනික මට මේ ලොකූ ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්නේ..." නැවත පෙර කියූ විදුලිය ගමන් කල මොහොත...

"ඒත් ඉතින් මගේ ලග ඉන්න ඔක්කොම මේන් මෙච්චර සයිස්.."
ඇය දණහිස මට්ටමට අත තබා පෙන්නුවාය..ඒත් මම ආසයි මේන් මේ සයිස් එකෙකුට..."  
ඉගටිය තෙක් අත ඉහලට ගෙන ආ ඇය නව මට්ටම සලකුනු කලාය..මම දැක්කා ඒ සයිස් එකෙක් ඉන්නවා නුවර Shop එකක."

මම සිනාසීමි.ටිකක් අමුතු වීදිහකට සිනාසීමි.

"මොකො ඔහොම හිනාවෙන්නේ.."

"නෑ ඉතින්...ඔහොම එක එක සයිස් කඩවල විකුනන්න තිබුනම අහිංසක අපිට මොකද වෙන්නේ..."
"ආ....පෝ.......ඔයා නම්.....හඃ... හොද නෑ...."

ලැජ්ජාවෙන් තව තවත් ඇය මාහට තුරුලු වූවාය..

-----------------------------------------------------------------

"ඒයි.....මොනාද හිතන්නේ..."

ඇය තවමත් ටිශූ කඩදාසිය මාවෙත දිගු කරගෙනමය.මඩ තට්ටුව තවමත් පාදය මත තිබූ ලෙසටම තිබේ..
ටිශූ කඩදහිය ඇයගෙන් ගත් මම පාදය පිසදාගත්තෙමි..

"හරි යමු.."

ඇය වහ වහා මාගේ දෑතේ එල්ලීගත්තාය..

"ඉතින් දැන්වත් කියන්නකෝ තාරක..අපි කොහේටද යන්නේ කියලා"

"ඒවා දැන්ම කියන්නෑ...පොඩි කුතුහලයක් තියෙන්නත් ඕනේ නේ.."

"හුහ්.." 
ඇය ගස්සා ඉවත බලාගත්තාය.ඉන් පසුව කට ඇද කලාය..
සෙනග පිරුනු වීදී අතරින්, කහ ඉරි වලින් පාර මාරු වෙමින්ම අපි අදාල ස්ථානයට පැමිනියෙමු.
අහා...මට නැවත වරක් අමතක විනි.අපි මේ යන්නේ කොහේටදැයි ඔබට කීමට මට මතක නැතිවී ගොස් තිබුනි.සැබැවින්ම එය කුඩා ලමුන්ගේ කෙලි සෙල්ලම් බඩු විකිනීමට තබා තිබූ කඩයකි.එහි ඉදිරිපිට වීදුරු ඇසුරුම තුලින් නෙත්මිගේ ඉගටිය දක්වා උස්වූ බෝනික්කෙක් විය.

Rs:1999.99 .

 මිල සදහන් කල කොල කැබැල්ල බෝනික්කාගේ කරෙහි එල්ලා තිබුනි.

"තාරක.."
ඇය නොසන්සුන් හඩින් මා ඉදිරියේ දෑස් ලොකු කරගෙන බලාගෙන සිටියාය..

"ඔයා ඇත්තටම ඒක ගන්නද යන්න්?"

ඔව් කියන්නට මෙන් මම සිනහසුනෙමි...

"අනේ...ඒත් කොහෙන්ද සල්ලි....?"

"අනේ පිස්සී...ඔය ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නම්..ඉස්සෙල්ලා අපි ඒක අරගෙන ඉමුකෝ..."

කඩය තුලට අඩිය තබනවාත් සමගම මාගේ ජංගම දුරකතනය නාදවන්නට විය..

"Malli Calling....."
ජංගම දුරකතනයේ තිරය මත සදහන් වී තිබේ..
දෙවරක් නොසිතාම ඇමතුම විසංදි කල මම නෙත්මිත් රැගෙන කඩය තුලට පිය මැන්නෙමි...
  
   නිමි.
 

  (නම් ගම් පමනක් නොව , කතාවද මනඃකල්පිතයි )
      

Sunday, 28 April 2013

චූටි මල්ලීගේ ප්‍රේමවන්තිය - "මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."



පේරාදෙණිය හන්දියෙන් උදෑසන 5.20ට මාතර බලා ධාවනය වන දුම් රියට හනි හනිකට ගොඩ වී ගෑල්ලමයෙක් ලග ආසනයක පස්චාත් භාගය ස්තාන ගත කර වාඩි වී සුව නින්දකට සැරසුනා පමනි.අලුතෙන්ම මිලදී ගත් මාගේ ජංගම මෙව්වා එක එහා පැත්තේ සිටි ගෑල්ලමයාගේද නින්ද කඩමින් දෙදරා ගියේය.ඇය එක් වරක් මා හට ඔරවා ඉවත බලාගත්තාය.මම කුප්ප ලෙස සිනා සුනෙමි.
දුරකතන තිරයේ දිස් වන පරිදි ඇමතුම අම්මගෙනි.පුතෙකු ගෙදර එද්දී හැම අම්මා කෙනෙක්ටම එය ඉවෙන් මෙන් වැටහේ.අපේ අම්මාටද එසේමය.මා අද ගෙදර එන බව අම්මාට නොකිවෙමි.ඇයව පුදුමයට පත් කිරීමට සිතා ගෙනෙ සිටියද වැඩේ කචල් වෙන හැඩය.දැන් ඉතින් ඇමතුමට පිලිතුරු දී මා ගෙදර එන බව පැවසිය යුතුය.

"හෙලෝ අම්මා..."
 ඔබන තිරයේ ඇති Answer බොත්තම ඔබමින්ම මම ඇමතුමට පිලිතුරු දුන්නෙමි..

"හෙලෝ ලොකු අයියේ.."

තූ....නෙද්දකින්ය...මේ උදේ පාන්දර ඇමතුම චූටි මල්ලී ගොබිලයාගෙනි..චූටි කාලයේ සිටම මේකාට , කලිසමේ චූ කර ගැනීම නිසා තිබූ නින්ද නොයෑමේ රෝගය නැවත ඉස්මතුවී ඇද්දැයි මට සැකයක් තිබේ.නැති නම් උදෑසන 5.20 ට ලොකු අයියලාට කෝල් කරන චූටි මල්ලිලාත් අද කාලයේ සිටීද?

"මොකෝ උගුඩුවෝ...තොට නින්ද යන්නේ නැද්ද මේ උදේ පාන්දර මිනිස්සුන්ට වද දෙන්නේ..."

මාගේ ආසනයේ සිටි කෙල්ල දෙනෙත් ලොකු කරගෙනම මා දෙස බලාගෙනම සිටී.මා ඇය දෙස බැලූ විටම ඇය තව තවත් ජනේලය දෙසට වූවාය.

