Thursday, 4 September 2014

-------- කවිකාරයා ---------------



" වාව්! මේක නම් ඇත්තටම ලස්සනයි " 
පොතේ එක් පිටුවක් කියවා අවසන් කල ඇය හුස්ම පහත නොහෙලාම පැවසූවාය.

"මොන? " 
නොසැලකිලිමත් බවක් බොරුවට මවා පාමින් මම පැවසූවෙමි.

" මේ තියෙන්නේ"
ලා රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ දඹරැගිල්ල පොතේ පිටුවක් මත තබමින් ඇය මා දෙස බැලුවාය...

ඇයගේ දෙනෙත් සහ මාගේ දෙනෙත් තත්පර කිහිපයක් යාවී තිබෙන්නට ඇත. යුවතිය පලමුවෙන්ම දෑස් ඉවතට ගත්තාය

"අයියමද මේ ඔක්කොම කවි ලිව්වේ? "
අසන්නට කිසිවක් සිතාගත නොහැකි වූ නිසාදෝ ඇය නොගැලපෙන ප්‍රශ්නයක් ඇසුවාය.

"නංගි...මම යන්න ඕන... ලෙක්චර් එකට තව විනාඩි පහයි තියෙන්නේ"
ඇ‍යගේ ප්‍රශ්ණයට පිලිතුරක් නොදුන් මම , මෙතනින් ගැලවී යැමේ අදහසින් පැවසීමි.

"කෝ ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ..මේ ඔක්කොම කවි ලිව්වේ අයියමද?"

"ඔව් " යැයි හැගවෙන පරිද්දෙන් මම හිස සෙලවීමි.

"කවිකාරයා" 

හිස මදක් ඇලකරමින් සිනහසෙමින් ඇය මුමුනයි..
ඉන් පසු සිනාසෙයි..

"ඇත්තටම මෙහෙම උනාද? "

"මේ ලියලා තියෙන්නේ ඔයාගේ කලින් ගෑනු ලමයා ගැනද? "

"අපෝ මේ මේ කවිය නම් මට තේරෙන්නෑ.."

 
"ඇයි මේ පිටුවේ කවි දෙකක් ලියලා?"

ඇය ඔහේ කියවාගෙන යයි....ප්‍රශ්න අසයි...නැවත සිනාසෙයි...
තවත් බලා සිටිය යුතු නැත.ඇය මේ කියවාගෙන යන්නේ මාගේ ජීවිතයයි...

කවි පොත බලෙන් මෙන් ඇයගේ අතින් උදුරාගත් මම ඇය කෙරෙන් ඉවතට අඩි තබා දේශණ ශාලාවට දෙසට පිය නැගුවෙමි.

අඩි හත අටක් ඈතට යන තෙක් සිට යුවතිය නැවත කටහඩ අවදි කලාය.

"ඒයි කවිකාරයා...මටත් කවියක් ලියලා දෙනවද?"

"කවිකාරයා මැරිලා නංගි"

හෙමීට මිමිණූ මම තවත් අඩි ඉක්මන් කලෙමි...

------------ අරමුණක් නැති අපේ ජීවිත-------------

Wednesday, 13 November 2013

චූටි මල්ලීගේ පෙම්වතියට ලියුමක් ලීවෙමි - "අයියේ....හැමෝටම වෙනදේ මටත් කවද හරි වෙනවා."





ආරම්භය - චූටි මල්ලීගේ පෙම්වතියක් නිසා මා මීට පෙර චාටර් වූ ආකාරය කියවන්න මෙතනින් යන්න.



පාන්දරම වෙලාව හගවන්නට ජංගම දුරකතනයේ තමා තිබූ එලාම් ඔරලෝසු නාදයට මා ඇස් ඇරියෙමි.

"සුදු අරලියා මල....පිපිනේ ඇයි තනිව..."

නමුත් සමාවන්න..එය එලාම් එකට දමා තිබූ හඩ පටය නොවේය.එය මාගේ Ring Tone එකය. කෝල් එක ගන්නා එකා මොකා වුවත් මම ඌට ශිෂ්ඨ කුණුහර්පයෙන් බැනිය යුතුය.වෙලාව තවමත් උදෑසන 8 පසු වූවා පමනි..ශුවර් එකටම ඇමතුම ගන්නේ උදේ පාන්දර මුත්‍රා බර උන එකෙක් විය යුතුය.නැතිනම් උදෑසන 8ට නැගිටින එකෙක් මේ ලංකාවේ සිටීද?

