Monday, 27 August 2012

සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.."


හවස් වෙන්න වෙන්න නුවර වැව් බැම්මට හීනියට සීතලක් එනවා.දකුණේ ඉදලා ආපු අපිට මේ සීතල උහුලගන්නටිකක් අමාරුයි.වැව් බැම්ම උඩට වෙලා මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට කලුවර වැටෙනවා තේරෙන්නෙම නෑ.පේරාදෙණියෙ කැම්පස් එකට ඇවිල්ලත් අදට හරියටම අවුරුද්දක්.දෙවියනේ අපි වයසට යන ඉක්මන!!.
මේ කාලෙට කැම්පස් එක පුරාවටම රොබරෝසියා බල් පිපෙනවා.පුදුම ලස්සනක් ඒ මල් වල තියෙන්නේ.සමහරු මගෙන් අහනවා රොබරෝසියා මල් ගැන මෙච්චර ලියන්නේ මොකද කියලා.මම ඇරෙන්න ඒකට උත්තරේ දැනගෙන ඉදියේ ඔයා විතරමයි.ඔයත් එක්ක තුරුල් වෙලා මේ රොබරෝසි මල් අස්සේ ඇවිදින්න කොච්චර නම් හීන මැව්වද,දවස් දෙක තුනක් පිපිලා බිමට වැටෙන රොබරෝසියා මල් වගේම ඒ හීනත් පරවෙලාම බිමට වැටුන හැටි....
       මීට අවුරුදු හතරකට කලින් ගාලු කොටු බැම්ම උඩ බංකුවක වාඩි වෙලා ඔයත් එක්ක හිනා වුන හැටි මට තාමත් මතක් වෙනවා.අවුරුදු හතරක් අපි ආදරේ කරා.සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න ඇති.ටියුශන් පන්ති අස්සේ කාතවත් නොදැනෙන්න හොර රහසේ අපේ ආදර කතාව ගලාගෙන ගියපු හැටි මතක් වෙනකොට හිනා වෙන්නද අඩන්නද කියලා හිත මගෙන්ම අහනවා..
 කැම්පස් එකට එන්න දවස් දෙකකට කලින් ඔයාව හම්බ වුනෙත් ඒ කොටු බැම්ම උඩදිමයි. 

 "මොකෝ මැට්ටෝ මූන එල්ලන්"
"මුකුත් නෑ..කවද්ද යන්නේ කැම්පස්"
"අනිද්දා යන්නේ මැණික"
"ඊයා අනේ..මැණික කියන්නෙපා..ඒක කැතයි."

ඔයා මැණික කියනවට කැමති නැති බව දැන දැනම ඒ වචනේ කිව්වේ චුට්ටක් විතර කේන්ති ගස්සන්න.කේන්ති ගිහින් කම්මුල් වල ගැහෙනකොට ඔයා මාර ලස්සනයි.

"මෙන්න වැඩක්..මැණික නොකියා මොනවා කියන්නද?"
"වෙන මොකක් හරි කියන්න"
"හරි එහෙනම් බූරු පැට්ටෝ..තමුසෙ මගෙන් කන පලාගන්නේ නැතිව හිනා වෙලා ඉන්නවද.."
"ඊයා හිරූෂ..ඔයා හරි නරකයි...තමුසේ කියන්නේ ජරා වචනයක්.."
"ඔච්චර බොලද වෙන්න එප බං" 

"හරි හරි බොලද නෑ.."
ටික වෙලාවක නිශ්ශබ්දතාවයක්.මම නැගිටල ඈත මුහුදට පුංචි ගල් කැටයක් විසි කරනකොටම ඔයා ආයෙත් කතා කරා..
"ඒක නෙමේ හිරූ."
"හ්ම්ම්ම්"
.කැම්පස් එකේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ"
 "හ්ම්ම් හ්ම්ම්..ගොඩක් ඉන්නව නම් තමා..ඒත් ඉතින් අවුරුදු හතරක් නඩත්තු කරපු සජිනි කියනේ මේ මෙන්ටල් කේස් එක අමතක කරන්නේ කොහොමද මම"

