Sunday, 31 October 2010

මෙගා ස්ටාර් හෙවත් කකුස්සි වල.....................


හිතූ පරිදිම වැසිකිලියක් විය...අවසානය කාගේ හෝ ඕනෑ කමකට අනුව සිදු වුනා දෝයි සිතේ..
අජිත් මෙගා ස්ටාර් විය..සුදුසු කම මොණර කොල මිටි විසිකිරීම හෝ දේශපාලනය විය හැක..
ස්වර්ණවාහිනිය ඇනගත් පලමු වතාව මෙය නොවේ..මීට පෙරත් ඇන ගත්තේය..
ආරම්භයේ සිටම වැඩ සටහනේ මාර්කට් එක උනේ ඇමති තුමාය...එතුමා මොන අසික්කිත කතාවක් කීවද ස්වර්ණවාහිනියට කිතිය..සැබැවින්ම මෙගා ස්ටාර් වැඩසටහනේ දක්ශයා වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමා බව අවිවාදයෙන් පිලිගත යුතුමය..අනෙක් තරගකරුවන්,තරගකාරියන්ට බහුලව ලැබුනේ නර්තනයට,ඇග පෙන්වීමට ලැබුනු ඡන්දය..
රත්ගමයාට මතක ආකාරයට මීට පෙර ස්වර්නවාහිනිය ඇන ගත්තේ ජනාධිපතිවරණ සමයේදීය..සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ විවාදයක් රතු ඉර දේශපාලන වැඩ සටහන මගින් විකාශය කිරීමේදීය..එහිදී ද දයාසිරි ජයසේකර මහතා එක් පාර්ශවයක් විය..මහ රෑ ගෙවී යනතුරු විවාදය ආරම්භ නොවුනි...
සවර්ණවාහිනියට මේ ලෙඩ රෝග වැලදුනේ සිරස ජනප්‍රිය වීමත් සමගය...අලුත් දෙයක් කරනු වෙනුවට ඔවුන් කරේ සිරස කොපි කිරීමය..පලමුව මෙගා නාට්‍ය කොපි කලේය..ඉන් පසු සුපර් ස්ටාර් කොපි කලේය..ඩාන්සින් ස්ටාර් වෙනස් කර මෙගා ස්ටාර් ලෙස කොපි කරේය..දෙයක් කොපි කරාට වරදක් නැත..නමුත් මෙම නාලිකාවට කොපි කරන්නවත් හරියට බැරිය..
                   ප්‍රවෘත්ති විකාශයක් යනු රටේ ජාතික තොරතුරු වල වැදගත්ම අංගයකි..ලගදී සිට මේ නාලිකාවේ පුවත් වෙනුවට යන්නේ කෙටි නාට්‍යය..ලමා අපචාර,හොරකම් වැනි ක්‍රියා රසකර පුවත් විකාශය තුලට දමන්නේ විලි ලැජ්ජාවක් නොමැතිවය..
රටේ මිනිසුන්ට බස් ගාස්තු ඉහල ගියත් කමක් නැත..බඩු මිල ඉහල ගියත් කමක් නැත..සරත් හිරේ ගියත් කමක් නැත...ඒ කිසිවකින් හිතට දුකක් නැත..
නමුත් මර්වින් සිල්වා ,පබාට බැන්න විට,දයාසිරිට කට කැඩිච්ච කතාවක් කීව විට දුක සිතේ..අඩයි..වැලපෙයි..මේ මගේ රටය...මගේ රට මෙහෙමය...
රටට මෙහෙම කරන්නේ කුනුහරුප මාධ්‍යකාරයෝය...
කලුතර ගගේ පුංචි දරුවා පාවී යන වීඩියෝ දර්ශන පෙල ඔබට මතක ඇතැයි සිතමි...මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කර තරම ඊටත් වඩා මතක ඇතැයි සිතමි..පොලිස් ප්‍රහාරයෙන් මුහුදේ ගිලී මිය ගිය පුද්ගලයා ඔබට මතක ඇතැයි සිතමි..ඊටත් වඩා මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කල ආකාරය මතක ඇතැයි සිතමි...
මාධ්‍ය යනු රටක වටිනාම තොරතුරු ලබා ගන්නා ඒකකයයි...ඒව මේසේ පිස්සු කෙලින්නේ විට මහාජනතාව තණකොල කන තත්වයට දමා විය යුතුය..
අපේ මිනිසුන්ට මෙය මතක හිටින්නේ දවස් 14ක් පමනි...සිංහලයා එහෙමය..ඒ කිව්වේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය...
රාජ්‍ය නාලිකා පිස්සු කෙලින විට අප වෙනත් නාලිකා කිහිපයක් ගැන් විස්වාස කලෙමු..ඒවාද පිස්සු කෙලින විට අප කා ගැන විශ්වාස කරන්නද...
කෙසේ හෝ අප ඉවසමු...තව දවසකින් මර්වින් සිල්වා ඇමතිතුමා කීවහොත් "මම අජිත්ට ගැහුවේ නෑ..අජිත්මයි මට ගහන්න කිවේ" කියා,අප එය පිලිගනිමු..ඒ මීට පෙරත් මෙවැනිම දේවල සිදුවී ඇති බැවිනි...
ඉදින් අපි සිනාසෙමු..අපට මොන ප්‍රශ්නද..මේ අපේ සිරි ලංකාවය...ඉදින් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමු..........