"හෙලෝ අම්මා කියලා අම්මලාට උගුඩුවෝ කියලා බනින පුතාලත් අද කාලේ ඉන්නව නේ..." මේ ඇයගේ සිතුවිලි වල ශිෂ්ඨ සංශිප්තයයි.

මම නැවත පෙර කියූ කුප්ප සිනහවෙන්ම ඇයට සංග්‍රහ කලෙමි. 

"ලොකු අයියේ...ඔයා ගෙදර එන්නේ කවද්ද ?"

"මේ එනගමන් තමා යකෝ ඉන්නේ...රෙද්ද...තෝ නිසා නිදාගන්නත් නෑ..."

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..අයියා තමා විසදන්න ඉන්න එකම එක්කෙනා..."

"නෙද්දකින් හාල්පාරුවා...මම ඒත් බැලුවා , ලොකු අයියා , ඔයා , වගේ හෙන හැගීම් දනවන වචන වලින් මට කතා කරද්දී මොකක් හරි බටර් පාරකට තමා සෙට් වෙන්නේ කියලා...කියපන්..මොකක්ද වෙන්න ඕන?"

 මේකාට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ද ගැටලුවක් නොවිය යුතුය.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් මාගේන් උදව් ඉල්ලන්නේ නැත.එසේ නම් මෙම ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීගේ ජංගම දුරකතනයටය..එයත් දැන් පාවිච්චි කරන්නේ නවීන පන්නයේ ඔබ ඔබා කතා කරන ජංගම දුරකතනයකි.

"මේක ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ"

"ඈ..යකෝ තොට තියෙන්නේ ලිංගික ප්‍රශ්නයක්ද? "

කෙල්ල නැවතත් මා දෙස බලයි..රවයි..ඔරවයි...ඉන් පසුව නැගිට හිස්ව ඇති වෙනත් ආසනයකට පියමන් කරයි..මම නැවත අර කුප්ප සිනහව...

 "පිස්සුද ඕයි...මේක මගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්"

මම හිතුවා හරීයටම හරිය..මේක අධ්‍යාපන ප්‍රශ්නයක් නොවේය. 

"අඩේ....කවුද කෙල්ල? " ඉවෙන් මෙන් ප්‍රශ්නය තෝරාගත් මම චූටි මල්ලීගෙන් ඇසූවෙමි.

"කෙල්ල ගැන කියන්නම්...ඉස්සෙල්ලා තමුසේ ඉක්මනට ගෙදර එනවකෝ.."

 "ඉක්මනට එන්න බෑ යකෝ..කෝච්චිය එන වෙලාවට එන්නම්..එතකල් මැරෙන්නේ නැතුව හිටපන්... "

"අනේ මේ ලොකු අයියේ... @$@$#%## "
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ නමය වසරේ ඇම්බිත්ති කොල්ලෝ පාවිච්චි ක‍රන කුනුහර්පයකි.. )

මම ජංගම දුරකතනය විසංදි කලෙමි..

චූටි මල්ලීට කෙල්ලෙක්ට වත් හිත ගොස් ඇද්ද? එය අම්බානෙක පුදුමය දනවන සුලුය..උගේ ලොකු අයියා මමය.එම නිසා එක් අතකට එය පුදුමය දනවන සුලු නැත.පුදුමය දනවන සුලු වන්නේ කෙල්ලෙක්ට හිත යෑමට මෙතරම් ප්‍රමාදවීම ගැනය.හරි නම් උගේ හිත මොන්ටිසෝරියේ සිටම කෙල්ලන්ට යා යුතුය. 
හිතවත් පාඨකය...මම නැවත නැවත ඔබට මතක් කරමි...මම උගේ ලොකු අයියාය..

නුවර සි ගෙදර දක්වා පැමිනෙන අතර මගදී චූටි මල්ලීගෙන් ඇමතුම් 5කි. මා අසලින් ඉවත් වූ ගෑල්ලමයින් ගනන 3කි.

කිසිදු උප්‍රද්‍රවයකින් තොරව ගෙදරට සැපැත් වන විට වේලාව මධ්‍යහන 12ටත් කිට්ටු වී ඇත.

වෙනදා දොරට විසි තිස් වතාවක් පමන තඩි බාන්නට සිදු වුනද අද මට එසේ සිදු වූයේ නොමැත. තඩි බාන්නට අත දිගු කරනවාත් සමගම දොර විවෘත විය...

"අම්මේ.....ලොකු අයියා ඇවිල්ලා...."

 පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය චූටි මල්ලී මුලු ගමටම ඇහෙන පරිද්දින් කෑගැසුවේය..ඉන් පසු වරක් උඩ පැන්නේය...

"කෝ දෙන්න අයියේ බෑග් ටික..මම ගිහින් තියන්නම්..."

මා කියන්නටත් පෙර මාගේ බෑග් සියල්ල උසුලාගත් ඔහු කාමරයට පිය මැන්නේය.

"ඔන්න මම අද අයියා එන නිසා අයියගේ කාමරේ ලස්සනට පිලිවලට හැදුවා.."

උගේ කතාව හෙන සිරාය.කාමරය අම්බානෙක පිලිවෙලය.මාගේ ඇද පට්ටම පිලිවෙලය.මාගේ ඇදට අඩි දෙකක් පමන වන්නට තිබූ පොඩි මල්ලීගේ ඇද නම් ගන්නට දෙයක් නැත.එහි ඇද රෙද්ද පාපිස්සට ගෙන ඇත.පාපිස්ස ඇද රෙද්දට ගෙන ඇත.පොරවන්නට ඇත්තේ මදුරු දැලකි.පොඩි මල්ලී ගැන මට අම්බානෙක දුකක් දැනුනි..

"ඇයි තෝ පොඩි අයියගේ ඇද හැදුවේ නැත්තේ.. " 
චූටි මල්ලීට චෝදනා කරමින් මම ඇසුවෙමි.

"ඕකාගේ ඇද හදලා මට මොනවද ලැබෙන්නේ..ඕන් අද එනවා කියලා තිබ්බා ඌත්..මම නම් හදයි උගේ ඇද...හ..."

මූ නම් රට ඇම්ඩෙකි.පොඩි මල්ලීට කෙලවා ලැබෙන ආත්ම තෘප්තිය මා අම්බානෙක විදිනා බව මූ දනී...එක් අතකට පුදුම වන්න දෙයක් නොමැත..මූ මගේම චූටි මල්ලීය..

 "හරි....දැන් කියපන් කවුද කෙල්ල? "

"කෙල්ලෙක් නෑ ඕයි..."

"එහෙනම් යකෝ තෝ දැන් කිව්වේ කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක් කියලා..."

"කෙල්ලෙක් ගැන තමා ප්‍රශ්නේ...මේකයි සීන් එක.. හැමදාම කොච්චියේදී හම්බෙන කෙල්ලෙක් ඉන්නෝ.... "

ඒ වචන කියා අවසන් වීමට පෙර මම , මාගේ ලාබාල කාලයට සිතෙන් පියමන් කලමි..