"හෙලෝ.."  

නිදිමත පිරිනු සෙක්සි වොයිස් එකකින් මම ඇමතුමට පීලිතුරු දුන්නෙමි..

"ඔයා උදේ නැගිටලා මම ගන්න ෆෝන් කෝල් එකට හෙලෝ කියද්දී දැනෙන ඒ හැගීමට මම හරි ආසයි කුක්කු බෝලේ..මට ඒ සද්දේ අහද්දී කිති කැවෙනවා අනේ..."

 මා නවය වසරේ සිටියදී මාගේ පෙම්වතිය වූ හය වසරේ නැගණිය මට පැවසුවා යාන්තමට මෙන් තාමත් මතකය. 

"හෙලෝ....දැන්ද ඕයි නැගිට්ටේ"
 
අනෙක් පසින් රලු හඩකි..දෙවරක් නොසිතාම මම ජංගම දුරකතනය නැවත අතට ගෙන අංකය පරීක්ශා කලෙමි.නන්නාදුනන අංකයකි.මට ජනාධිපතිතුමා සිහි විය.මාගේ ෆේස්බුක් ස්ටේටස් එකක් වත් එතුමා දැකලාද? 

 ""හෙලෝ ඕයි...ලොකු අයියේ...මේ මම....චූටි මල්ලී"

හුටා....චූටි මල්ලීගේ කටහඩත් වෙනස්ව ගොස් තිබේ..මාස දෙකකින් පමන මම ඌව දැක්කේ නැත..ශුවර් එකටම දැන් චූටි මල්ලී ලොකු ලමයෙකු වී තිබේ..මාස දෙකකට පෙර නැවත විශ්ව විද්‍යාලයට යෑමට පෙර චූටි මල්ලී පැවසූ යමක් මා සිහියට නැගේ...

"අයියේ....හැමෝටම වෙනදේ මටත් කවද හරි වෙනවා..."

එසේ නම් මූ ලොකු ලමයෙක් වී තිබේ...මම ලොකු මල්ලිලා දෙන්නෙක්ගේ ලොකු අයියාය..මාගේ උරහිස මත මහා බරක් පැටවෙනවා දැනුනි.ඇරත් එපමන බරක් පැටවෙන්නට විදිහක් නොමැත.මුන්ට කන්න අදින්නට දෙන්නේ මම නොවේය.අපේ තාත්තා ගැන මට සියුම් දුකක් දැනුනි...

"ඔයි පොට්ටයෝ...නැගිටපිය..."

උපැස් යුවල් පලදින හැම අයියා කෙනෙක්ටම මල්ලීලා කතා කරන්නේ පොට්ටයා කියා නිසා මට එහි ගානක් නොමැත.

"ඔව් කියපන්..ඇයි කෝල් කරේ? මොකක්ද මේ පාර කේස් එක? "

"අනේ අයියේ...මට ආයේ ප්‍රශ්නයක්...ඔයා නිවාඩුවට ගමේ එනවද...ඔයානේ අපේ සෙල්ලම් ගෙදර ලොක්කා...." 

"මිහිරෙන්...මතකයේ ඇදේ....ඒ රසේ,....රැදේ මා සිතේ....මිහිරි....මතක හද රැදේ...... ලොකු අයියා තමා අපේ සෙල්ලම් ගෙදර ලොක්කි....අයියා නොදැක කොච්චර නම් කල් ගිහින්ද?"

මිහිරි සංගීත ඛන්ඩයක් සමග මා සිත අතීතයට රැගෙන යයි...නෙක්ටෝ බෝතලයක් රැගෙන මා වටා කැරකෙන චූටි මල්ලී මා මතකයට නැගේ..එක අතකින් ඌ පව්ය...මා ඌට උදව් කල යුතුය.