Thursday, 28 October 2010

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඕනම ද?...




සමහර විට මේ ලිපියෙන් පස්සේ ගොඩක් අය රත්ගමය කියවන්න එන එක නවත්තයි..ඒත් මේක ලියන්නම ඕන කියල හිතුනා..ගොඩක් හිතුවා..

ඇත්තටම විශ්ව විද්‍යල සිසුන් යනු කවරහුද?
විශ්ව විද්‍යාල සිසුන් යනු මැරයන්ය..මෝඩ අමනයන්ය..මේ ඇතැම් ඇමතිවරුන් ඔවුන්ව හදුන්වන අන්දමය.රාජ්‍ය මාධ්‍ය ඔවුන්ව නිර්වචනය කරන අන්දමය.ඇත්තටම  ඒක එහෙමද..
එක එක කෙනාට එය එක එක විදිහට පෙනෙනු ඇත.ඇත්තටම ඔවුන් මෝඩද..
මොහොතක් සැබැවින්ම හිතා බලන්න.එතන කිසිවෙකුත් මෝඩ නැත.මොලේ නැති කිසිවෙකුට විශ්ව විද්‍යාලයක් ඇතුලට යා නොහැක..
රටේ සාමාන්‍ය ජනතාව මුලා කරනවා මෙන් ඔවුන්ව මුලා කර නොහැක..එය ජනතා විමුක්ති පෙරමුන,එක්සත් ජාතික පක්ශය මෙන්ම සන්ධනයට ද කල නොහැක.අන්දනවා නම් ඔවුන්ට ඇන්දිය හැක්කෙ සාමාන්‍ය ජනතාවය..බුද්ධිමතා කාගේ හෝ මතයකට යට වීම කිසි විටකත් සිදු නොවේ..එසේ නම් විශ්ව විද්‍යාල සිසුන් එක් පිරිසකගේ උවමනාවකට කඩේ යනවා යැයි මාධය කෑ ගසන්නෙ කුමන පදනමක් යටතේද..,කාගේ උවමනාවක් මතද..
5 වසර ශිෂ්‍යත්ව විභාගය දෙමවුපියන්ගේ විභාගයය..සාමාන්‍ය පෙල ගුරුවරුන් ගේ විභාගය ය..නමුත් උසස් පෙල තමන්ගේ විභාගය ලෙස සිසුන් සලකන්නේ එයින් තම ජීවිතය ගොඩ නැගෙනා බව දන්නා බැවිනි..
උසස් පෙල විභාගයේ තත්වයට ලොව කිසිදු රටක විභාග පවත්වන්නෙ නැත..ඒතරම් අපහසු වූත් සංකීර්න ඌත් විශ‍ය ඉතා තර්කානුකූලව මොලය නැමති ජීවී ඒකකයේ පිලිවලකට තැන්පත් කරගෙන ඉතා අපහසුවෙන් විශ්ව විද්‍යාලයකට යන කොල්ලො කෙල්ලො මෝඩද..ඔය බෙරිහන් දෙන කී දෙනෙක් ව්ශ්ව විද්‍යාලයකට වැස්සට වත් ගොඩවී තිබේ දැයි නොදනිමි.සාමාන්‍ය පෙලවත් සමත් නොවූ ඇමති වරුන් කී දෙනෙක් සිටිනවා දැයි නොදනිමි..ජනතාව චූන් කරන්නෙ ඒ අයය..විශ්ව විද්‍යාල සිසුන් තම මූලික අයිතිවාසිකමක් ඉල්ලා පාරට බහින විට ඔවුන්ට බැටන් පොලු සත්කාර ලබා දීමට අණ දෙන්නේ මේ චූන් කරනා පිරිසය..එම ප්‍රහාර වලට විරුද්ධව කලහකාරී ලෙස සිසුන් හැසිරෙන විට මාධ්‍ය එතනට ගෙන්වා ඒවා වාර්තා කරවන්නේ මොවුන්ය...රටේ මහ ජනතාවට විශ්ව විද්‍යාල සිඩුන් යනු මැරයන් බව අගවන්න සදන්නෙ මේ අයය..නමුත් මහ ජනතාවස හොද මුහුන පෙන්න පෙන්නා මිනී මරන,හොරකම් කරන හා කරන්නට හැකි සියලු කුපාඩි වැඩ කර හිනා වෙවී සිටින්නේද මොවුන්ය..