මා පහ වසරේදී හමු වූ කෝච්චියේ කෙල්ල....
ඇය මා දෙස බලයි...ඉන් පසු සිනා සෙයි..රවයි...අතේ ඇති අපි රජ ඉබ්බෝ ඉස්ටිකර් ඇලවූ පැන්සල් පෙට්ටිය කට කොනකින් හපයි.ඉන් පසු ගස්සා ඉවත බලා ගනී...මා පොඩි කාලේ දැමූ කුප්ප හිනාව දමයි.... රිච්මන්ඩ් කන්ද දුම් රිය පලේදී මාත් සමගම ඇය දුමි රිය වේදිකාවට බසී..වැරදීමකින් ඇයගේ අත මාගේ අත සමග ගැටෙයි.දෑත් ස්පර්ශ වූ ඒ සුලු නිමේශය....ඉන් පසු ඇය සිනා සෙයි...මාගේ කුප්ප සිනාව.... අඩි දහයක් පමන ඇවිද ගොස් ඇය නැවත පසු පස හැරෙයි..මා දිහා බලයි..ගස්සයි....නැවත සිනාසෙයි...මාගේ කුප්ප සිනහව... පසුබිමෙන් මිහිරි හින්දි ගීතයක් ඇසෙයි....

"ඕයි....තෝ අහගෙනද ඉන්නේ...." 
චූටි මල්ලී බෙරිහන් දෙයි....හුටාය,..එම කොටස අතීත කාලයට අයිති වූවකි..මා මේ සිටින්නේ වර්තමානයේය.තත්පර දෙකක මනෝ පාරෙන් පසුව මම නැවතත් චූටි මල්ලීගේ ආදර කතාවටම එන්ටර් වූයෙමි.

 "කවුද #$#%#@ මගේ නම දාලා ඒ කෙල්ලට ලියුමක් දීලා " 
(නැවත පෙර කී සංඛේත කිහිපය )

"ඉතින් මරුනේ ඕයි...කෙල්ල කැමති කිව්වද?"

"කැමති කිව්වා....බම්බුවක් කිව්ව...ඒකි , ඒකිගේ අයියට ගිහින් ලියුම දීලා..අයියා එනවා කිව්වලු සඳුදට මට ගේමක් දෙන්න...ඒකිගේ අයියා හෙන මැරයා ඕයි..අන්තිමට ඉතින් මට මේක කියන්න ඉතුරු වෙලා ඉදියේ තමුසේ විතරයි ලොකු අයියේ...අනේ කියන ඇද රෙද්දක් හදන්නම්... සදුදට මාත් එක්ක කෝච්චියේ යන්න එනවකෝ...ප්ලීස්.. "

හුටාය...
බුදු අම්මෝය....
මෙවන් චූටි මල්ලිලා සතුරෙක්ට වත් ඉන්න එපා කියන්නේ මේකය...මූ හදන්නේ මට හොද හෝටලයකින් ගේමක් සෙට් කරන්නය...මම මාරු විය යුතුය..කන ගුටියක් ඌ තනියෙන් කා යුතුය..අහිංසක පරඩැලක් මෙන් සිටින මම ,මගේ දිවි රැක ගත යුතුය..

"තමුසෙට පිස්සුද ඕයි...මට සදුදට විභාගයක් තියෙනවා..අගහරුවාදට මැච් එකක් තියෙනවා..කොටින්ම ඉරිදා හවස අපේ කොල්ලෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙන්නත් තියෙනවා.. "
 මම රටේම නැති පච ටිකක් ඇද බෑවෙමි..

"හ්ම්ම්ම්...එහෙනම් ඉතින් මොනවා කරන්නද..මගේ ප්‍රශ්නේ නේ..මමම විසදගන්නම් අයියේ.."

 චුටි මල්ලී හෙන රොමැන්ටික්ය..මගේ හිත වටවල කහට කෝප්පයකටත් වඩා අම්බානෙකට උනු වී ගියෝහුය.චූටි මල්ලී කර බාගෙන කාමරයෙන් එලියට යයි..උගේ ඇස් වල පනින්නට ඔන්න මෙන්න වෙර දරන තඩි කදුලු බෝල දෙකකි..ඒවා දැන් පනී , දැන් පනී යැයි මට සිතේ...
මොනා කරත් පොර මට කතා කලේ උගේ ලොකු අයියා නිසාය.මේ මොහොතේ මම ඌව තනිකර දමා නොයා යුතුය.

"ඒ.....ඔහොම හිටහන්...සඳුදා කීයටද යන්න ඕන.. "

"උදේ උදේ..6.30ට කෝච්චියේ ගිහින් ඔයාට එහෙම්ම නුවර යන්න පුලුවන්..මම ඒවත් ප්ලෑන් කරලයි තියෙන්නේ...අයියගේ සපෝට් එකට මගේ යාලුවෝ දහයක් දොලහක් විතර එන්නම් කියලත් කිව්ව..මම ඒවත් රෙඩි කරා..."

"අඩෝ...තෝ හිතුවද මට එක එකාගේ සපෝට් එක ඕන කියලා...තෝ දන්නෑ යකෝ කැම්පස් එකේ මම දෙන ගේම්...දන්නව නම් ඔහොම දහයක් දොලහක් ලෑස්ති කරන්නෑ...."

"ඔව්..එහෙනම් හැටක් හැත්තෑවක් විතර ලෑස්ති කරනවා... ""

මොකක්ද තෝ කුටු කුටු ගාන්නේ බිම බලන්...තොට සැකද? "

"පිස්සුද අයියේ...මට අයියා ගැන සත පහක සැකයක් නෑ... ඔන්න එහෙනම් සඳුදා උදේ යමු.ගිහින් ඒකිගේ අයියට ඇවිද ගන්න බැරි වෙන්න ගේම දීලා එමු."

ඌ එසේ කියද්දී ඇස් දෙක කාන්තියෙන් බබලයි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන මේවා නේදැයි මටද සිතේ.අහෝ...මාගේ තරුණ කාලයත් ගත වන්නට ඇත්තේ මෙලෙසිනි.මට මා ගැනම සියුම් ලැජ්ජාවත් දැනුනි.එය ලැජ්ජාවකට වඩා යටි බඩට කිතියකි...

සඳුදා දිනය එලබෙන්නට වැඩි කාලයක් ගත නොවිනි.උදෑසන 5ට පමන භූමිකම්පාවක් මෙන් දැනුන චූටි මල්ලීගේ ඇද සෙලවීමෙන් පසු මම ඇහැරුනෙමි..දඩ බඩ ගා මුහුනට වතුර පහරක් එල්ල කරගෙනම ඩෙනිම් කලිසමකින් හා සුදු අත් දිග කමීසයකින් සැරසුනෙමි..

"ඒ..ඕයි....තමුසේ කොහේ යන්නද?"

 චූටි මල්ලී පාසල් නිල ඇදුමෙන්ම සැරසී මා වෙත දිව විත් අසයි..