"ඕයි....අහගෙනද ඉන්නේ...එනවා නේද ගෙදර"

"ඔව් ඔව් එනවා තමා....මොකක්ද ප්‍රශ්නේ බොට තියෙන...ෆෝන් එකෙන් කියන්න බැරි එකක් නේද? "

ශුවර් එකටම මූට ලොකු ලමයෙක් වීම දරා ගැනීමට නොහැකිව මානසිකව වැටී ඇත.උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම..කටහඩ ගොරෝසු වීම..රැවුල් ගස් එකින් එක මතු වීම... ඉන පලල් වීම..පියයුරු ලොකු වීම ආදී වූ විපර්යාස රාශියකට මාද මුහුන දුන්නා මට ලවට මෙන් මතකය.

"ඔව් ඔව් අයියේ...මේක ෆෝන් එකෙන් කියන්න බෑ..හොද අයියා වගේ ඉක්මනට ගෙදර එන්නකෝ..."

"හ්ම්ම්ම්...එන්නම්....එතකල් කේස් එකක් දාගන්නැතුව හිටපන්."

චූටි මල්ලීට ඇත්තේ අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නොවන බව මම කලින්ම තේරුම් ගත්තෙමි.අධ්‍යාපනය සම්භන්ධ ගැටලුවක් නම් ඌ මට කතා කරන්නේ නැත.ඇමතුම කෙලින්ම යන්නේ පොඩි මල්ලීටය.මා එක ඔබට මීට පෙරද පවසා තිබේ...ශුවර් එකටම මූ සූදානම් වන්නේ වලත්ත වැඩක් කිරීමටය.එය කුමක්දැයි දැන ගන්නා තෙක් මට ඉවසිල්ලක් නැත.
 -------------------------------------------------------------------------------------
CHOGM නිවාඩුව ලැබුනු සැනින් මම ගෙදර පැමිනියෙමි.අපේ රට දැන් වෙනස් වෙලාය.රට වටේම අධිවේගී මාර්ගයන්ය..වරායවල්ය...ගුවන් තොටුපලවල්ය...මට හෙනට ආඩම්බරය.. සුද්දා අපේ රටට නිදහස දුන්නේ නොමැති නම් , මේ වෙනකොට අපි එංගලන්තයත් යටත් කොරගෙන හමාරය..අපි ඒ අතින් කෙල පැමිනියහු වෙමු.

 ගෙදරට අඩිය තැබූ සැනින් මට සුපුරුදු පිලි ගැනීම චූටි මල්ලීගෙන් ලැබුනි.

"අනේ අම්මේ..මෙන්න ලොකු අයියා ඇවිල්ලා...අනේ එන්න අයියේ ඇතුලට..තිබහත් ඇතිනේ..කෝ දෙනවකෝ හලෝ ඔය බෑග් එක මට..."

චූටි මල්ලීට ඇත්තේ සුලු පටු ප්‍රශ්නයක් නොවන බව මම වටහා ගත්තෙමි..එක් අතකට එංගලන්තයේ රජ කුමාරයා ගැන මට දුකත් සිතේ..ඌට වඩා මට පිලි ගැනීම වැඩිය..

මා කාමරයට පුරුදු ලෙසම ඇතුල් උනෙමි..කාමරය සුපුරුදු ලෙසම පිලිවලට සාදා ඇත.මගේ ඇද සුපිරිසිදුය...ඇදට ඉහලින් බිත්තියේ සෙලීනා ගෝමස්ගේ ලොකු...චායාරූපයක් එල්ලා තිබේ..මට චූටි මල්ලී ඉඹින්නට තරම් සිත් වේ...

"මම නෑනාගේ පින්තූරයක් අයියගේ ඇද උඩටම වෙන්න එල්ලුවා..."

ඉන් පසු ඔහු පොල් දත් පෙන්වා සිනාසෙයි..ආන්න බලන්න ප්‍රිය පාඨකය...මගේ චූටි මල්ලී ඒ අතින් මැණිකක්මය.

ගමන් මලු සියල්ල පිලි වලට ඇද අයිනට වන්නට තැබූ චූටි මල්ලී මාගේ ඇදේම වාඩි විය.මමද ඔහු අසලින් වාඩි වූයෙමි.