පෞද්ගලික විශ්ව විද්‍යල විවෘත කරන්නෙ කුමක් නිසාද..කවුරුන් වෙනුවෙන්ද...
අද කතාවෙන හැටියට පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරන්නෙ උසස් පෙල සාමානය ලෙස සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන් සදහායි..එසේම එමගින් පිටරටට යන ලංකාවේ මුදල් එසේ යා නොදී රට තුලම රැක ගන්නවා සේම පිට රට මුදල් ලංකාව තුලට ගෙන්වා ගැනීමට හැකියාව උසස් පෙල එසේ සමත් වී විශ්ව විද්‍යාල  සුදුසකම නොලබන සිසින් මහා ගොඩක් සිටිනු නිසැකය..නමුත් ප්‍රශ්නය වන්නේ එසේ සුදුසුකම් නොලබන පිරිසෙන් කී දෙනෙකුට ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙවා ගැනීම තරම් මුදල් තිබේද යන්නයි..මෙය සුපිරි පැලැන්තියට පමනක් සීමා වන්නෙ එබැවිනි..රජය කරන්නෙ දුප්පතාගේ බඩේ ගින්දර යන්තම් හෝ අඩු කර ගැනීමට තිබෙනා පන් ගෙඩියේ මිල වැඩි කර පාන් කන්න එපා හොද නෑ කියා බොරුවට මොර දීමයි..එසේම සුපිරි වාහන වල බදු අඩු කර පාන් වෙනුවට කාර් ගනිල්ලා කියා සීනි බෝල ටෝක් දීමයි..
පෞද්ගලික විශ්ව විද්‍යල ගැන තිබෙන්නේද එම සංකල්පයමය..තිබෙනා විශ්ව විද්‍යාල දියුනු නොකර වෙනත් විශ්ව විද්‍යාල වලට ලංකාව තුලට අඩ ගැසීමෙන් වන්නේ තිබෙනා විශ්ව විද්‍යාල බාල්දු වීම නොවේද..
නිකමට සිතන්න..උසස් පෙල සිසුවෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලාබා ගැනීමට කොපමන වෙහෙසෙනවා ඇතිද..කොපමන රාත්‍රීන් නිදි නැතිව පාඩම් කරනවා ඇතිද..සමහර විට ඔවුන්ගේ දෙමවුපියන් ඒ සිසුවා නිසා කොපමන වෙහෙසෙනවා ඇතිද එසේ මහන්සි වී ඔබ විශ්ව විද්‍යාලයට තේරුනා යැයි සිතන්න..පසු දින රූපවාහිනිය ඉදිරිපිට ඔබ වාඩිවී සිටිනා අවස්තාවක පහත ආකාරයේ දැන්වීමක් ප්‍රචාරය වුවහොත් ඔබට ඇතිවන හැගීම වචනයෙන් විස්තර කරන්නේ කෙසේද..
"ඉන්ජිනේරු උපාධිය රුපියල් xxxxxxxx .අදම ඔබේ උපාධිය සදහා ලියා පදින්චි වන්න"
එහෙම උපාදි කඩ තිබේ නම් අර දුප්පත් අම්මගේ කොල්ලා රෑ එලිවෙනකල් පාඩම් කරේ මොකේ අමාරුවකටද..විශ්ව විද්‍යාල සිසුන් විරුද්ධ වන්නේ එතනදි බව මගේ හැගීමයි..සමහරුන් කියනා ආකාරයට විශ්ව විද්‍යාල සිසුන් මදුරුවෙක් කෑවද පාරට බසී..කලහ කරයි..;පොලීසියට පහර දෙයි...