"ඔයාට නම් විහිලු..ඔය ඕන තරම් කොල්ලෝ කැම්පස් ගිහින් වෙන කෙල්ලොත් එක්ක යාලු වෙනවා..එහේ ගියාට පස්සේ ඔයාට මාව මතක් වෙන එකක් වත් නෑ."
"අන්න හරියටම කිව්වා.ඔයාව පොඩ්ඩක් වත් මට මතක් වෙන එකක් නෑ."
ඒ වචන ටික කියද්දි ඔයාගේ හිත කොච්චර දුකකින් පිරුනද කියලා මම හොදටම දන්නවා සජිනි.ඇස් දෙකම රතු වෙලා මූනත් බිමට හැරුනා.
"ඒයි මෙන්ටලේ..මේ බලපන් බං..මතක් වෙන්නේ අමතක වෙච්ච කෙනෙක්ව..ඔයාව මට කවදාවත් මතක් වෙන්නේ නෑ.මොකද හැම වෙලාවෙම හැම මොහොතෙම ඔයා මගේ මතකෙ ඉන්නවා."
ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කිව්වේ ඇත්තටමයි..ඇස් වලින් වැටුන පුංචි කලුදු කැටයක් අල්ලට අරගෙන විසි කරලා දැම්මේ හැමදාම ඔයා අඩන වෙලාවට ලගින් ඉදන් කදුලු පිහිනවා කියලා හිතාගෙන.

දෙවියනේ..මම මොනවද මේ මතක් කර කර මටම රිද්ද ගන්නේ.මගේ හිත සෑහෙන්න බොලදයි..කොල්ලොත් මෙච්චර බොලදයිද?
අමතක කරන්න ඕන දෙයක් හිතා මතාම අමතක කරන්න බැහැ කියන එක දැන දැනම මෙහෙම රිද්ද ගන්න එක මෝඩකමක්

"දැන් ඔයා මොකක්ද කරන්න ඉන්නේ..ජොබ් එකක් වත් කරන්න අදහසක් නැද්ද? "

"අදහසක් තියෙනවා.ෆැක්ට්‍රි එකක වැඩට එන්න කියලත් තියෙනවා.ඒත් යන්න කම්මැලි හිරූ"
"කම්මැලිකමේ ඉදලා බෑ නේ මැණික..ඔයා එතන වැඩට යන්න.ගිහින් හොදට වැඩ ටික කරන්න"
"ඔය ඉතින් ආයේ මැණික කිව්ව..හැමෝමලා පාවිච්චි කරන වචන අපි පාවිච් කරන්න හොද නෑ.."
"හරි හරි ගෙම්බෝ..ඔයා පරිස්සමෙන් ඉන්න.."
"ඔය ඉතින් යන්නද හදන්නේ."
"ඇදුම් ලැස්ති කරගන්න තියෙනවා සජිනි.අපි ආයේ දවසක ඉක්මනට හම්බෙමු"
ඉරත් ටිකෙන් ටික බැහැගෙන යනවා.ජීවිතේ තිබුන සතුටත් ටිකෙන් ටික මේ විදිහටම නැතිවෙලාම යනවා.මාලිගාව දිහාට නෙලුම් මල් අතේ තියාගෙන මහා ගොඩාක් මිනිස්සු ඇවිදගෙන යනවා.මේ හැමෝමලා යන්නේ බුදුන් වදින්න ද නැතිනම් එතනට ගිහිල්ලා තමන්ගේ ජීවිතේට මොනවා හරි ඉල්ලන්නද?
"මල් තියලා බුදුහාමුදුරුවොන්ගෙන් මුකුත් ඉල්ලන්න හොද නෑ" ඉස්සරම දවසක ඔයා මට කිව්වා යාන්තමට වගේ මතක් වෙනවා.මට පිස්සු හැදීගෙන එනව වත්ද?!! දෙයියනේ මම ඔයාව අමතක කරන්න ඕන!!