"ඇයි අද වලියක් තියෙනෝ කිව්ව නේ..මේ ඒකට යන්න"

"නෙද්දකින්...ඔය ඇදුම නිකන් පන්සල් යන්න වගේ නේ..ඔහොම බෑ ඕයි වලි වලට යන්න..පොඩ්ඩක් ඉන්නවකෝ..." 

එසේ කියමින් චූටි මල්ලී කාමරයට රිංගයි..ඉන් පසුව මොකක්දෝ හැට්ටයක් මෙන් ඇදුමක් උසුලාගෙන විත් මට අන්දවයි...

"අහ්....ඔය තියෙන්නේ....දැන් නම් පට්ට මැර ලුක් එක..රැවුලත් වවන් ඉදිය නම් තමා නියමම මැරයා.හැබැයි කන්නාඩි දෙක තමා අවුල්...කෝ බලන්න..."

එසේ කියමින් පොර කන්නාඩි දෙක ගලවන්නට දිව එයි...

"අඩෝ...තෝ හදන්නේ මාව මරවන්නද...ඕක නැතුව මට පේන්නේ නෑ පොලොස් කොට්ටෝරුවෝ..ඒක නෙමේ...කාගෙයි මේ මැර ඇදුම්...?"

"වෙන කාගෙද..පොඩි අයියගේ තමා..මේ...මම ඕන ආයුධ ටික කලිසම් සාක්කු වලට දැම්මා..චෙක් කරලා බලනෝ..බැරිම උනොත් විතරක් වෙපන් එකක් පාවිච්චි කරනෝ...නැති නම් වෙපන් එකකට යන්න එපා..අතම විතරක් පාවිච්චි කරලා වැඩේ ගොඩින් ඉවරයක් කරගන්න බලමු.,."

මම සාක්කු අත ගා බැලුවෙමි..හුටා...එක සාක්කුවක ඇට බෝල විදින තුවක්කුවකි..අනෙකේ නියපොතු කපන කතුරකි.අස්සටම වන්නට රේසරයකි.."

හ්ම්ම්ම්...16-18 උන්ගේ හීන...මට නැවත සිතුනි...

"තොට කොයින්ද රේසරයක්? තොගේ රැවුල වැවෙන්නේ නෑ නේ..."

"ඕක පොඩි අයියගේ රේසරේ...කියන්නෙපා හොදේ.."

කන්නාඩිය ඉදිරිපසට ගොස් නිකමට වාගේ මම මාගේ මැර පෙනුම දෙස වරක් බලා ගත්තෙමි..ඇට සැකිල්ලක් රෙද්දකි වැසුවාක් මෙන් දිස් වෙයි.අද නම් ඉස්පිරිතාලේ ලගින්න වෙන දවසකි..වෙනදාටත් නැතුව මම බුදු පහනද පත්තු කලෙමි...ඉන් පසුව දකුණු කකුලත් ඉදිරියට තබා ගෙදරින් පිටත් වූයෙමි..

නියමිත වේලාවට විනාඩි කිහිපයක් පමන ප්‍රමාද වී දුම් රිය පැමිනියේය.අපි හනි හනිකට දුම් රියට ගොඩ වූයෙමු
ඉස්සර කාලයේදී මෙම දුම් රියේ අයිතිකාරයෝ අපිය.මෙහි චන්ඩි අපිය..මෙය පාලනය කරන්නෝද අපි වෙමු.දැන් කාලය වෙනස් වී ගොසිනි.දැන් චූටි මල්ලිලාගේ කාලයයි....

දුම් රිය පෙට්ටියේ අයිනටම වන්නට තිබූ ආසනයක ලස්සනම ලස්සන චූටි නංගියෙක් වාඩි වී සිටියාය.පෙනුමෙන් නම් ඇය නමය වසරේ විය යුතුය.කොන්ඩය තනි කරලට ගොතා ඇත.දුම් රියේ වේගවත් ගමන නිසා ඇති වන සුලගින් ඇයගේ බෙල්ල හිර වෙන්නට දමා තිබූ කොල පැහැ ටයි පටිය ඒ මේ අත වැනේ.ටයි පටිය පපුවට තද කර ගැනීමට ඇය විශාල උත්සහයක් ගනී...

 "ලොකු අයියේ..."

මා කටත් ඇරගෙන සිටිනවා දුටු චූටි මල්ලි මට ආමන්ත්‍රනය කලේය.

"මේ....අර කෙල්ලටද උඹේ හිත ගියේ.."

මම ඒ නංගී දෙටස අත දිගු කරමින් ඇසුයෙමි..

පිස්සුද ඕයි.එයා තරූශි , ඉන්නේ හික්කඩුවේ...තාත්තා බැංකුවක වැඩ කරන්නේ...ඒ කෙල්ලගෙන් මම කලින් ඇහුවා..ඒත් එයා කැමති උනේ නෑ...

"හුටා...මම උඩ ගියෙමි...දැන් හැදෙන පොඩි උන් නම් ගන්නට දෙයක් නැත...අසික්කිතය...කෙල්ල ගැන මට හිත යද්දී මුන් මගුලුත් කතා කර අවසානය.එක් අතකට මූ මගේම චූටි මල්ලීය..ඉතින් පුදුම වන්නට දෙයක් ඇත්තේම නැත...

"එහෙනම් කෝ ඕයි කෙල්ල.."

"ඒකි අද නැද්ද මන්දා...හෙන තාර බැරල් එකක් වගේ කෙල්ලෙක් ඕයි..අම්මපා මගේ නම දාලා ඕකිට ලියුම දීපු එකා අහු උනොත් මම උගේ ඔලුව පලනවා..."

මම නැවත සිනා සුනෙමි...අවුරුදු 16-18 කොල්ලන්ගේ හීන....


මහත තඩි තාර බැරල් එකක් සොවීමට මාගේ දෑස් දුම් රිය පෙට්ටිය පුරා එහා මෙහා ගියේය..එක් ඇසිල්ලෙක මාගේ දෑස් එක් සුපුරුදු මුහුණක් අසල නතර විය...හනි හනිකට මම ඔහු අසලට පිය මැන්නෙමි...

"අඩෝ...තරිඳු" 
 මම ඔහුව ආමන්ත්‍රණය කලෙමි.
ඔහු පුදුමයෙන් මෙන් පසු පස හැරී මා දෙස බැලුවේය,,

"අප්පටසිරි...රත්තා..." 
 ඔහු පෙරලා මාව ආමන්ත්‍රණය කලේය..

"පන්ති යන කාලේ දැක්කට පස්සේ උඹව ඔය දැක්කමයි බන්...ඉතින් ඉතින්...මොකද දැන් කරන්නේ... "
 මම ඔහු ගෙන් ඇසුවෙමි.

"දැන් ඉතින් ජොබ් එකක් කරනවා බන්...උඹ මොකද කරන්නේ.."
 ඔහු මගෙන් ඇසුවේය.