ඒක ඇත්තද...
මවකගෙන් කිරි බොන කුඩා බිලිදෙක් ගැන සිතන්න.මව කිරිදීම නතර කර විට හඩන්නට පටන් ගනී...ඒත් දුන්නෙ නැති නම් මවට පයින් පාරක් දෙනු ඔබ දැක නැතිද........
විශ්ව විද්‍යාල සිසුන් අතින් සිදුවන්නේත් එයයි...තම ඉල්ලීම් සදහා ඔවුන් පාරට බසී..සිසුන් පවසන්නෙ කුමක්ද? "අපි වග කිව යුතු අය දැනුවත් කරා..ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ..බැරිම තැන තමයි අපි මේ පාරට බැස්සෙ"
කල යුතු දෙය නොකර පැලැස්තර දමා මෙමෙ ප්‍රශ්නය විසදිය නොහැක....
පලමුව අඩුම ගනනේ තිබෙනා විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩිකල යුතුය..ඉන් පසුව අලුතින් විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිකර ඒවාට තවත් සිසුන් බදවා ගැනීමට ක්‍රම සකස් කල යුතුය..
එසේ නොමැතිව ගෙඩි පිටින් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කල හොත් රජයේ විශ්ව විද්‍යාල වලට තිබෙනා පිලිගැනීම නැත්තටම නැතිවනු ඇත..
    උසස් පෙල විභාගයක් අවශ්‍ය නොවනු ඇත...අනාගතයේ දී.....ඔබට සල්ලි ගෙවන්න....උපාධිය අපෙන් යන පුවරු නිතර නිතර දැක ගත හැක....

(මෙය මාගේ මතයයි..ඔබට විරුද්ධ මත තිබෙන්නට හැක...සංවාදයට විවෘතයි )

Monday, 25 October 2010

මෙහෙම ගෙවුනා ජීවිතේ...............................

ජීවිතේ සුන්දර දවස් ගොඩක් මතකේ තියෙනවා..
පොඩි කාලේ ඉදලම ආසාවෙන් ඉදියෙ ඉන්ජිනේරුවෙක් වෙන්න..මට මතකයි ආච්චි අම්ම මගේ 5 වෙනි උපන් දිනේට ගෙනාව කාර් එක..ඒක හොදට තිබුනේ එක දවසයි..ඊලග දවසේ කාර් එකේ කෑලි තැන් තැන් වල...කඩලා නම් නෙමේ..ගලවලා..ආයෙ හදලා...සමහර කෑලි අඩුයි...
ඒත් ආච්චි අම්මා නෙමේ බැන්නෙ...හිනා වෙවී බලන් ඉදල කිව්වේ මගෙ ලොකු මුණුබුරා කවද හරි ඉන්ජිනේරුවෙක් වෙනව කියලා...තේරුම දන්නෙ නැති උනත් පොඩි කාලෙ දි කවුරුහරි ඇහුවොත් පුතේ ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල මගේ උත්තරෙ උනේ ඉන්ජිනේරුවෙක් කියන එක..
ඉන්ජිනේරුවෙක් වෙන්න ඉදියට මොකද කවදාවත් පාඩම් කරන්න නම් අසාවක් තිබුනෙ නෑ..පාඩම් කරෙත් නෑ..ශිෂ්‍යත්ව විභාගේ කවුරුත් බලාපොරොත්තු උනාට වඩා ඉහලින් සමත් වෙන්න පුලුවන්කම ලැබුනා..අදත් මතකයි මුලු ඉස්කෝලෙම ලමයි පිට්ටනිය ලග තියෙන බුදුපිලිමෙ ලගට ගෙනල්ලා දමුල්ල මිස් ගත්තු ලකුනු ගනන කිව්ව හැටි..ගෙදර ගියේ මහා ගොඩක් සතුටින්..අම්මාගෙයි,තාත්තගෙයි බලාපොරොත්තු මහා ඉහලින් ඉෂ්ඨ කරා කියන සතුට මගේ හිතේ තිබුනා...ගෙදර ගියාම අම්මා මල්ලිලා දෙන්නට කිව්වේ "දැන් ඉතින් මට ඔය දෙන්නා ගැන බය වෙන්න දෙයක් නෑ..ලොකු අයියා ගියපු පාරෙම යන්න..දැක්ක නේ ලොකු අයියා.."
අම්මා එදා කියපු විදිහටම ලොකු අයියා ගියපු පාරෙම මල්ලිලා දෙන්නත් ගියා..ලොකු අයියාට වඩා හොදට පොඩි මල්ලී..පොඩි මල්ලිට වඩා හොදට චූටි මල්ලි විභාගෙ සමත් උනා..
           ඒ දෙන්නට ඉහලින් සමත් වෙන්න පුලුවන් වෙන්න හයිය දුන්න ලොකු අයියා තමයි මම..
කාලේ ටිකෙන් ටික ගෙවිලා ගියා..ඉගෙන ගන්න උනන්දුව අඩු උනා..පාඩම් කරනව කියන වචනේ පිලිකුල්ම උනා...වාර විභාග කීයක් නම් ලිව්වද...ඒ එකකට වත් අඩුම ගානේ එක රැයක් නිදි මැරුවෙ නෑ..එක්කො යාලුවො එක්ක රවුම් ගහනවා..සෙල්ලම් කරනවා..ටී.වී බලනවා...ඔය වගේ දේවල් තමා කරේ...එන්න එන්නම තත්වේ ගොඩක් දරුනු උනා...අපේ ඉස්කෝලේ තමා ගාල්ලේ තියෙන ප්‍රසිද්ධම පාසල.වාර විභාග වල මුල් 10 දෙනා අතරෙ ඉදපු මම ටික ටික පසු බැස්සා...
ඒක හොදටම තේරුනත් පාඩම් කරනව කියන එක එපා වෙල තිබුනේ..කොහොමද දෙයියනේ පොතක අකුරු දිහා බලාගෙන පැය ගානක් ඉන්නේ...