දින සති මාස ගෙවිලා ගියේ කට හඩින් විතරක් අපි දෙන්නව ලංකරවලා.ජංගම දුරකතනය හදපු කෙනාට පින් සිද්ද වෙන්න අපි දුරින් ඉදියත් හිත් වලින් ලං වෙලා ඉදියේ.දුරින් ඉන්න දෙන්නෙක් ඉක්මනට දුරස්ම වෙලා යනවලු.කවුදෝ දවසක් මට කිව්වා.
පහු ගිය මාස දෙක ඇතුලත ඔයාගෙන් කෝල් එකක් තියා කෙටි පණිවිඩයක් එන එකත් අඩු උනා..ඒත් මම පොඩ්ඩක් වත් අහිතක් හිතුවේ නෑ සජිනි..පොඩ්ඩක් වත් නෑ.

"පව්..උදේ ඉදලා ෆැක‍්ට්‍රියේ මැරිලා මැරිලා වැඩ කරනවා ඇති."
හැමදාමත් හිතේ තිබුනේ ඒ සිතුවිල්ල නිසා ඔයාට කරදර කරලා තවත් රිද්දවන්න මට ඕන උනේ නෑ
ගිය ඉරිදා මහ රෑ ජාමේ ඔයාට කෝල් එකක් ගත්තේ ඔයාව ඇහැරවන්න හිතාගෙන නෙමේ..එලි වෙනකල් පාඩම් කරලා හිතට ආපු තෙහෙට්ටුව පොඩ්ඩක් මග ඇරවගන්න..
ඒත් දෙයියනේ!! මර රෑ 1 ටත් ඔයාගේ ෆෝන් එක waiting.එක පාරටම ඒ කෝල් එක කට් කරලා මගේ කෝල් එකට ආන්සර් කරපු ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට ගොත ගගහා දීපු උත්තර හැම එකක්ම පිලි ගත්තා වගේ ඉදියට හිතෙන් දහස් වාරයක් මැරි මැරී ඉපදුනා..විභාගේත් පැත්තක දාලා සදුදා උදේ පාන්දරම කෝච්චියට නැග්ගේ ඒ හැම දෙයක්ම කතා කරලා විසදගන්න..
දවල් 3 ඉදලා හවස 7 විතර වෙනකල් ඔයා වැඩ කරන ෆැක්ට්‍රියේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉදියේ ඔයත් එක්ක විනාඩි 15ක් හරි කතා කරලා හිත හදාගෙන යන්න..
ඒත් දෙවියනේ...
ඔයා වෙන කෙනෙකුගේ අතේ එල්ලිලා හිනා වෙවී ආවේ අවුරුදු හතරක් කරපු මගේ ආදරේ මාස දෙකකින් අමතක කරලද මැනික...කැම්පස් යන කොල්ලෝ විතරද කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ??



 ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ

පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා

කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

( මීට සෑහෙන්ඩ කාලෙකට පෙර ලියපු පද බැදුමකට කතාවක් ලිව්වෙමි..සත්‍ය සිදුවිමක් නොවේ )

Thursday, 23 August 2012

පේරාදෙණිය කැම්පස් එක ලස්සනයිද?

   
මේ ටොපික් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඔය උඩින් තියෙන ඡායාරූපෙන්ම හම්බෙන්න ඇති නේ

දැන් මේක ලියන්නේ කොහොමද? ම්ම්ම්...සර්පයා යවන ආකාරයෙන් ලියනවද සාමාන්‍ය ආකාරයෙන් ලියනවද? හැමදාම සර්පයා යවන ආකාරයෙන් ලියලා ඇති වෙලා නිසා සාමාන්‍යාකාරයෙන් ලියන්නම් .