"මම ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා පව් ගෙවනෝ...ඉතින් ඉතින් අද නිවාඩුද?"
 
"පිස්සුද බන්..මොන නිවාඩුද..පොඩි කේස් එකකට ආවේ..උඹත් සෙට් උන නිසා ගේම ලේසි වෙයි.."

"මොකෝ සීන් එක, වලියක්ද? "

"ඔව් බන්...කවුද #@$#$ අපේ නංගිට ලියුමක් දීලා...ඌයි උගේ අයියයි අද එනවලු මගෙන් ගේම ඉල්ලන්න... #$#%^%^ යවන්නේ #@$#$ දෙන්නට...උන් දන්නෑ මේ තරිඳුවගේ හැටි...."
 (සංඛේත ලෙස දක්වා ඇත්තේ විශ්ව විද්‍යාල මට්ටමේ අසභ්‍ය වචන කිහිපයකි. )

එසේ කියමින් ඔහු මස් කපන පිහියක් වැනි තඩි පිහියක් අතේ තිබූ ටියුලිප් බෑගයෙන් එලියට ගත්තේය,,,

"ඉතින්, උඹ කොහේද මේ යන්නේ..."

 "මම...මේ....මේ....මම..මචන්...මම මේ... කැම්පස් එකට යනවා.. " 

කෙල ගුලි දෙකක් එක විටම ගිල දැමූ මම පැවසූවෙමි.


Sunday, 24 February 2013

එයා තාම චූටි කෙල්ලෙක්(අවසාන කොටස) - "එතකොට හසිනි කෝ? "




මම ඔබව කතාවේ මාස තුනක් ඉදිරියට ගෙන ගමි.ඒ මාස තුන තුල සිදු වූ දේ අනන්තය.අප්‍රමානය,නමුත් ඒ මතකය අවදි කර නැවත නැවත රිද්දා ගැනීමට මට නොහැකිය.මෙපමන කල් මතකය නැමති බලාපොරොත්තුවක් නිසා කතාව ලියාගෙන ගියෙමි.නමුත් දැන් ඒ බලාපොරොත්තුවත් නැත.
විශ්ව විද්‍යාල භූමිය පුරාවටම ඇති රොබරෝසියා මල් ගස් වල එකදු මලක් දක්නට නොමැත.සතියක් පිපී ඊලග සතියේ පරවී බිමට වැටෙන රොබරෝසියා මල් , මාස තුනකට පසුවද පිපී තිබේ යැයි බලාපොරොත්තුවීම අණුවන කමකි.

 නමුත් Milk bar එක අසල ඇති රොබරෝසියා මල් ගස ඒ අතින් වෙනස් කමක් උසුලයි.එකම එක රොබරෝසියා මලක් ගසෙහි ඉහලම අත්තේ පිපී තිබුනි.අප මෙහි පැමිණියේ එම පිපී තිබූ රොබරෝසියා මල ගැන සමීක්ෂනයක් කරන්නට නොවන බව මම අවධාරනය කරමි.
එන්න...අපි Milk Bar එක දෙසට ඇවිද යමු.

අප කතා නායකයා අයිස් ක්‍රීම් එකකුත් අතින් ගෙන කිරිහල අයිනට වන්නට තිබෙන බංකුවක වාඩිවී සිටියේය.නිසල් ඔහුට අනෙක් පසට වන්නට තිබෙන බංකුවේ වාඩි වී සිටියේය.දෙදෙනාම බලා සිටින්නේ මා පෙර කියූ රොබරෝසියා මල දෙසය.ඔවුන් කතාව අරඹනා ආකාරයක් පෙනෙන්නට නැත.

පාඨකය, මෙතැන රැදී සිටීමෙන් අපිට ඇති ප්‍රයොජනයක් නොමැත.අපි ගැහැණු ලමුන්ගේ නේවාසිකාගාරය වෙතට යමුද?

එම සිතුවිල්ල සිතින් පහව යද්දීම මලිත් කතාව ඇරඹුවේය.

"මම හෙට තාරිකාට කියනවා බන්"

 "හෙට නෙමේ මලිත් දවස.හෙට කලබල වැඩියි.තව ටික දවසක් ඉවසපන්" 

"හෙට තමයි දවස" 
මලිත් තීරණාත්මක හඩින් පැවසීය.

"සෙනග මහ ගොඩක් අස්සේ ඒකිට ආදරෙයි කියලා ඒකිගෙන් කැමැත්ත ගන්න පුලුවන් වේවි කියලා උඹ හිතනවද? තව ටික දවසක් යන්න ඇරපන්.ඒකි කොහොමටවත් උඹට කැමති වෙන්නේ නෑ."

"ඇයි අකමැති වෙන්නේ.අපි පොඩි උන් නෙමේ නෑ.අවුරුදු 22ක් කියන්නේ මොකක් හරි තීරණයක් තනියම හිතලා ගන්න පුලුවන් වයසක් නිසල්"

"එහෙම තීරණයක් හිතලා ගන්න පුලුවන් වයසක් නම් උඹ ඔය ප්‍රශ්නේ මට උස්සන් එන්නේ නෑ නේ.ජීවිතේ මොන වයසකදිවත් තීරණයක් තනියම හිතලා ගන්න මිනිස්සු බයයි බන්.අනික ඒකි තාම චූටි කෙල්ලෙක්.උඹ ගැන ඒකිට තියෙන ප්‍රතිරූපේ අන්තිම සවුත්තුයි.අන්තිම කියන්නේ අන්තිමම සවුත්තුයි.එහෙම තියෙද්දී ඒකි උඹට කැමති වේවිද?"

"කැමති වෙන්න හරි නොවෙන්න හරි මම හෙට තාරිකාගෙන් අහනවා"
දෙබස් අවසාන කරමින් මලිත් තීරණාත්මක හඩින් පැවසීය. 

හෙට දවස කුමක්ද? හෙට දවසේ විශේෂත්වය කුමක්ද.ඔබට මෙන්ම මටද එය මහත් වූ ප්‍රේහේලිකාවකි.නිසල් කියූ ආකාරයට නම් හෙට සෙනග ගොඩක් ගැවසෙන දිනයකි.
එන්න..මෙය දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි.අපි පීඨාධීපතිතුමාගේ කාමරයට හොරෙන් පනිමු.රාමනාදන් ශාලාවට මහ රෑ ඇතුලු වූ අපිට මෙයත් වැඩක්ද..

කවුරුත් නොමැති වෙලාවක් එනතෙක් සිට අපි කාමරයට ඇතුලු වෙමු.ඔබලා කාමරයේ අනික් තැන් සෝදිසි කරනා අතරවාරයේ මේසේය මත තිබී , හෙට දවසේ විශේෂත්වය මම සොයා ගත්තෙමි.එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.

                                             එය ආරාධනා පත්‍රයකි.නවකයන් පිලි ගැනීමේ දිනයට කෙරෙනා ආරාධනා පත්‍රයකි.