"හරි...මොකක්ද දැන් ප්‍රශ්නේ...කලින් වගේ ගුටි කන සීන් එකක් නම් කලින්ම කියපන්..මොකද මම දැන් වැඩිය ගහගන්න යන්නේ නෑ."


"මම දන්නැති තරුශියෙක් නෑ ඕයි....., මම දන්නේ මගේ සචිනි බබාව...."

ඒ අවසන් වදන මම කියූ විදිහට චූටි මල්ලී ගැබ්බර වූවාදෝයි සීතේ..ඌ දැන් ලොකු ලමයෙකි..ලොකු ලමයෙක් යනු ඌ දැන් තාත්තා කෙනෙක් වීමට සුදුසු එකෙකි.

"සචිනි??? ඒ කව්ද ඕයි... "

"අනේ මේ තොට ඒවයින් වැඩක් නෑ..සචිනි කියන්නේ..මට වඩා අවුරුදු තුනක් බාල නංගි කෙනෙක්..මම නමය වසරේදී කොච්චියේ යද්දී සෙට් උනේ..දැන් ඒකිට ලමයි දෙන්නෙක් ඉන්නවා"

චූටි මල්ලීගේ ඇස් ලොකු විය..කට විවෘත විය...මූට පිට ගැස්ම හැදීගෙන එනවා වත්ද?

"ලොකු අයියේ..."

"මොකෝ ඕයි.."

"අම්මා දන්නවද ඕක? "

"මොකක්ද?

"අයියාට ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා"

"තොට මාන්දමද @$#%#% , ඒකි බැන්දේ වෙන එකෙක්ව..."

"ආ....ඒක මිසක්...ඒත් මම බැලුවා අයියට ලමයි ඉන්නවා කිව්වම..."

ඌ එම දෙබස කියා කින්ඩියට හිනා වෙයි....

"මොකක්ද මුද්දරස්පලමෝ කිව්වේ.."

"නෑ මම කිව්වේ මම ඔය සීන් කෝන් දන්න නිසානේ අයියාටම මේ වැඩේට එන්න කිව්වේ..."

"හ්ම්ම්ම්ම්ම්ම්ම්...හරි...දැන් කියපන් කෙල්ලගේ විස්තර..."

"මෙහෙමයි...එයාගේ නම තරුශි තාරකා පෙරේරා.., තාත්තා හික්කඩුවේ බැංකුවක මැනේජර් කෙනෙක්..එයා යන්නේ (ගාල්ලේ ප්‍රසිද්ද බාලිකා පාසලක නමක්) එකට.එයා කන්න කැමති බූන්දී...බොන්නේ සරුවත්...මිකී මවුස්ලා දෙන්නෙක් තුරුල් වෙලා ඉන්න බෑග් එකක් තමා එයා දාන්නේ....ආ ඊලගට මේන් මේක එයාගේ....."

බ්‍රවුන් පේපර් කඩදාසියක ඔතා තිබූ යමක් හෙතම මා වෙතට දික් කරයි..ඔහුගේ ඇස් කාන්තියෙන් බබලයි.එය හරියට ශ්‍රීලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ලැබුනු ස්වාදීන රූපවාහිනියේ එව්වලාගේ දැස් වල ඇති වන කාන්තිය මෙනි.
මමද ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපර් බෑගය විවෘත කර බැලුවෙමි.එහි ඈත්තේ පෑනකි..විල්ල උරච්චි වෙන්නටම හපා තිබූ එහි තීන්ත ඉවර වීමටද ආසන්නය.සිය වරකට වඩා කටේ දමා තිබූ නිසාදෝ එහි පෑන් බටයේ තිබූ අකුරුද මැකී ගොස්ය.අප්පිරියාවෙන් යුක්තව මම එය එලියට විසි කරන්නට සූදානම් වූයෙමි...