 
මේ ස්ට්‍රයික් එකක් නිසා කරනන් කිසිම වැඩක් නෑ.ගෙදර යන්නෙත් නැතුව කැම්පස් එකටම වෙලා ඉදලත් දැන් ඇති වෙලා.ඊයේ උදේ පාන්දරම ( 10 ට 11 ට විතර ) නැගිටපු ගමන් දැක්කේ ඇද ඉස්සරහා මේසේ උඩ කාගෙද මන්දා කැමරාවක් දාලා ගිහිල්ලා.
                                        මෙච්චර කාලයක් හිත හිත ඉදපු මෙව්වා එක අද ඉටු කරගන්න පුලුවන් කියන සිතුවිල්ලත් එක්කම කැමරාවත් අතින් ආරන් ඇදුමක් දාගෙන එලියට බැස්සා..
කොහෙන්ද පටන් ගන්නේ...ඉවර කරන්නේ කොහෙන්ද? හිතට අම්බානෙක ප්‍රශ්න ගොඩක්.ඇත්තටම පේරාදෙණියේ කැම්පස් එක පටන් ගන්නේ මෙතනින් ඉවර වෙන්නේ මෙතනින් කියලා පෙන්නන්න තරම් මායිමක් නැ.කැම්පස් එක වටේට වැටක් ගහලා නෑ නේ..
                                      ඉතින් ඕන දෙයක් වෙද්දෙන් කියලා මම ගහලා හන්දියෙන්ම පටන් ගන්න හිතුවා.කොළඹ ඉදලා එද්දි ගම්පොල පාරත් නුවර පාරත් වෙන් කරන පේරාදෙණිය හන්දියේ ඉදලා මීටර් 50ක් විතර නුවර පැත්තට යනකොට තමයි ගලහා හන්දිය තියෙන්නේ.පේරාදෙණිය උද්භිත උද්‍යානයට මුහුනලා තියෙන ගහලා හන්දියේ ඡායාරූපයක් තමා මේ තියෙන්නේ


  ගලහ හන්දිය




       ගලහ හන්දියේ දකුනු අත පැත්තට වෙන්න තියෙමේ මේ පුවරුව විශ්වවිද්‍යාලයේ ආරම්භය ලෙස සලකන්නත් පුලුවන්.



ගලහා හන්දිය ආරම්භවෙන තැනම තියෙන්නේ Medical Faculty එක.


 එතන ඉදලා තවත් මීටර් 100ක් විතර ගියපු තැන පාරේ දකුණු අත පැත්තට වෙන්න තියෙන්නේ විජේවර්ධන ශාලාව.ගලහා ඉදලා එනකොට හම්බවෙන ගැහැනු ළමුන්ට වෙන්කරලා තියෙන පලමු නේවාසිකාගාරය තමයි විජේවර්ධන ශාලාව.ඔය උඩින් තියෙන ඡා‍යාරූපයට හසුවෙලා තියෙන්නේ විජේවර්ධන ශාලාවේ කොටසක් විතරයි..


  විජේවර්ධන ශාලාව 


 විජේවර්ධනශාලාවට දකුණු පස තියෙන්නේ විද්‍යා පීඨය.මෙතන තියෙන රොබරෝසියා මල් ගස්වල මල් පිපෙන කාලෙට විද්‍යා පීඨ පුවරුව වටේට තියෙන තණ බිස්ස රෝස පාටට හැරෙනවා.මේ මල් පිපෙන කාලේ නෙමේ නිසා එතන මල් දකින්න නෑ


    විද්‍යා පීඨය ඉදිරිපිට ඇති පුවරුව

මේ පහලින් තියෙන ඡායාරූප දෙක මම ගත්තේ මල් පිපිලා මුලු කැමපස් එකම එකම මල් යායක් වෙලා තිබුන දවස් වල.



   රොබරෝසියා මල් පිපී බිම වැටෙන දිනවල විද්‍යා පීඨ පුවරුව අවට



                           මලල ක්‍රීඩා පිටියට මුහුනලා ඇති විද්‍යා පීඨ ගොඩනැගිලි.