දිනය හරියටම හෙට දවසය.එසේ නම් හෙටින් පසුව සියලු සිදුවීම් අහවර වනු ඇත.

හිරු අවරට යමින් තිබේ.වෙනදා පුරුද්දට රාමනාදන් ශාලාව වෙත අඩිය එසවීමට ගියත් එම එසවූ අඩිය නැවත පසු පසට ගන්නට මටම සිදුවේ.මතකයත් මට ඔච්චම් කරනා හැටියකි. රාමනාදන් ශාලාවේ අපිට අයිති කිසිවෙකුත් නැත.සමාවන්න...මට අයිති කිසිවෙකුත් එහි නොමැත.ඉතින් අවේලාවේ එහි යෑමට මට දැන් හේතුවක් නොමැත.

පසුදා පලමු හිරු කිරණ විශ්වවිද්‍යාල භූමියට පතිත වද්දීත් බොහෝ දෙනා අවදි වී සිටියෝය.පිරිමි ලමුන්ගේ නේවාසිකාගාර වල ඇදුම් මැදීම සිදුවන්නේ තරගයට මෙනි.විටෙක එකෙක් කන්නාඩිය වෙත පැමින හැඩ බලයි.තවත් එකෙක් ඔහුව පසෙකට ඇද දමා කොණ්ඩය පීරයි.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර වල තත්වය කෙසේ ඇද්දැයි ඔබටම සිතා ගත හැකිය.ගැහැනු ලමුන්ගේ නේවාසිකාගාර අස්සේ ගොස් කාගෙ කාගේත් හිත් රිද්දවාගැනීමට මට අවශ්‍ය නැත.
නවක සිසුන්ට අමතරව ජ්‍යේෂ්ඨ සිසුන්ද තම තමන්ගේ ඇදුම් පැලදුම් කෙරේ විශේෂ සැලකිල්ලක් දක්වයි.අප කතා නායකයාද එසේමය.

හැද සිටි කමීසයට සුවද විලවුන් තවරමින් ඔහු කණ්නාඩිය දෙසට පිය මැන්නේය.

"අප්පට සිරි..ඇලුත් කලිසමකුයි ශර්ට් එකකුයි..උඹ අලුතින්ම ගත්තද ? " 

මලිත්ගේ ගමන නවතමින් නිසල් ඇසීය.

"නෑ බන්..මේ මල්ලිගේ ඇදුම්..මම ගෙදර ගිහින් එද්දී අරන් ආවා." ඔහු සිනාසෙමින්ම පැවසීය.

"හා හා...හොදයි හොදයි...මලමාලයා වගේ පලයන්.එතකොට තාරිකා එක පාරින්ම කැමති වේවි."

පිලිතුරු ලෙස සිනහවකින් පමනක් සංග්‍රහ කල මලිත් කන්නාඩිය ඉදිරිපිටට ගොස් කොන්ඩය පීරීම ආරම්භ කලේය.

 මේ අතර ජ්‍යේෂ්ඨ සිසුන්ගේ විධානය පරිදි නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ එකිනෙකා පසුපස එකිනෙකා සේ පේලි සෑදී නවතා තිබූ බස් රථවලට ගොඩවීම ආරම්භ කර තිබුනි.

                                                  නවක සිසුවෙකුගේ අතින් එල්ලී ගත් නවක සිසුවියෝ

ඔබ සිතුවා මෙන්ම තාරිකා නිර්මාල්ගේ අතේ එල්ලී සිටියාය.ජෝඩුවට එකිනෙකා නැතුවම බැරුවාක් මෙනි.සියලුම සිසුන් බස් රථ වලට ගොඩවීමෙන් පසු හෝටල් පරිශ්‍ය බලා ගමන් ආරම්භ කෙරුනි.

එතකොට හසිනි කෝ? 

ඔබ පුදුම වී මාගෙන් අසනු ඇත.ඇය කොහේ කෝ ඇති.එපමනකින් පමනක් මම පිලිතුරු දෙමි.සමහර චරිතයන් කතාවෙන් පමනක්ම නොව මාගේ ජීවිතයෙන්ද ඈත් වෙමින් තිබේ.කතාව ආරම්භයේදී තාරිකා කතා නායිකාව වූවාය.ඉන්පසුව හසිනි කතානායිකාව වූවාය.දැන් මේ කතාවට කතා නායිකාවක් නොමැත.වර්ථමානයේදී කතාවක් ලියද්දී මුහුණ දීමට සිදුවන අහියෝගය එයයි.

බස් රථ හෝටල් පරිශ්‍ය වෙත ලගා වීම්මෙන් පසුව සියලුම සිසුන් හෝටලය වෙත ඇතුලු වූවෝය.විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.

                                               විදුලු ආලෝක රේඛා සැනෙකින් මතුවී සැනෙකින් නිවී යයි.



සංගීත නාදය සිත් ආදරයෙන් පුරවාලයි.

මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි.නමුත් ඔහු සොයනා චරිතය හෝටල් ශාලාවේ සිටියේ නැත.ඇය කොහේ යන්නට ඇතිද...

                                     මෙ සියලු සිදුවීම අතර උපැස් යුවලක් පැලදූ දෑසක් කාවදෝ සොයයි

එන්න,අපි හෝටලයෙන් පිටත ආලින්දය දෙසට ඇවිද යමු.යුවතිය සිටියාය.පිටත ආලින්දයේ මුල්ලකට වී සිටියාය.ඇය ඉදිරියේ තවත් කෙනෙක් සිටියේය.ඔව්..නිසල්...ඇය ඉදිරියේ නිසල් මොන මොනවාදෝ කියමින් යුවතියට තර්ජනය කරමින් සිටියේය.

"හොදට අහගනින් නංගි.උඹට මතකයි නේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල්..ඒ විදිහට ආයේ කැම්පස් එක ඇතුලේ ඉන්න ඕනද?"

නැත කියන්නට මෙන් තාරිකා හිස සැකුවේය.

"සම්ප්‍රධායක් විදිහට මෙහෙම Welcome එකක් දෙද්දී සීනියර් බැජ් එකේ අයියලා එයාලා කැමති කෙල්ලෙක් තෝරගෙන එයාට ආදරෙයි කියනවා.උඹටත් කවුරු හරි කැමතියි කිව්වොත් එයාට කැමතියි කියපන් . එහෙම කිව්වේ නැති උනොත් උඹගේ ලොකු ලයින් කියලා ආයේ රැග් කරාවි.තේරුනාද?"

යුවතියට කිසිවක් තේරුනේ නැත.ඇය තේරුන ලෙසට සිටින්නට උත්සහා කරේත් නැත.විහිලුවට ආදරෙයි කියනා ලෝකයක් ගැන මේ ඇසුවාමය.

"ඒත් අයියේ, මම එහෙම කාටවත් කැමති නෑ නේ" ඇය සිහින් හඩින් පැවසුවාය.