"අය්යේ එපා......"
හින්දි චිත්‍ර පටයක මෙන් චූටි මල්ලී මාවතට පිම්මක් පැන එය උදුරා ගත්තේය.ඉන්පසු එය තුරුල් කරගත්තේය.මටම හිරිකිතයක් දැනුනි.
චූටි කොල්ලන්ගේ හීන..මම සිතුවෙමි..මීට බොහෝ කලකට පෙර මමද සචිනි නම්වූ හය වසරේ නංගිගේ මක්ක කෑල්ලක් මොවැනිම ලෙස ආරක්ශා කරගත් හැටි මට සිහියට නැගේ..
පුදුම වීමට දෙයක් නොමැත,,මූ මගේම චූටි මල්ලීය.මම මුට උදව් කර යුතුය.

"මම දැන් මොකක්ද කරන්නෝන.."

ලොකු මිනිහෙක් කතා කිරීම අරඹන්නා සේ චූටි මල්ලී කතාව ඇරඹුවේය.

"මම මීට කලින් ලියුම් දෙකක්ම ලියලා එයාට දුන්නා...ඒත් එයා ඒවා අරගෙන ගියා ගියාමයි කිසිම උත්තරයෙක් දුන්නේ නෑ තාම...
අයියාට හොදට ලියන්න පුලුවන්නේ..අනේ මට Love Letter එකක් ලියලා දෙන්නකෝ..."

හුටාය...මට දැන් ලව් ලෙටර් ලියන්නත් සිදුවෙලාය..මා කුමක් කරම්දෝයි සිතාගත නොහැක...සැනෙන් මට ඝණ දෙවි නුවණ පහල විය.

"හරි...මම ලියලා දෙන්නම්...හැබැයි එක කොන්දේසියක් උඩ"

"අනේ...ඒ මොකක්ද අයියේ...කියන්න...ඕන දෙයක් මම කරන්නම්..."

"මට නින්ද යනකල් මගේ පිට කහපන්"

"හරී......මම කරන්නම්....."

එදින රාත්‍රියේම චූටි මල්ලී මාගේ සේවයට කැප වුනි....
 පසුදා උදෑසන චූටි මල්ලී මාව අවදි කර මාගේ සරමත් අන්දා තිබුනි...

"ලොකු අයියේ.....මගේ ලියුම හරි නේද...."

සෙමෙන් දෑස් ඇරියෙමි...අයියනායක දෙයියන්ට ඔප්පුවෙච්චාවේය...මා ඉදිරියේ කුඩු කාරයෙක් වැනි එකෙක් හිටගෙන සිටියේය..උගේ කොන්ඩය ජෙල් ගා ඊට උඩින් ගල් රෝලක්ද කොහේද යවා තිබේ.මූනේ ෆ‍්රයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ක්‍රීම් එකද කොහේදෝ උලා තිබේ..ඒ සුවද මට ඉතා හුරු පුරුදුය.පාසල් නිල ඇදුමටද මොකක්ද කර තිබේ..චූටි මල්ලී හෙනට පොශ් වෙලාය...නමය වසරේ ඇම්බිත්ති කොල්ලන්ගේ බාල ආශාවන්...මම මටම කියා ගත්තෙමි...

"මගේ ලියුම?"

හෙතෙම මා ඉදිරියේ දෑස් අයා බලා සිටී..

මට පොරොන්දුව සිහි විය..හනි හනිකට ඇදෙන් බට මම කෙලින්ම මාගේ පාසල් සමයේ පොත් ගබඩා කර තිබූ කාමරයට දිව ගියෙමි.එකි ඇති නමය වසරේ විද්‍යාව පොත අස්සේ තිබූ ලියුමක් දූවිලි ගසා දමා එලියට ගත්තෙමි..ඉන් පසු හනිකට දිව විත් එම ලියුම චුටි මල්ලීට භාර කලෙමි.

"ආ...මේක අරන් පල...ගිහිල්ලා මේකේ තියෙන සචිනි කියන නම වෙනුවට උඹේ තරූශි ද මොකක්ද එකීගේ නම දාලා ගිහින් දියන්.."

චූටි මල්ලීගේ සිත සතුටින් පිනා ගොස් තිබේ..හෙතම උඩ පැන්නේය.

"මගේ හොද ලොකු අයියා...."