ඒත් අන්තිමට කාටවත් වරදක් කියන්න බැරි වෙන විදිහට..උසස් පෙළට ගණිතය ඉගෙන ගන්න පුලුවන් විදිහට සමත් උනා..උසස් පෙල ජීවිතේ තමයි මෙච්චර කාලෙකට මගේ ජීවිතේ තිබුන වටිනාම,ලස්සනම අවුරුදු 2ක්...මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..(පාඩම් වැඩ ඇර )
ගණිතය,භෞතික විද්‍යව විශයන් දෙකට පන වගේ ආදරේ කරේ...ඒත් හත් ඉල්ව්වෙ කව්ද එකෙක් රසායන විද්‍යාව කියල විශයකුත් දාලානේ තිබුනේ උසස් පෙලට..ඒකෙන් උනේ අනිත් විශයන් දෙකත් එපා උන එක...
පල වෙනි පාරට උසස් පෙල්ට වාඩි උනෙ 2009 අවුරුද්දේ..ඇත්තටම මම විභාගෙට ගියපු විදිහට වාඩි උනා කියන වචනේ තමයි හරියන්නේ...මට කිසිම බයක් තිබුනේ නෑ විභගෙ ගැන..මොකද හොදටම වැඩ පුලුවන් එකයි,කිසිම වැඩක් බැරි එකයි විභාගයක් ආවට බය නෑ නේ..මම නම් අයිති උනේ කිසිම වැඩක් බැරි එකෙකුගේ ගොඩට...
කොහොම හරි ලිව්වා...අන්තිම දවසේ රසායන විද්‍යව ප්‍රශ්න පත්තරේට ලියන්න කිසිම දෙයක් දන්නෙ නෑ..කරන්නම දෙයක් නැති නිසා දීපු කටු වැඩ කොල වල කවි ලිව්වා..කොහොම හරි පැය දෙකක් ඇතූලත කවි 5කට වැඩිය ලිව්වා..ඒවා තාමත් මගේ කවි එකතුවේ තියෙනවා..දැන් නම් බලනකොටත් හිනා යනවා..
                                       ප්‍රතිඵල ආවම කවුරුත් පුදුම උනා...වෙන්න කොහෙත්ම බැරි දෙයක් වෙලා තිබුනේ..හැමදාම පන්ති කට් කරපු (පලමු වර උසස් පෙල ලියන විට අවසාන අවුරුදු එකහමාර තුල රසායන විද්‍යාව පන්තිය පැත්ත පලාතේ ගියේ නෑ )මම පාස් වෙලා...කොහොම උනාද දන්නෙ නෑ..C 2, S 1 ඕක තමයි ප්‍රතිඵලේ..
හිතට මාර ගැම්මක් ආවේ..එතකොටත් මම ආපහු REVISION යනවා..මේ පාර නම් දෙනවා නැති වෙන්න කියල හිතුවා..මාසයක් විතර කාගෙන වැඩ කරා..ආයේ අර පරන පුරුද්ද ආවා..උදේ පාන්දරම පන්ති යනවා..කඩේකින් රු 25 ට මොනව හරි කනවා..පන්තියට ගිහින් සර් කියන මොකක් හරි දේකට හයියෙන්,හැමෝටම ඇහෙන්න මොනවා හරි කියලා ඇඩ් එකක් දානවා..උදේ එන්නේ පරක්කු වෙලා..කොල්ලෝ 'සූ' පාර දානව එනකොට..ඉන්ටවල් එකේ දිත් පරක්කු වෙලා එනවා..ආයේමත් අර 'සූ' පාර එනවා..ඇඩ් පාරක් දාල ගිහින් ඉස්සරහම හරියෙන් වාඩි වෙනවා..කම්මැලි නම් නිදා ගන්නවා...පන්තිය ඇරුනම කෙල්ලො ටික යනකල් ඉදලා එලියට එනවා..හොද ලස්සන කෙල්ලෙක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් කියනවා..ගෙදර ඇවිල්ලා කාලා නිදා ගන්නවා..ඊට පස්සේ දවසේ ආයෙ පන්ති යනවා...ඔය ටික තමා දිගටම උනේ..පන්ති එන කෙල්ලොන්ට නම් රත්ගමයව එපා වෙලා තිබුනේ....(උන්ට එපා උනාට මට මොකෝ නේ...)
      සර්ටත් පන්තියෙ කෑ ගහන එකා හොයා ගන්න බැරුව ඉදියේ..අන්තිම දවස් වෙනකොට නම් හොයා ගත්තා කෑ ගහන්නෙ මෙන්න මූ කියල..එදා ඉදලා මොකෙක් හරි වෙන උලමෙක් කෑ ගැහුවත් ඇගිල්ල දික් කරල බනින්නෙ මට...කොහොමද කෙල්ලො 800ක් 1000ක් ඉස්සරහ කුනු කතා අහනකොට.විලි ලැජ්ජාව පණ පිටින් වලලනවා වගෙ නේ...පන්තිය ඉවර වෙන අන්තිම දවසේ සර් රත්ගමයට කිව්වේ මෙන්න මෙහෙම..
"උඹ කෑ ගැහුවනේ මෙච්චර දවස්..අදින් පස්සේ එහෙම බෑ නේ කොල්ලෝ..මම කවද හරි ප්‍රාර්ථනා කරනවා උඹ සර් වෙලා මම පන්තියෙ කොල්ලෙක් වෙන්න කියල..එදාට මම කෑ ගහනවා උඹට මල පනින්න"