"කැමති නැති බව ඇත්ත ඕයි.ඒත් කැමති කියලා කියපන්.ඒක මේ මොහොතට විතරයි.ඒක හැමදාම වෙන දෙයක්."

ඔහු කියනා දෙය පිලි ගනු හැරෙන්නට ඇයට විකල්පයක් නොවීය.මොහොතක් වත් පමා නොවී ඇය හෝටලය තුලට ඇතුලු වූවාය.

 ඇය පැමිනෙන තෙක් බලා සිටි පුද්ගලයා වහ වහා ඇය දෙසට ඇවිද ගියේය.ඉන් පසු ඔහු ඇය ඉදිරියේ සිට ගත්තේය.

"තරිකා..මම ඔයාට කැමතියි." 
ඔහු එය එක හුස්මට කියා දැමුවේය.යුවතියේගේ දෑස දෙස බලමින්ම ඔහු එය කියා දැමුවේය.

තාරිකා මොහොතක් නිහඩව සිටියාය..

"මමත් අයියට කැමතියි."

මෙය තවත් එක කතාවකි.ලෝකයේ සිදුවන දහසකුත් කතා අතරින් එකම එක කතාවකි.වෙනසකට ඇත්තේ එය මාගේ කතාව වීම පමනි.මෙතැන් සිට සිදු වූ සියල්ල මටත් වඩා හොදට ඔබ දනී.ඔව්...මටත් වඩා හොදටම ඔබ දනී.

 ----------------------------------------------------------------------------------------------
මතකය--

කැම්පස් එකක් කියන්නේ වෙනම ලෝකයක්.මේ ලෝකේ ඇතුලේ එක එකා ජීවත් වෙනවා. රුපියල් විසි පහක බත් එකට බෙදලා තිබුන එලවලු ව්‍යාංජන තුන දිහා බලාගෙනම මම හිතුවා.පරිප්පුයි ගෝව මැල්ලුමයි බීටුයි, හැමදාම එකම කෑම තුන.ඉදලා හිටලා දවසක සෝයා මිටි.මේවා කකා ඉගෙන ගන්නවට වඩා හොදයි කාන්තාරෙක කූඩාරමක් ගහගෙන වැලි බිස්නස් එකක් කරන් ජීවත් වෙන එක.කෑම පිගාන පේලියට තියලා තිබුන බංකු උඩ පස්ස පැත්ත ස්ථාන ගත කරලා වාඩි උනා වීතරයි අලුතෙන් ගත්තු Iphone එක නාද වෙන්න ගත්තා..

නෙද්දකින්..වෙලාවට මට මගේ ගැනම දුකයි..පාවිච්චි කරන්නේ iphone , android Mobile, ඒ උනාට කන්නේ රුපියල් තිහේ බත් එක.

"යූ අර් මයි පම්කින් පම්කින් හෙලෝ හනී බනී"

එක දිගට නාද වෙන ෆෝන් කට්ටේ සද්දේ නිසා මුලු කැන්ටිම පුරාම ඉන්න එව්වොන්ගේ අවධානේ මා වෙත ලගා වුනා.අම්මපා නිදහසේ කෑම එකක් වත් කන්න නෑ..

අඩේ...කෑම වගේද කෝල් එක කිව්වලු..හසිනිගෙන් කෝල් එකක්..මගේ හිතේ රස නහර පිනා ගියා.

"හෙලෝ..කියන්න නංගි.." 
 හෙනම පැණි ස්වරයකින් මම එයාව ඇමතුවා.

"මට අයියව Meet වෙන්න ඕන"

"කවද්ද? කොහේදිද? මොකටද?"
 මමත් ඉතින් බියංකාර වෙලාම ඇහුවා.සමර විට මේ කතාව එලකිරියෙන් ඉවර කරන්න පුලුවන් වේවි.මේ දවස එනකල් මම කොච්චර කල් බලාගෙන ඉදියද.

"අද, මේ දැන්..හම්බුනාම කියන්නම් මොකටද කියලා."

"හරි හරි..කොහේටද එන්න ඕන..? " 
කෑම එක කනවට වඩා මට සිහිය තිබුනේ හසිනිව හම්බෙන එක ගැන.

"Milk Bar එක ගාවට,ඉක්මන්ට එන්න අයියේ"
 ඒ අන්තිම වචන ටික කියපු විදිහට මට පියාඹලා යන්න හිතුනා..ඒත් පියාඹන්න බෑ නේ මට.අනික මේ සරමකුත් ඇදගෙන..හොදට හිටී...

කෑම එකත් පැත්තකට දාලා දඩ බඩ ගාලා කාමරේට දුවලා ගියා.තිබුන හොදම ඩෙනිම් කලිසම ( මල්ලිගෙන් උස්සපු කලිසම  ) ඇදගෙන ඒකටම හරියන ටී ශර්ට් කෑල්ලක් දාගත්තා.කොන්ඩෙත් ඩිංගක් වතුර ටිකක් ගාලා හදා ගත්තා.මමත් දැන් හෙනම බොලද වේගෙන එනවා වගේ.. ආදරේ කරද්දී හැමෝම එහෙමයිලු..

අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.


                                                                   අල්විස් පොකුණත් පහු කරලා පාර දිගේ මම හෙමීට ඇවිදගෙන ගියා.
 ඇවිදගෙන යන්න මට දැන් අරමුණක් තියෙනවා.වෙනදට නොතිබුන විශ්වාසයක් මට මගේ ගැන තිබුනා.බලන් ඉදපු කෙනෙක්ට ඒක පේන්නේ නැතුව ඇති.මොකද මම කණ්නාඩි දෙකත් දාගෙනමයි ඉදියේ.

Milk bar එක අයිනේ තියෙන පුංචි බංකුවක එයා වාඩි වෙලා ඉදියා.ඇගටම තදවෙන්න ඇදගෙන හිටපු ඩෙනිමයි ඊටම හරියන සුදුපාට කමීසයයි එයාගේ ලස්සන තවත් වැඩි කරනවා.කොන්ඩේටත් මොකක්ද අලුත් දෙයක් කරල.
වෙනදට හසිනිගේ ලස්සන කියාගෙන යද්දී කොහොම හරි මොකක් හරි කියලා මග ඇරපු මම අද ඒ ලස්සන කිසිම ගානක් නැතුව කියාගෙන යනවා.මේ කතාවේ දවස් හැගීම් ඔක්ම එක මොහොතකින් වෙනස් වෙනවා

"සහන් අයියා" 
එහෙම කියාගෙනම හසිනි නැගිට්ටා.දුවලා ගිහිල්ලා එයාව තුරුල් කරගන්න තියෙනව නම්.හෝව්...ඉක්මන් නොවී හිටපන් හිත.ඒකට උඹට කවද හරි කාලයක් ඒවි.

"නංගි, ඇයි හදිස්සියේම"

"ප්‍රශ්නයක් අයියේ.ලොකු එකක්" 
කියාගෙන්න බැරි දේවල් හිතේ තියෙද්දී මොන කෙල්ලත් හැසිරෙන්න ඔහොමයි.