එසේ කියමින් මාව ඉම්බේය..ඉන් පසුව පාසල් බෑගයත් රැගෙන එක පිම්මේ පාසල වෙත දිව්වේය...
-----------------------------------------------------------------------------
 සවස් වරුවේ ඔහු ගෙදර පැමිනියේ සතුටිනි..මාගේ මුහුණ දෙස එක එල්ලේ බලන්නේ නැත.විටෙක තනියම සිනාසෙයි..ඉන් පසු සිවුරුවම් බායි.....ආදර ගීත මුමුණයි...
හිතවත් පාඨකය...මම කෙල්ලෙක්ට ලියුමක් ලියුවහොත් මේ දේවල් මේ ආකරයටම සිදු වෙන බව මම ඒකාන්තයෙන්ම දනිමි.
මම චූටි මල්ලී වෙතට කිට්ටු කලෙමි...

"මොකෝ වැඩේ හරිද?"

"අනේ ම්න්දා...හරි යයි වගේ..ලියුම ගත්තා..අරගෙන මම ඉස්සරහම කියවන්න ගත්තා..ඊට පස්සේ ලැජ්ජාවෙන් දිව්වා..."

මට මගේ ගැන ආඩම්බරයක් දැනුනි...කාලයත් සමග මා පරිණත ලේඛකයෙකු වී තිබෙන අපූරුව..

දින දෙකක් කිසිදු ප්‍රශ්නයකි තොරව ගෙවී ගියේය..

එය සෙනසුරාදා දිනයකි..වේලාව හවස පහට පමන වන්නට ඇත.නිවසේ සීනුව නාදවන හඩ ඇසුනි...මම සිටියේ Vampire Diaries බලමින් නිසා ඇදෙන් බැසයෑමය කම්මැලි කමින් යුතුව සිටියෙමි..තවත් වරක් සීනුව නාද විය...

"අම්මේ....කවුද ඇවිල්ලා..."

ඇදේ සිටම මම බෙරිහන් දුන්නෙමි...මට මොනවදෝ කියමින් බැන බැනම අම්මා දිර විවෘත කලාය...

"hallo.. චමිඳු ගෙදර ඉන්නවද"
 
ගොරෝසු කටහඩක් මා සවනට වැටුනි..

"ආ....ඔව් ඉන්නවා...කවුද මේ?"

"ආ....මම පෙරේරා..හික්කඩුවේ අහවල් බැංකුවේ මැනේජර්"

මාගේ ඇස් වලින් කදුලු බේරේනු මටම දැනේ...බඩේ අමාරුවක්ද කොහේද සෑදීගෙන එන සෙයකි...
"එන්න ඇතුලට....චූටි පුතා......චූටි පුතා...මෙන්න ඔයා හම්බෙන්න අන්කල් කෙනෙක් ඇවිල්ලා...."

"ආ...චමිදු නැතත් කමක් නෑ...මට චමිදුලෑ අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕන චමිදු ගැන.."
"ඒ මොකක්ද...? "

"නෑ,...මේ කලබල වෙන්න දෙයක් නෙමේ...චමිදු අපේ දුවට ලියුමක් දීලා තියෙනවා පෙරේදා...මීට කලිනුත් මෙහෙම ලියුම් දෙකක්ද කොහේද දීලා තිබුනා... තාම චූටි ලමයිනේ...පොඩි කමට කරන වැඩ කියලා හිතලා තමයි මම ගනන් ගත්තේ නැත්තේ...චමිදුලාගේ අම්මා හිත කලබල කරගන්න එපා මේවට..."

අම්මාගේ හිත කියවීමට මට සුපිරි බලයක් වුවමනා නැත.ඇය සිතනා දේවල් මට ඒ ආකාරයෙන්ම සිතා ගත හැකිය..

"මේ තියෙන්නේ අන්තිමට දීපු ලියුම..මේක චමිදුගේ අකුරු උනාට චමිදු ලියපු එකක් නෙමේ මම හිතන්නේ...බලන්නකෝ ලියලා තියෙන දේවල්.."

"හුටාය...ලියුමේ තිබූ දේවල් මා දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය...