                   ඒ තමා භෞතික විද්‍යාව උගන්නපු සුනිල් මෙන්ඩිස් සර්....මුල් පාර එපා වෙලා තිබුන රසායන විද්‍යාවට ආසාව ඇති කරේ ශ්‍රී පතිරණ සර්..දැන් නම් සර් ගේ වයස අවුරුදු 70ත් පැනලා..ඒත් එලට උගන්නනවා... ශුද්ද ගණිතයට විතරයි පන්ති ගියේ..නිහාල් සර් ලගට..ඒකත් ගියේ ඉදල හිටල තමා..
විභාගෙට මාස 3 කට විතර කලින් පුංචි සිද්ධියක් උනා.....ඒකෙන් මානසිකව ගොඩක් වැටුනා...ඒත් ඒකම හයියක් කරගෙන පාඩම් කරා..අර තිබුනු උනන්දුව ආයේ ආවා..මුල් පාර විභාගෙට මහන්සි උනේ 1%ක් නම් මේ පාර 70%ක් විතර මහන්සි උනා...දැන් නම් බයත් හිතෙනවා..ප්‍රතිඵල ලගදිම ඒවි...
                           ඉන්ජිනේරුවෙක් වෙලා ආච්චි අම්මාගේ හීනෙ හැබෑ කරන්න නම් බැරි වෙයි.ආච්චි අම්මෙ ලොකු මුණුපුරාට සමාවෙන්න..මට බැරි උනාට මල්ලිලා දෙන්නා ඒක කරාවි....
                   ඒත් විශ්ව විද්‍යාලෙකට යන්න පුලුවන් උනොත් මට ඒ ඇති....
බලන් ඉන්නේ.....මොනව හරි හොද දෙයක් වේවි..ප්‍රතිඵල ආවට පස්සේ ඔයාලටත් කියන්නම්.....එදාට හිනා වෙලා බ්ලොග් එක ලියන්න පුලුවන් වේවිද..අඩ අඩ ලියන්න වේවිද කියල නම් දන්නෙ නෑ..................