"ප්‍රශ්නේ විසදගන්න කලින් මම මොනව හරි අරන් එන්නම්" 
එහෙම කියාගෙනම milk bar එකේ කවුන්ටර් එක ලගට ගිහිල්ලා රුපියල් 30 අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.දවල්ට කන්න සල්ලිත් නෑ.ඒත් කන්නේ අයිස්ක්‍රීම්.

 "ඉතින් කියන්න, මොකක්ද ප්‍රශ්නේ"

"අයියා ලියන කතාව ගැන ප්‍රශ්නයක්"

මලා..එතකොට තමා මතක් උනේ සති දෙකකින් විතර කතාව ලියලා නෑ කියලා.මොනා කරන්නද..කතා ලියන්නයි ඉගෙන ගන්නයි දෙකක් කරන්න බෑ නේ.

"මේ ඉරිදා තව කොටසක් දාන්න ඉන්නේ නංගි" 
මම තව කොටසක් කියලා එයාට කිව්වේ මේ කතාව හය වෙනි කොටසින් ඉවර කරන්න හිතාගෙන නෙමේ.මේ කතාවේ තව කොටස් තියෙනවා.තව ගොඩාක් කොටස් තියෙනවා.ඒත් මොකක් හරි කරුමෙකට මතකය කියලා කොටසක් ලියන්න අරගෙන හැමදේම මම පටලවා ගත්තා.වර්ථමානෙත් එක්ක කතාව ලියාගෙන යද්දී වෙනසක් වේවි කියලා හිතුවා.ඔව්..ඒක වෙනසක් උනා..ඒත් ඒකම ප්‍රශ්නයකුත් වෙනවා.

"ඊලග කොටස නෙමේ අයියේ.ඒ කතාවේ අයියා මගේ ගැන ලියව විදිහට මම කැමති නෑ"

"මොකක්ද.? පණ්ඩිත කෙල්ල කියලා කියපු එකද? ඉතින් මම දැන් එහෙම ලියන්නේ නෑ නේ"

"නෑ නෑ...අයියට මගේ ගැන interest එකක් තියෙනවා කියලා හිතෙන විදිහට ලියන එක"

"ඉතින් එහෙම එකක් තියෙනවනේ" 
මට එකපාරටම එහෙම කියන්නත් හිතුනා.ඒත් කෙල්ලගේ හිතේ තව මොනවදෝ තියෙනව වගේ.

"ඔයා ලියන කතාව නිසා මට හැමොමලා විහිලු කරනවා අයියේ,එයාලා හිතන්නේ ඔයයි මමයි අතරේ afire එකක් තියෙනවා කියලා"

ඒ විහිලුව ඇත්තක් වෙනව නම්...

"මට නම් ඒකේ ප්‍රශ්නයක් නෑ..ඒත් සඳුන්"

"සඳුන්?" 

මම පුදුම වෙලා ඇහුවා..සත්තයි මම පුදුම උනා.

"ඔව් අයියේ..සඳුන්..එයා තමා කිව්වේ අයියත් එක්ක මේක කතා කරන්න කියලා.දැන් එයා මෙතනට එයි."

අයිස්ක්‍රීම් එකත් දියවෙලා බිමට වැටෙන්න යනවා වගේ.හැම කතාවකම කතානායිකාවගේ යාලුවට කොල්ලෙක් නෑ කියන කතාව බොරුවක්..ඒක පට්ටපල් බොරුවක්..එහෙම වෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිලා ලියන නවකතාවල විතරයි කියලා මට අමතකම වෙලා ගියා.දෙයියනේ..මම ලියන්නේ සැබෑලෝකයේ කතාවක්.මේක මට වෙච්ච කතාව.ඉතින් මම එහෙම හිතුවේ කොහොමද.මේක මම කලින් දැනගෙන ඉදිය නම්..මතකයට බම්බුහැහිලා ගිය දෙන්..

හිතුවිලි අස්සේ හිරවෙලා ඉන්දැද්දි හසිනිගේ මූණේ හිනාවක්..මම එයා හිනා වුනේ ඇයි කියලා පිටිපස්ස හැරිලා බැලුවා.ඔව්..ඒ සඳුන්...
සඳුන් අපින් දෙන්නා අතරට ආවා..ඒ දෙන්නා මගේ ඉස්සරහම අතින් අල්ලගත්තා. 

"මේ ඉන්නේ සඳුන් අයියේ.එයා මෙඩිකල් ෆැකල්ටි එකේ."

හසිනි හිනා වෙනවා..මමත් බොරුවට හරි හිනා වෙනවා,කණ්නාඩි දෙක දාගෙන නිසා මම අඩනවා කියලා කාටවත් පේන්නේ නෑ.
 මම මේ ලියාගෙන යන විදිහ බොලදයි කියලා ඔයාලා කියාවි.ඔව්...මේක හෙනම බොලදයි..ඒත් එතන ඉදියේ මම..ඒකේ වේදනාව දන්නේ මම..ඉතින් මට බොලද වෙන්න ඉඩ දෙන්න..ගොඩාක් බොලද වෙන්න ඉඩ දෙන්න..

එයාලා දෙන්නා මොන මොනවද කිව්වා..මමත් ඔහේ අහගෙන ඉදියා.අයිස්ක්‍රීම් එකත් දියවෙලා අත දිගේ පහලට වැටෙනවා.මම මෝඩයෙක් වගේ හිනා වෙවී බලාගෙන ඉන්නවා..

විනාඩි පහලවකට විතර පස්සේ මම ආයේ එන්න හැරුනා. ගජසිංහ පාලම ගාවට වෙනකල් අරමුණක් නැතුව ඇවිල්ලා නිකමට හැරිලා බැලුවා..මම අරන්දීපු අයිස්ක්‍රීම් එක දෙන්නත් එක්කම තුරුල් වෙලා රසකර කර කනවා..අමාරුවෙන් හරි හිනාවෙලා මගේ ෆෝන් එක අරගෙන හසිනිට යවපු අන්තිම මැසේජ් එක මම යැව්වා...
"I'm very Sorry.Just Ignore Everything." 


හිනැහෙමින් ඔය දෑත පටලවන් මුමුණන්න
බිම වැටුනු රොබරෝසි මල් මත්තේ ඇවිදින්න
කාටවත් නොපෙනෙන්න ඔය දෙතොල සිප ගන්න
සිහින මැව්වා මදිද ඔයා මට හිමි වෙන්න

වල පැත්තේ දවාලෙත් පෙම්වතුන් ඇවිදිනවා
මහ රෑට සීතලට උන් තුරුලු වී එනවා
පොද වැස්ස වැටුනාම කුඩ අස්සේ ගුලි වෙනවා
 තාමටත් මගේ තනිය හන්තාන පුරවනවා
                                  -සහන්/(මලිත්)-