"සචිනි , මගේ කුක්කු බෝලේ...
 ඔයාට කොහොමද...මම නම් ඔයා ගැන හිත හිත ඉන්නවා රත්තරනේ...ඔයා ගැන හිතලම කොට්ට උර දෙකක් මම කාල ඉවර කරා...මට පිස්සු නේ හලෝ...ඔයාගේ ඔය ඇස් දෙක මාව පිස්සු වට්ටලා ඉවරයි මැනික..පෙරේදා මම අම්මත් එක්ක පොලේ ගියා...පොලේ තිබ්බ ගස් ලබ්බක් ගස් ලබ්බක් ගානේ මට මතක් උනේ ඔයාගේ මූන..අනේ මට ඔය මූන කන්න තියෙනව නම්...මට දහස් වාරයක් එහෙම හිතුනා..ඒත් කවුද දන්නේ...මට කලින් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙයිද කියලා...පොලේ තියෙන ගස් ලබු ඕන කෙනෙක්ට අරගෙන යන්න පුලුවන්නේ..වෙන කෙනෙක් ලබ්බට වහ වැටෙන්න කලින් මේ ලියුම ඔයාට දෙනවා කියලා ම්ම හිතාගත්තේ ඒකයි කුක්කු බෝලේ....

 "අම්මේ...මම ගාලු ගිහින් එන්නම්.." 

එතනින් එහාට තවත් මතක් කර ගැනීමට මට වුවමනා නැත..බාටා කෑලි දෙකත් කකුලේ දමාගත් මම පිටු පස දොරෙන්ම ගෙයින් එලියට බැස්සෙමි...

Friday, 9 August 2013

---ගීතංජලී - නැණසරට වැයෙන සත්සරය ---



හන්තාන කඳු පන්තියටත් මහවැලි නදී තීරයටත් මායිම්ව පිහිටි සොඳුරු පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය තුල විශ්වීය දැනුම ගවේෂණය කරන්නෝ අපමණ වෙති.දැනුමට සීමා මායිම් නැතුවාක් මෙන්ම දැනුම ගවේශණය කිරීමටද සීමා මායිම් නොමැත.නමුත් මේ සීමාවන් ඉක්මවා යෑමට දැනුම පමනක් ප්‍රමාණවත් වන්නේ නැත.ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක අතර ආර්ථික මට්ටම ප්‍රධාන තැනක් ගනී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පිවිසෙන දහසකුත් එකක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ආර්ථික අපහසුකම් නිසා තම අධ්‍යාපනයට නැවතීමේ තිත තබා විශ්ව විද්‍යාලීය ජීවිතයෙන් සමුගෙන යන්නෝ අපමන වෙති.එසේ අධ්‍යාපනය අත හැර දමා යන තම සහෝදර සිසුන්ට සමු දීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ සිසුන් සූදානම් වූයේ නැත.ඒ වෙනුවෙන් ඔවුන් එකාවන්ව පෙල ගැසුනෝය. විද්‍යාපීඨ සිසු බල පවුර , විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය වටා ඔවුන් එකතු වූහ.මීට සිව් වසරකට පෙර නැණසර ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ වන්නේ එලෙසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ අඩු ආදායම් ලාබී පවුල් වල සිසු දරු දැරියන් තෝරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන දිවියට අත්වැලක් වීමට පසුගිය වසර කිහිපය පුරාවටම , මෙම නැණසර ශිෂ්‍යත්ව අරමුදල මාහැගි කාර්‍යයක් ඉටුකලේය. නැණසර ශිෂ්‍යත්ව අරමුදල හේතුවෙන් පෙර කියූ විශ්වීය දැණුම භාදාවකින් තොරව නිදහසේ , සිත්සේ තරණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ සිසු සිසුවියන්ට අවස්තාව ලැබුනි.

තවත් වසරක් දෙකක් ඇවෑමෙන් පසු නැනසර ශිෂ්‍යත්ව අරමුදල තවත් පියවරක් ඉදිරියට තබා තිබුණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ සිසුන්ගේ අධ්‍යාපනය උසස් කිරීමෙන් පමනක් නැවතී සිටීමට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් සහෝදරත්වය සූදානම් වූයේ නැත.ඒ අනුව ශ්‍රී ලංකාව පුරා පවතින දුශ්කර පාසල් රාශියක් තෝරාගෙන ඒ ඒ පාසල් වෙත ගොස් , ඒවායේ ඉගැන්වීම් කටයුතු වල නිරත වීමට විද්‍යාපීඨ සිසුන් මූලිකත්වය ගත්තෝය.විද්‍යාව , ගණිතය වැනි සාමාන්‍යපෙල විභාගය සඳහා අසීරුයැයි සම්මත විශයන් ඉතා සරල ලෙස කියාදී ගුරු සම්පත් හිඟ මෙම දුශ්කර පාසල් වල දුවා දරුවන්ගේ නැණස පෑදීමට විද්‍යාපීඨ සිසුන් සමත් වූහ. ඒ සියලු කටයුතු මැනවින් කලමණාකරණය කරගෙන සිසුන් මෙහෙයවීට තරම් සවිමත් සිසු බලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයට තිබුනි.නැණසර ශිෂ්‍යත්ව අරමුදල පියවරෙන් පියවර තව තවත් ඉදිරියටම ඇදෙන්නට විය.මෙම ඉගැන්වීම් කටයුතු වල යෙදෙන අතරතුරදී අදාල පාසල්වල ඇති අඩු පහසුකම් පිලිබදව විද්‍යාපීඨ සුසුවෝ නිතර නිතර කතා වූහ. ඔවුහු ඒ පිලිබඳව ශිෂ්‍ය සංගමය දැනුවත් කලෝය.ඒ අනුව නැණසර ශිෂ්‍යත්ව අරමුදල තවත් පුලුල් කරමින් එම පහසුකම් අවම පාසල් සදහා ආධාර උපකාර කිරීමට සියලු කටයුතු සම්පාදනය කෙරුනි.

නැණසර ශිෂ්‍යත්ව අරමුදලින් කෙරෙන්නාවූ සත්කාරයන් ක්‍රම ක්‍රමයෙන් පුලුල් වීමත් සමගම ඒ සදහා අවශ්‍ය ආධාර මුදල් ලබා ගැනීමේ අපහසුතාවය විද්‍යාපීඨ සිසුවෝ අත්වින්දහ.කොපමන භාදා පැමිණියද නැණසර ශිෂ්‍යත්ව අරමුදල අත හැර දැමිමට ඔවූහු සූදානම් නොවූවෝය.

'ගීතාංජලී' - නැණසරට වැයෙන සත්සරය සංගීත ප්‍රසංගය , ඒ උතුම් අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ වන්නේ එලෙසය.ගීතාංජලී සංගීත ප්‍රසංගයෙන් ලැබෙන්නාවූ සියලු ආදායම් නැණසර්‍ර ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීමට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මූලිකත්වය ගත්තේය.ඒ අනුව නැණසරට වැයෙන සත්සරයේ තෙවන දිගහැරුම අගෝස්තුමස 14 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේදී එලි දැක්වීමට සියලු කටයුතු මේ වනවිටත් විද්‍යාපීඨ සිසුන්ගේ අධිෂ්ඨානයන් මල්පල ගන්වමින් සූදානම් කර තිබේ. දිවයිනේ දහසකුත් දරු දැරියන්ගේ අධ්‍යාපන දිවිය ආලෝකමත් කිරීමට ගීතාංජලියේ සත්සරයන් වැයෙනු ඇත. ඒ සත්සර හඩ අතරින් ඇසෙන විශාරද අමරසිරි පීරිස් , විශාරද නිරෝශා විරාජිනී සහ ආත්මා ලියනගේ යන ගායක ගායිකාවන්ගේ සුමිහිරි ගී රාවයෙන් සෙනෙහසේ ලපලු ගංතෙර දෝරේ ගලා යනු ඇත.. අගෝස්තු 14 දින සවස් යාමයේ හන්තානට පායන සදේ ඡායාව ඒ දෝරේ ගලා යන ගං දියෙන් තව තවත් හැඩ වී දිස් වෙනු ඇත. ඉතින් ඒ පුර හඳ හැබෑවටම ලස්සනදැයි බැලීමට ඔබ සැමට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ ශීෂ්‍ය සංගමය ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටී.
ඔව්..ඔබත් එන්න...
හන්තානට පායන පුරහදේ ලස්සන විදගෙන යන්න....

           - IRu Liyanage -
( විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් )