විද්‍යා පීඨයට ඉදිරිපසින් පාරේ අනික් පැත්තට වෙන්න තමයි ජයතිලක ශාලාව තියෙන්නේ.ගලහා හන්දියේ ඉදලා එනකොට හම්බවෙන පලවෙනිම පිරිමි ළමුන්ගේ නේවාසිකාගාරය තමයි ජයතිලක ශාලාව.ජයතිලක ශාලාවේ ආකෘතියට අනුවම සැදුනු අරුණාචලම් ශාලාව , මාස් ශාලාව , මාක්ස් ශාලාව ,ජේම්ස් පීරිස් ශාලාව වගේ පිරිමි ලමුන්ගේ නේවාසිකාගාරත් තියෙනවා.ඒ ගැන ඉස්සරහට ලියන්නම්..


                                                   ජයතිලක ශාලාව


ජයතිලක ශාලාවත් , විද්‍යාපීඨයත් , විශ්වවිද්‍යාලීය මලල ක්‍රීඩාංගනයත් අරුණාචලම් ශාලවත් කියන මේ හතරම මැදි කරලා තියෙන මං සන්දියේ පිහිටා තියෙන පොකුන හදුන්වන්නේ අල්විස් පොකුණ එහෙමත් නැති නම් අල්විස් පොන්ඩ් එක කියලා.විශ්ව විද්‍යාලයේ මැද ලේස සලකන්නේ මෙන්න මේ කිව්ව අල්විස් පොකුන.

                                                          අල්විස් පොකුණ


අල්විස් පොකුණ තියෙන තැන ඉදලා බැලුවහම අරුණාචලම් ශාලාව පේන්නේ ඔන්න ඔය පහල තියෙන විදිහට.

                                                     අරුණාචලම් ශාලාව

අරුණාචලම් ශාලාවට හරියටම ඉදිරි පසින් පාරේ අනෙක් පැත්තට වෙන්නේ තියෙන්නේ විශ්ව විද්‍යාලීය මලල ක්‍රීඩාංගනය.
ලෝකයේ තියෙන ගල් අගුරු වලින් සෑදුන ධාවන පථ දෙකෙන් එකක් පිහිටලා තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්න මේ මලල ක්‍රීඩාපිටියේ

                                                  මලල ක්‍රීඩා පිටිය

 මලල ක්‍රීඩාපිටියත් එක්කම තියෙන්නේ ක්‍රිකට් ක්‍රිඩා පිටිය.ක්‍රිකට් ක්‍රීඩා පිටියට අනෙක් පැත්තේ රග්බි ක්‍රීඩා පිටිය පිහිටලා තියෙනවා.
මේ ක්‍රීඩාපිටි තුනම තියෙන්නේ එක පෙලට.පාරේ ඉදලා බැලුවම මේ ත්‍රිත්වයම එක පෙලට බලාගන්න පුලුවන්


 ක්‍රිකට් ක්‍රීඩාංගනය


 
                                                    රග්බි ක්‍රීඩාංගනය

අදට මේ ටික දාලා නවත්තනවා..ඔක්කොම එකම දවසින් දාන්න ගියොත් ලෝකේ දිගම බ්ලොග් පෝස්ට් එක මේක වේවි.තව දවස් දෙක තුනකින් ඉතුරු පින්තූර ටිකත් දාන්නම්.මේක මතු සම්භන්ධ කරන්න කලින් ආයේ කියන්නේ මේ ඡායාරූප ඔක්කොම ගත්තේ මෙගා පික්සල් 8ක කැමරාවකින්.ආර මල් වැටිච්ච ෆොටෝ දෙක නම් ගත්තේ මගේ ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා දුරකතනයෙන් ( ඇඩ් එක නොමිලේ )

Saturday, 18 August 2012

උපාසකම්මා...


ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය.

"සාදු... සාදු..."

"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස...."

"හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."

ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය.

"හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."

ඇමතුම විසන්දි කෙරුනි..

"බුද්ධං සරණ්ං ගච්චාමි..

ධම්මං සරණ..."

"හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ.."

"හෙලෝ.. තෝ දැනගනින් @#$%$ මම පදියතලාවේ මේරී.. තෝ මට අහුවුනොත් තොගේ හතරහන්දි කඩලා මෙතනම බාවනවා වල් බල්ලා.."

ජංගම දුරකතනය ක්‍රියා විරහිත කෙරුනි...

"පානාති පාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි"